නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පහේ ශිෂ්‍යත්වය සමත්වීමට ප්‍රශ්න පත්‍රයෙන් විතරක් බෑ

    ජූනි 17, 2024

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අනුව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සමස්තය මින් ඉදිරියට විභාගයෙන් පමණක් ගත නොහැකි බවත් ලකුණු සියයට 30 ක් 4-5 ශ්‍රේණිවල දී පන්ති කාමරය තුළ අධ්‍යාපනය ලබන අතරවාරයේ උපයා ගත යුතු බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

    එය නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම වන අතර අධීක්ෂණය කිරීම පාසල් මණ්ඩල මඟින් සිදු කරන බව ද ඇමැතිවරයා නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත්කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට එක්වෙමින් කීවේය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් හි නියමු ව්‍යාපෘති 1, 6, 10 ශ්‍රේණි මුල් කරගෙන ලබන වසරේ දී (2025) ආරම්භ කරන බවත් බව ද හෙතෙම මෙහිදී පැවැසීය. ලබන ජූලි මස මුල් සතියේ දී ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීවවිද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන්ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරී ගුරු පත්වීම් 2500ක් පමණ ලබාදීමට පියවර ගන්නා බව ද එම සියලු‍ උපාධිධාරීන් විභාගයකට පෙනී සිටීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ සඳහා ද මේ වන විට පෙනී සිට ඇතැයි කී අමාත්‍යවරයා මෙමගින් දක්ෂම ගුරුවරුන් දරුවන්ට ලබා දීමට අපේක්ෂා කරන බව ද පැවැසුවේය.

    අධ්‍යාපන ඩිජිටල්කරණය යනු හුදු කළුලෑල්ලෙන් සුහුරු තිරයට මාරුවීමක් පමණක් නොවන බවත් නවීනතම ‘ස්මාට් බෝඩ්‘ 2500ක් ලබන අගෝස්තු-සැප්තැම්බර් මාස වන විට දිවයිනේ සියලු‍ පර්ෂද මූලස්ථ ප්‍රමුඛ පාසල්වලට පළමු අදියර තුළ ලබා දී වසර තුනක් ඇතුළත සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගෙන සුහුරු අධ්‍යාපන අවස්ථා සැලසීමට අපේක්ෂා කරන බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී පැවැසී ය. ගුරුවරුන් ද මේ සඳහා සූදානම් විය යුතු අතර එම ගුරු පුහුණුවීම්වලට අදාළ ගුරු අත්පොත මේ වනවිට විෂය ප්‍රවීණ විද්වතුන් ලවා සකසා අවසන්ව ඇති බවත් මූලික වටයේ දී ගුරුවරුන් 7500ක් පුහුණු කරන බවත් අමාත්‍යවරයා කරුණු දක්වමින් පැවැසීය. නව ලොව අධ්‍යාපන ප්‍රවණතා සැලකිල්ලට බඳුන් කර සැලසුම් කර ඇති මෙම අධ්‍යාපන ක්‍රමවේද අනුව වයස අවුරුදු 21 වන විට පළමු උපාධියත් 23 වන විට පශ්චාත් උපාධි සහ 27න් ආචාර්ය උපාධියත් ලබා ගැනීමට ඉදිරියේ දී දරුවන්ට අවකාශ උදා වන බව කී අමාත්‍යවරයා විද්‍යාපීඨ 19 ම එකතු කර හදන විශ්වවිද්‍යාලයෙන් බිහි කරන විද්‍යාවේදී උපාධිධාරී ගුරුවරුන් පමණක් 2028 වර්ෂයේ සිට පාසල්වලට යොමු කිරීමට අපේක්ෂා කරන බව ද පැවැසීය.

    2014 වර්ෂය වන තෙක් විද්‍යා, කලා, වාණිජ යන විෂය ධාරා තුනක් පැවැති නමුත් තාක්ෂණ පීඨ ආරම්භ කිරීමත් සමඟ තාක්ෂණ විෂය ධාරා ආරම්භ කළ බවත් අද කලා විෂය ධාරාවන්ට වඩා අධික ඉල්ලු‍මක් පවතින්නේ වෘත්තීය ක්ෂේත්‍රය සමඟ ඍජුවම සබැඳුණු තාක්ෂණ විෂය ධාරාවන්ට බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. පසුගිය සමයේ පැවැති අර්බුදකාරී තත්ත්වය නොවන්නට වසර දෙකක දී මේ කාර්යය නිමා කළ හැකි වන බවත් ගුරුවරුන් දෙලක්ෂ තිස් දෙදහක් පුහුණු කිරීමේ අභියෝගයට ඉදිරියේ දී මුහුණදීමට ඇති බවත් කී අමාත්‍යවරයා එම අභියෝග භාර ගැනීමට තමන් සූදානම් බව ද ලෙඩ නිවාඩු දමන පිරිස නොනැවතී ඉදිරියට යන දරුවන් හමුවේ මේ වගකීම අවබෝධ කරගත යුතු බව ද සඳහන් කළේය. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සහ විද්‍යාලයේ විදුහල්පති ඇතුළු අචාර්ය මණ්ඩලය, මවුපියන් ඇතුළු පිරිසක් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya