ජූනි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව ජනපති ප්‍රධානත්වයෙන් දියත් කෙරේ

    ජූනි 14, 2024

    ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව (Public Learn Education Platform) www.publiclearn.lk නිල වශයෙන් එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    “Public Learn” යනු ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල වලින් නොමිලේ පාඨමාලා හැදෑරීම සඳහා පරිශීලකයින් යොමු කරවනු ලබන වේදිකාවකි. මෙම වේදිකාව රීජන්ට් ග්ලෝබල් ආයතනය (Regent Global) විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර එය ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දීමට එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව විසින් අරමුදල් සපයා තිබේ.

    ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව (Public Learn Education Platform) www.publiclearn.lk නිල වශයෙන් දියත් කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

    අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාවද ඩිජිටල්කරණය සමඟ වේගයෙන් ඉදිරියට යා යුතු බවයි.

    මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟ බිහි වූ මෙරට අධ්‍යාපනය අදියර 03ක් යටතේ ක්‍රමිකව විකාශය වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ වන විට ඩිජිටල්කරණය සමග විවෘත වේදිකාවක දැනුම බෙදා හදා ගැනීම දක්වා එය ඉදිරියට පැමිණ ඇති බවද සඳහන් කළේය.

    ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මෙම ප්‍රතිලාභය හිමි කර දීම වෙනුවෙන් රීජන්ට් ග්ලෝබල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සෙල්වා පන්කජ් මහතා ඇතුළු පිරිස වෙත සිය ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    ආචාර්ය සෙල්වා පන්කජ් මහතා ශ්‍රී ලංකාවට ලබා දී ඇති මෙම ත්‍යාගය වෙනුවෙන් පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. අප අද ජීවත් වන්නේ දැනුමෙන් පිරුණු සමාජයකයි. එම සමාජය තුළ තරගකාරීව ඉදිරියට යා යුතුව තිබෙනවා. අප අධ්‍යාපනය අතින් ඉදිරියෙන් සිටින රටක් බැවින් එය අසීරු කාර්යයක් නොවන බව මම විශ්වාස කරනවා.

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අඩු පාඩු කඩිනමින් නිවැරදි කර ගැනීමට අප මේ වන විට කටයුතු කරමින් සිටින බව කිවයුතුයි. මෙම නව වැඩසටහන එම වැඩපිළිවෙළට මනා දායකත්වයක් සපයනු ඇතියි. ශ්‍රීමත් ගැවින් මහතා මෙවන් වැඩපිළිවෙලක ඇති වැදගත්කම සහ එහි අරමුණු පිළිබඳ හොඳින් විස්තර කළා.කෙසේ නමුත්, නව ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් අපේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි. නිසැකවම අපට එය කළ හැකි දෙයක් බව කිවයුතුයි.

    පන්ති කාමර නොමැතිව සහ බිත්ති නොමැතිව පාසලෙන් පිටත වැඩි වැඩියෙන් ඉගෙනීමේ අවස්ථා සඳහා යොමු වීමට ඉදිරියේදී අපට සිදු වෙනවා. අද මේ ආරම්භ වන්නේ එම වැඩපිළිවෙළයි. පන්ති කාමර තුළ පවතින අත්දැකීම් සහිත දක්ෂ ගුරුවරුන්ගේ හිඟය පිළිබඳ අභියෝගය ද ජය ගැනීමටද මෙය අවස්ථාවක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

    එසේම මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත ඉදිරියට ගෙන යාමේ මෙන්ම රටේ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීමේ ගමන් මගේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇතියි.

    අපේ රටේ අධ්‍යාපනයේ විකාශය අදියර 03ක් යටතේ සිදු වී තිබෙනවා. පළමුව මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම රැගෙන මෙරටට පැමිණිමත් සමඟ පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කෙරුණා. සෙනරත් පරණවිතාන මහතා පැවසුවේ රහත් වීමට අසමත් වූවන් ඇළ මාර්ග, දාගැබ්, සීගිරිය සහ අප සතු අනෙකුත් ගොඩනැගිලි මෙන්ම සෞඛ්‍ය පද්ධතිය සැලසුම් කිරීමට කාලය ගත කළ බවයි.

    දෙවනුව බ්‍රිතාන්‍යයන් පැමිණ රජයේ පාසල් පද්ධතිය ආරම්භ කළා. එය දැන් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒවා අප මහ විද්‍යාල, මධ්‍ය මහා විද්‍යාල යනාදී වශයෙන් හඳුන්වනවා. ඉන් පසුව අප කීර්තිමත් සහ ජාතික පාසල් සංකල්පය ගෙන ඒමෙන් පසුව සමස්ත පාසල් පද්ධතිය අද පවතින තත්ත්වයට වැඩි දියුණු වී තිබෙනවා.

    දැන් අප අධ්‍යාපනයේ තුන්වන අදියරට පැමිණ තිබෙනවා. ඒ තමයි අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කර විවෘත වේදිකාවක දැනුම භාවිතා කිරීම. අප ඩිජිටල් ආර්ථිකයක් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. එහිදී නවීන දැනුම භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට හැකි වන්නේ දැනුම භාවිතා කිරීම තුළින් පමණයි.

    රීජන්ට් ග්ලෝබල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සෙල්වා පන්කජ් මහතා,

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නව ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමට ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් සහාය ලබාදීමට මෙහි පැමිණීමට ලැබීම පිළිබඳ සතුටු වෙනවා. හිටපු අග්‍රමාත්‍යවරයෙකු ලෙස මෙන්ම වත්මන් ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලාංකීක ජනතාවට සේවය කිරීමට තම ජීවිතයෙන් වැඩි කාලයක් කැප කළ ජනාධිපතිතුමා අපට ආදර්ශයක් බව කිවයුතුයි.

    2022 දී වසරේදී වාර්තා වූ 70%ක උද්ධමනයේ සිට අප සැවොම දුටු කැළඹිලි සහිත තත්ත්වය හරහා ශ්‍රී ලංකාව සාර්ථකව ඉදිරියට මෙහෙයවීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සුළු වශයෙන් හෝ දායක වීමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා. මා සහ මගේ බිරිඳගේ ජීවිතයේ මුල් කාලය ගත කළේ ශ්‍රී ලංකාවේ බවද මෙහිදී සිහිපත් කළ යුතුයි.සිවිල් යුද්ධයට පෙර අපට වයස අවුරුදු 13 සහ 19 දී එක්සත් රාජධානියට බලා යාමට අපට සිදු වුණා. නමුත් අපි අපේ මාතෘභූමිය කිසිදා අමතක කළේ නැහැ. ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධියට දායක වීමට අපට සැමවිටම අවශ්‍ය වුණා. ඉතින් ජනාධිපතිතුමා අද අපට ඒ සඳහා අවස්ථාවක් උදා කර දී තිබෙනවා.

    මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම අවස්ථාවට එක් වූ එක්සත් රාජධානියේ හිටපු අධ්‍යාපන ලේකම් ශ්‍රීමත් ගැවින් විලියම්සන් මහතා (Sir Gravin Williamson),

    පොදු ඉගෙනීමේ සංවර්ධනය සෑම වයස් කාණ්ඩයකම ප්‍රජාවට අවශ්‍ය රැකියා සඳහා අවශ්‍ය කුසලතා ගොඩනඟා ගැනීමට, ඔවුන්ට වැඩි මුදලක් උපයා ගැනීමට මෙන්ම ගෝලීය වශයෙන් පුළුල් ලෙස සමාජයට වඩාත් ඵලදායී දායකත්වයක් ලබා දීමට අවශ්‍ය අධ්‍යාපනය වැඩිදියුණු කර ගැනීමට මහගු අවස්ථාවක් සපයනවා. ජන ජීවිතයේ පරිවර්තනයක් ඇති කරමින් අනාගත දියුණු ශ්‍රී ලංකාව ගොඩනැඟීම සඳහා අවශ්‍ය වේදිකාව අද ශ්‍රී ලාංකික ජනතාවට මෙමගින් සපයා දී තිබෙනවා.

    ඒ අනුව ගෝලීය වේදිකාවේ තරග කිරීමට අවශ්‍ය දැනුම් සම්භාරය ඔබ සතුව ඇති බවට ඔබ වග බලා ගත යුතුයි.

    මෙම අවස්ථාවට එක්වීමට අවස්ථාවක් ලබාදීම පිළිබඳ මම සියලුදෙනාට ස්තූතිවන්ත වන අතර ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත නව පරිවර්තනයක් කරා ගෙන යාමට මෙම වැඩපිළිවෙළ ඉවහල් වේවායි කියා ප්‍රාර්ථනා කරනවා.

    තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම, ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් (Andrew Patrick), නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොන්ඩමන්, හිටපු අමාත්‍ය ජොන් අමරතුංග, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ තීක්ෂණ අබේවර්ධන, තර්ශනී පංකජ් යන මහත්ම මහත්මීන් ඇතුළු විදෙස් රටවල තානාපතිවරු මහ කොමසාරිස්වරුන් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya