ජූලි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මා කිසිවිටෙකත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලින් ඉවත් වී නැහැ– ජනපති

    ජූනි 14, 2024

    රටේ පවතින ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මූලධර්මවලින් තමා කිසිවිටෙකත් ඉවත් වී නැති බවත්, සියලුම පුරවැසියන්ට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් ඇති බව සහතික කිරීම සහ මහජන යහපත සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආර්ථික ක්‍රියාකාරකම් මඟින් සමස්ථ රටේම වේගවත් සංවර්ධනයක් ඇති කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    එම ප්‍රතිපත්තීන් දෙක ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය නැවත ලිවීමට බෙහෙවින් ප්‍රමාණවත් බව පැවසු ජනාධිපතිවරයා එම ප්‍රතිපත්තින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද සඳහන් වන බැවින් තමා ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කරන බවට කිසිවෙකුට චෝදනා කළ නොහැකි බවද පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (13) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ ආරම්භ වූ සාර්ක් කලාපීය රටවල මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුවේ “SAARCFINANCE” සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

    මේ වන විට කලාපයේ බොහෝ රටවල මැතිවරණ ජයග්‍රහණය කර අලුත් ආණ්ඩු පත්වී තිබෙන බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවද මැතිවරණයක් කරා ගමන් කරමින් සිටින බවත් සුපුරුදු ක්‍රමයට සෑම වසර පහකට වරක් ආණ්ඩුව වෙනස් කිරීමට උත්සාහ කරනවාද, නැතහොත් රට ජයග්‍රහණය කරනවාද යන්න මෙවර මැතිවරණයේ දී තීරණය කළ යුතු බවත් පැවසීය.

    ආර්ථිකය නැවත ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇතැයි මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 දෙසැම්බර් මාසය අවසානය වන සිට සමාජ සුබසාධන වියදම් හැර සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාව විසින් සපුරා ඇති බවත් 2024 අප්‍රේල් මාසය අවසන් වන විට බොහෝ ව්‍යුහාත්මක ඉලක්ක ප්‍රමාදයකින් යුතුව හෝ සම්පූර්ණ කර ක්‍රියාත්මක කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙන බවද අනාවරණය කළේය.

    ශ්‍රී ලංකාව මෙතරම් ඉක්මනින් මෙම අර්බුදයෙන් ගොඩ එනු ඇතැයි බොහෝ අය නොසිතූ අවස්ථාවක මෙම තත්ත්වය තමා බලාපොරොත්තු වූවාට වඩා යහපත් තත්ත්වයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම ප්‍රතිඵල ලබා ගැනීම වෙනුවෙන් තමන් සමඟ විශ්වාසයෙන් කටයුතු කළ සියලුදෙනාට ස්තූතිවන බවද සඳහන් කළේය.

    බහුවිධ ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ මහ බැංකුකරණය” යන තේමාව යටතේ 45 වන වරටත් සංවිධානය කර තිබූ මෙම සමුළුව දෙදිනක් පුරා පැවැත්වේ.

    සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය,

    මහබැංකු අධිපතිතුමා සඳහන් කළ ආකාරයට අද උදෑසන අපට සුභ ආරංචියක් අසන්න ලැබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන යටතේ අපගේ කාර්ය සාධනය ශක්තිමත් බව ප්‍රකාශ කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම, එය මා බලාපොරොත්තු වූවාට වඩා හොඳ තත්ත්වයක්. 2023 දෙසැම්බර් මාසය අවසානය වන සිට සමාජ වියදම් පිළිබඳ දක්වන ඉලක්කය හැර සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ඇති බවත් 2024 අප්‍රේල් මාසය අවසන් වන විට බොහෝ ව්‍යුහාත්මක ඉලක්ක ප්‍රමාදයකින් යුතුව හෝ සම්පූර්ණ කර ක්‍රියාත්මක කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා.

    ශ්‍රී ලංකාව මෙතරම් ඉක්මනින් මේ අර්බුදයෙන් ගොඩ එනු ඇතැයි බොහෝ අය නොසිතූ අවස්ථාවක, පසුගිය වසර දෙක තුළ අප ඒ වෙනුවෙන් විශිෂ්ට කාර්යයක් ඉටු කර තිබෙනවා. මම මේ පිළිබද දැඩි විශ්වාසයකින් කටයුතු කළා. ඒ වගේම මගේ මේ විශ්වාසය මා සමඟ බෙදාගත් කණ්ඩායමක් සිටීම ද මට වාසනාවක් බවට පත්වුණා. විශේෂයෙන්ම ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ වූවත් මෙම කණ්ඩායමට මගපෙන්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඉටුකළ කාර්යභාරය මා අගය කළ යුතුයි. ඔවුන් දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකාවට නුහුරු නුපුරුදු දෙයක් වූ වියදම් සීමා කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කළා.

    මහ බැංකුවට මුහුණ දීමට සිදු නොවූ අයවැය සීමාවන් තුළ ප්‍රතිපත්ති සැකසීමට සහ ඒවාට මුහුණ දීම සඳහා මහ බැංකුව සමඟ එක්ව කටයුතු කළ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ මුදල් අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට ද මගේ ස්තූතිය පුද කළ යුතුයි. ඒ වගේම, මම ඉන්දීය රජයට සහ එහි සංචිත බැංකුවට මෙන්ම බංග්ලාදේශ රජයට සහ එහි මහ බැංකුවට ද ස්තූතිවන්ත විය යුතුයි. ඔවුන් ලබාදුන් ඩොලර් බිලියන තුනහමාරක මුදල සහ ඩොලර් මිලියන 200ක මුදල ශ්‍රී ලංකාවට ජීවිතාරක්ෂකයක් බවට පත්වුණා. එසේ නොවන්නට අද අපට මෙම ස්ථාවරත්වය ලබන්නට හැකි වන්නේ නැහැ.

    ඔවුන්ගේ සහයෝගය නිසා අපට පොහොර ලබාගැනීමට හැකියාව ලැබුණා. ඒ සඳහා ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) සහ ලෝක බැංකුවෙන් ආධාර ලබාගැනීමටත් හැකි වුණා. එය දුෂ්කර වසරක් බවට පත් වුණා. ඒ පිළිබඳ මා මෙහිදී සඳහන් කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ කතාව හුදෙක් පැයක සාකච්ඡාවක් සඳහා නොවෙයි, පොතක් ලිවීමට සුදුසුයි.

    අද අප මෙහි රැස්වන්නේ බහුවිධ ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ බැංකුකරණයේ ගැටලු සාකච්ඡා කිරීමටයි. මෙම මාතෘකාව සඳහා මෙම කලාපය තුළ ගැඹුරු සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා. 2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසු මුදල් ප්‍රතිපත්තිය ඉටු කර ඇති කාර්යභාරය සහ COVID වසංගතයෙන් පසු යථා තත්ත්වයට පත්වීම සඳහා ගත යුතුව තිබූ ක්‍රියාමාර්ග පිළිබඳව මා විස්තර කළ යුතු නැහැ.

    ඔබ ප්‍රශ්න දෙකකට ද මුහුණ දී සිටිනවා. මොන්ට්‍රියල්හි බලය පවතින්නේ කොතැනද? එය වත්මන් ඡන්ද රටාව සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කරන්නේද? එසේ නොවේ නම්, බ්‍රික්ස් සංවිධානය (BRICS) වෙතින් එල්ල විය හැකි අභියෝගය කුමක්ද? මේවා අප සැමගේ අවධානය යොමු වන කරුණු බවට පත් වෙනවා. විශේෂයෙන්ම ගෝලීයකරණයට යොමු වීමත් සමඟ දකුණු ආසියාව ද ඒ හා සමාන ස්ථාවරයක් ගත යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියට සිදුවන්නේ කුමක්ද? නමුත් මම ඒවා ගැන මේ අවස්ථාවේ විස්තර කරන්න යන්නේ නැහැ.

    නමුත් ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති දේ සහ ඉදිරි වසරවලදී අප කිරීමට අදහස් කරන දේ ගැන වචන කිහිපයක් කතා කිරීමට මම සිතුවා. අර්බුදයේ ගැඹුර පැහැදිලි කිරීම සඳහා, මම කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නම්. මම ඉපදුනේ 1949 වර්ෂයේදීයි. ඒ කාලයේදී ස්ථාවර විනිමය අනුපාතය රුපියල් 3යි ශත 32යි. 1978 දී ස්ථාවර විනිමය අනුපාතිකය ඉවත් කර ඩොලරයට රුපියල් 16ක් වූ පාවෙන විනිමය අනුපාතිකයකට අප යොමුවුණා.

    මුදල් මුද්‍රණය කිරීම අවශ්‍ය වූ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වැනි පුළුල් යෝජනා ක්‍රම තිබියදීත්, 2009 වන විට අපි ඩොලරයක් සඳහා රුපියල් 116 ක් ගෙවිය යුතු මට්ටම දක්වා ළඟා වී සිටියා. එවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබුණේ විදේශ ණය අර්බුදයේ මධ්‍යස්ථ අවදානමක් පවතින බවයි.

    2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු මහවැලි යෝජනා ක්‍රමය මඟින් විදේශ විනිමය ඉතිරි කරමින් රට සහලින් ස්වයංපෝෂිත කළා. අපගේ නිදහස් වෙළඳ කලාප අපගේ නිෂ්පාදිත භාණ්ඩ අපනයනය කිරීම සහතික කළ අතර අපට දියුණු සංචාරක කර්මාන්තයක් පැවතුණා. 2024 වන විට ඩොලරයක මිල රුපියල් 400 දක්වා ඉහළ යනු ඇතැයි ජනතාව අපේක්ෂා කළා.

    නමුත් අද එය රුපියල් 300යි. ඉතින්, 1949 වසරේ සිට 2024 වසර දක්වා කතාවෙන් ඉස්මතු කරන්නේ ආර්ථිකයේ වර්ධනය බොහෝ විට මහ බැංකු ප්‍රතිපත්තිවලට වඩා මුදල් මුද්‍රණය කිරීම මත සිදුවී ඇති බවයි. ණය ගැණුම්කරුවෙකු ලෙස, අපි මුදල් ණයට ගැනීම හෝ මුද්‍රණය කිරීම සිදුකළා.

    අප ඉදිරිපත් කර ඇති නව මහ බැංකු පනතේ අරමුණ වන්නේ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීමයි. එහිදී මහ බැංකුවෙන් ණය ගන්න හෝ මුදල් මුද්‍රණය කරන්න හැකියාවක් නැහැ වගේම රාජ්‍ය බැංකුවලින් ගන්නත් බැහැ. ආදායම වැඩි කර ගන්නේ කෙසේද යන්න සොයා බැලීමට මෙය අපට බලපෑමක් ඇති කරනවා. මීට අමතරව, උද්ධමනය පිළිබඳ ඉලක්ක ද පවතිනවා.

    අපට නීති තුනක් තිබෙනවා. ඒ මහ බැංකු පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය පනත් කෙටුම්පතයි. මේ කෙටුම්පත් දෙකම පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතුයි. මේවා අපගේ මූල්‍ය හා මුදල් ස්ථාවරත්වයේ රාමුව සකස් කරනවා. අපි මෙය සිදු කළ පසු, ඉදිරි දශකය හෝ ඊට වැඩි කාලයක් සඳහා ශ්‍රී ලංකාව මූල්‍ය හා මුදල් කටයුතුවල ස්ථාවරත්වයක් අත්කර ගන්නා බව මම දකිනවා.

    දෙවැනි කාරණය දූෂණයයි. දූෂණය ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු ප්‍රශ්නයක් වී ඇති අතර, එය විසඳිය යුතු ආකාරය පිළිබඳ සෑම දෙනාම කතා කරනවා.නමුත් ඔවුන් හසුකරගන්නේ කෙසේද යන්න කවුරුත් කියන්නේ නැහැ. ගැටලුව එයයි. ඒ නිසා මගේ රජය එකඟතාවකට පැමිණ මේ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තිබෙනවා. අපට ඔවුන්ගේ උපකාර ද අවශ්‍ය වූ අතර, අප ඔවුන්ගෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලන විනිශ්චය පිළිබඳ වාර්තාව ලබාගෙන තිබෙනවා.

    අප බොහෝ නීති සම්මත කළ යුතුයි. ඒ අතුරින් දූෂණ විරෝධී පනත සම්මත වී තිබෙනවා. දෙවැන්න, අපරාධයකින් උපයාගත් ආදායම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කෙටුම්පත් කරමින් පවතිනවා. අවශ්‍ය වෙනත් නීති මාලාවක් තිබෙනවා. මා සිතන ආකාරයට 2025 වසර වන විට රටවල් එකක් හෝ දෙකක් හැරුණු කොට දකුණු ආසියාව හා අග්නිදිග ආසියාව තුළ පවතින ශක්තිමත්ම දූෂණ විරෝධී යාන්ත්‍රණය අප සතු වෙනවා.

    මීළඟ ප්‍රශ්නය වන්නේ සියලුම දේශපාලනඥයන් කනස්සල්ලට පත් කරනු ලබන ප්‍රශ්නයයි. ඒ රැකියා පිළිබඳ ප්‍රශ්නයයි. ඔබ රැකියා උත්පාදනය කරන්නේ කෙසේද? අපේ රටේ රැකියා බලාපොරොත්තුවෙන් විශාල පිරිසක් සිටිනවා. අධ්‍යාපන මට්ටම ඉහළ යන විට, ඔවුන් හුදෙක් පහළ මට්ටමේ රැකියාවකින් සෑහීමකට පත් වන්නේ නැහැ.

    ඔවුන් සතුටුදායක රැකියා බලාපොරොත්තු වෙනවා. අපේ රටේ, සෑම කෙනෙකුම සතුව ජංගම දුරකථනයක් හෝ දෙකක් තිබෙනවා. නමුත් රැකියාවක අපේක්ෂාව කුමක්ද? මේ කලාපය තුළ රැකියා උත්පාදනයත් සමඟ අපේ ඒක පුද්ගල ආදායමත් ඉහළ යා යුතු බව අප තේරුම් ගත යුතුයි.

    2024 වසර සඳහා වන වර්ධනය පිළිබඳ ලෝක බැංකු වාර්තාවක සඳහන් වන්නේ දකුණු ආසියාවේ වර්ධනය 2024 වසර සඳහා 6%ක් වනු ඇති බවට අපේක්ෂා කරන බවයි. එය ඉතා ඉහළ අගයක් වන නමුත් ව්‍යුහාත්මක අභියෝගයන් රැකියා උත්පාදනය කිරීමට මෙන්ම දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීමට ද බාධා ඇති කරනවා. පද්ධතිය අස්ථාවර කරමින් රැකියා විරහිත වර්ධනයක් සමඟ අපි හිරවී සිටිනවාද නැත්නම් අපි වර්ධනය දෙස අවධානය යොමු කරනවාද? මෙය ලංකාවේ අප අවධානය යොමු කළ යුතු තත්ත්වයක්.

    අප සියලුදෙනාම සිටින්නේ මෙම සාම්ප්‍රදායික බ්‍රිතාන්‍ය ක්‍රමයකයි. එහිදී අප අවශ්‍ය ප්‍රධාන ප්‍රතිපත්ති වෙනස්කම් සිදු කරන්නේ නැහැ. අපි එක අධිකාරියක් ඇතිකරමින් හෝ එය අහෝසි කර තවත් එකක් නිර්මාණය කරමින් විවිධ පනත් සම්මත කරනවා. නමුත් අප විසින් සම්පූර්ණ රාමුව නිර්මාණය කරන්නේ නැහැ. වෙනත් බොහෝ රටවල, ආර්ථික සංවර්ධනය සහ මූල්‍ය පද්ධතිය නියාමනය කිරීම පිළිබඳ ඇතැම් නීති පවතින බව දක්නට ලැබෙනවා. නමුත් අප එම තත්ත්වයට පත්ව නැහැ. එය එලෙස නොකිරීමේ බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තිය මත අප රැඳී සිටිනවා.

    බ්‍රිතාන්‍යය නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් පිළිගනු ලබනවා. අපි ජීවත්වන්නේ ඒ සියල්ල විවාදයට ලක්වන රටවලයි. ඔබට අවශ්‍ය වන්නේ නිදහස් වෙළඳපොල ආර්ථිකයක් ද, සමාජවාදී ආර්ථිකයක් ද, මාක්ස්වාදී ආර්ථිකයක් ද, පාලිත ආර්ථිකයක් ද එසේත් නොමැති නම් චීන හෝ වියට්නාම ලක්ෂණ සහිත සමාජවාදයක් ද? අපට අවශ්‍ය දේ සහ අපගේ ඉලක්ක මොනවාද යන්න ගැන අපට සිතාගත නොහැකියි.

    අප නීති සම්පාදනයේ තුන්වෙනි කොටස ක්‍රියාත්මක කළ යුතු බව මම සිතුවා. මට අනුව වැදගත්ම දේ වන්නේ එයයි. අපි ආර්ථික වර්ධනය තහවුරු කරන්නේ කොහොමද? ශ්‍රී ලංකාවට වර්ධනයක් අත් කරගැනීමට නම් ආනයන පදනම් කරගත් ආර්ථිකය, අපනයන පදනම් කරගත් ආර්ථිකයක් බවට පරිවර්තනය කළ යුතුයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවේ සඳහන් වන පරිදි, “කෙසේ නමුත්, ආර්ථිකය තවමත් අවදානමට ලක්ව පවතින අතර, ණය තිරසාරභාවය කරා යන මාර්ගය පිහියක දාරයක් මත ගමන් කිරීම වැනිය. ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ වේගය පවත්වාගෙන යාම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය කල් පවතින ප්‍රකෘතිමත් වීමක් සහ ණය තිරසාරභාවයක් කරා යන මාවතකට ගෙන ඒමට ඉතා වැදගත් වෙනවා”. එහි ප්‍රතිඵලයක් ලෙස, අප ආර්ථික පරිවර්තන පනත නමින් නව නීතියක් ගෙන ඒමට තීරණය කළා.

    බ්‍රිතාන්‍ය පාලන සමයේ සිටම අපට වතු වගාවන් මත යැපෙන යටත් විජිත වෙළෙඳපොළ ආර්ථිකයක් නිර්මාණය කරන නීති පැවතුණා. 1972 වසරේ දී, ප්‍රාග්ධනය ගොඩනැඟීමේ බිඳවැටීමක් සහ දැඩි ලෙස පාලනය කරන ලද ආර්ථිකයක් ඇති වුනා. 1977 වසරෙන් පසුව අපි ක්‍රමයෙන් ආර්ථිකය විවෘත කිරීමට පටන් ගත්තා. නමුත් අපි ඊට අවශ්‍ය නීති සම්පාදනය කරගත්තේ නැහැ. 1972 වසරේආර්ථිකය මගින් නීති මාලාවක් ගෙනාවා, නමුත් අපි එයින් පසු ඉවත් වෙමින් සිටියා. අපි එයින් ඉවත්වෙන සෑම අවස්ථාවකම, එතැන කුමක් හෝ විරෝධතාවක් ඇතිවුණා. නැත්නම් ඒකට විරුද්ධව උද්ඝෝෂණයක් ඇතිවුණා. කොහොම නමුත්, අපි එයින් ඉවත් වුණා.

    නමුත් දැන් අප නව ආර්ථිකය ක්‍රියාත්මක කළ යුතුයි. අප කරන දේ ගැන ලැජ්ජා වීමට අවශ්‍ය නැහැ. අප එය සිදු කර අවසන් කළ යුතුයි. එර්හාර්ඩ් ජර්මනියේ සිදු කළේ එයයි, ජපන් ජාතිකයින් යුද්ධයෙන් පස්සේ සිදු කළේ එයයි, චීන ජාතිකයින් සිදු කළේ ද එයයි. වියට්නාම ජාතිකයින් සිදු කළේ එයයි. එහි බය වෙන්න දෙයක් නැහැ.

    අපේ රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ක්‍රමයේ මූලධර්මවලින් මම කිසිවිටෙක ඉවත් වී නැහැ.. සියලුම පුරවැසියන්ට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් ඇති බව සහතික කිරීම සහ මහජන යහපත සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආර්ථික ක්‍රියාකාරකම් මගින් මුළු රටේම වේගවත් සංවර්ධනයක් ඇති කිරීම යන අරමුණු දෙක පෙරදැරි කර ගනිමින් අප කටයුතු කරනවා.

    මේ ප්‍රතිපාදන දෙක ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය නැවත ලිවීමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. මුලින්ම මම මේ ව්‍යවස්ථාව ඇතුලත වැඩ කරනවා කියලා නීතියට ඇතුළත් කළා. ඒ නිසා මම ව්‍යවස්ථාවේ සඳහන් අරමුණුවලට පිටින් යනවා කියලා කාටවත් කියන්න බැහැ.

    3 වන කොටසේ 3 වන වගන්තියේ තුළ ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මගින් රජය විසින් ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉඩ සැලැස්විය යුතු බව මම සඳහන් කර තිබෙනවා. 2032 වන විට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ණය අනුපාතය 95% ට වඩා අඩු විය යුතුයි. මේවා ජාත්‍යන්තර මූලය අරමුදලේ ඉලක්කයි. 2032 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව මධ්‍යම රජයේ වාර්ෂික දළ මූල්‍යකරණ අවශ්‍යතාවය 13% ට වඩා අඩු විය යුතුයි. දැන් ඒක නීතියේ සඳහන් වෙනවා.

    2027 වසර වන විට සහ ඉන් පසුව දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව මධ්‍යම රජයේ වාර්ෂික ණය සේවාකරණය 4.5% ට වඩා අඩු විය යුතුයි. මෙය ජාතික ආර්ථික පරිවර්තනයේ එක් කොටසක්. ජාතික ආර්ථික පරිවර්තනයේ දී ලබාදෙන්නට අවශ්‍ය සාධක කිහිපයක් තිබෙනවා.

    දෙවන කොටස නම් ශ්‍රී ලංකාව ඉතා තරගකාරී අපනයන ඉලක්ක කරගත් ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමයි. මෙය තරගකාරිත්වය ඉහළ නැංවීම සඳහා ජාතික ආර්ථිකයේ විවිධාංගීකරණය සහ ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කම් ඇතුළුව නීතිමය වගකීමක් වෙනවා. අපට ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කම් තිබිය යුතු බව පනතේ සඳහන් වෙනවා. අප මේ ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කම් සිදු නොකළහොත් කිසියම් කෙනෙකුට අධිකරණය ඉදිරියට යාමට හැකියාව තිබෙවා. 2050 වසර වන විට ශුන්‍ය විමෝචන මට්ටම ළඟා කර ගැනීම, ගෝලීය ආර්ථිකය සමඟ ඒකාබද්ධ වීම, ස්ථාවර සාර්ව ආර්ථික ශේෂයන් සහ ණය තිරසර බව සාක්ෂාත් කර ගැනීම, ගොවි ඵලදායිතාව, ආදායම් සහ කෘෂිකාර්මික අපනයන ඉහළ නැංවීම සඳහා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ සියල්ල ඇතුළත් ආර්ථික වර්ධනය සහ සමාජ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම ද මේ සැලැස්මේ කොටසක් බවට පත්වෙනවා.

    ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් පහත සඳහන් ඉලක්ක සහතික කළ යුතු වෙනවා. දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2027 වන විට වාර්ෂිකව 5% දක්වා සහ ඉන් පසුව 5%ට වඩා වැඩි කළ යුතුයි. 2025 වසර වන විට රටේ විරැකියාව, ශ්‍රම බලකායෙන් 5% ට වඩා අඩු විය යුතුයි.

    කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය 2030 වසර වන විට 40% ට නොඅඩු සහ 2040 වන විට 50% ට නොඅඩු විය යුතුයි. ජංගම ගිණුමේ ගෙවුම් ශේෂයේ හිඟය වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% නොඉක්මවිය යුතුයි. 2025 වසර වන විට භාණ්ඩ හා සේවා අපනයන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 25% ට නොඅඩු විය යුතුයි, 2030 වසර වන විට 40% ට නොඅඩු වියයුතුයි සහ 2040 වසර වන විට 60% දක්වා ළඟා විය යුතුයි. ශුද්ධ සෘජු විදේශ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 5% ට නොඅඩු විය යුතුයි. 2030 වසර වන විට සහ 2030 වසරෙන් පසු එය 40% ට නොඅඩු විය යුතුයි. රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ශේෂය 2032 දක්වා දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක් දක්වා සහ 2032 වසරේ සිට අවම වශයෙන් 2%ක් දක්වා ළඟා විය යුතුයි. රාජ්‍ය ආදායම 2027 වසරෙන් ඔබ්බට දළ දේශීය නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 15% දක්වා ළඟා විය යුතුයි. බහුමාන දරිද්‍රතා ප්‍රමාණයේ අනුපාතය 2027 වසර වන විට 15%ටත් 2035 වන විට 10%ටත් වඩා අඩු විය යුතුයි.

    මේවා දුෂ්කර ඉලක්කයන් වෙනවා. නමුත් අප මේ දුෂ්කර දේ ඉටු නොකළහොත් සාර්ථක වීමට හැකියාවක් නැහැ. යම් ආණ්ඩුවකට මෙය සිදු කළ නොහැකි බව සිතුණහොත් ඔවුන් පාර්ලිමේන්තුවට ගොස් මේ පනත සංශෝධනය කරගත යුතුයි. එසේ නොමැතිනම්, ඔබ මෙම රාමුව තුළ ක්‍රියා කළ යුතුයි.

    මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මහ බැංකුව, භාණ්ඩාගාරය සහ ආර්ථික උපදේශකයින් සියලු දෙනා එක්ව කටයුතු කරනවා.

    මේ සියල්ල ආරම්භයේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව අප ගෙන ඇති ක්‍රියාමාර්ගවල මූලික ප්‍රතිලාභීන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව බව සහතික කිරීමට මට අවශ්‍යයි. වැඩිපුරම දුක් වින්දේ ඒ අයයි. රැකියා අහිමි වූයේ, දේපළ උකස් කර ඉඩම් විකිණීමට සිදු වූයේ ඒ අයටයි. ඒ සඳහා, මුදල් පහළට ගලා යන බව සහතික කළ යුතු බව මම සඳහන් කළා. රුපියල ස්ථාවර කිරීම සහ පොලී අනුපාත පහත දැමීම එක් වාසියක් බවට පත්වී තිබෙනවා. ලෝක බැංකු ආධාර ඇතිව අප සමාජ සුබසාධන ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කර තිබෙනවා. පවුල් ලක්ෂ 18ක සිට එය පවුල් ලක්ෂ 24 දක්වා එය වැඩිකර තිබෙනවා. ඒ ඉතාම පහළ මට්ටටම දක්වා විහිදී තිබෙනවා. අප රජයේ සේවකයන්ට රුපියල් 10,000 දීමනාවක් ලබාදුන් අතර පෞද්ගලික අංශයද ඊට අනුගත වී තිබෙනවා. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමට ද රජය නියෝග කළා. එය වතු සමාගම් විසින් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කල අතර අධිකරණය එම අභියෝගය ඉවත දැමූවා. ඒ නිසා පහළම මුදල් ලැබෙන බව අපි සහතික කර තිබෙනවා.

    අප දිස්ත්‍රික් සංවර්ධනය සඳහාද අරමුදල් වෙන් කළා. මේවා විමධ්‍යගත අරමුදල් මගින් ගම්වල පාරවල් හදන්න හෝ ගොඩනැගිලි ඉදිකිරීමට ලබාදී තිබෙනවා. ඒ ප්‍රදේශයේ කුඩා කොන්ත්‍රාත්කරුවන්ට සහ වෙනත් අයට මුදල් ගලා ඒම සඳහායි. සාධාරණ මුදලක් ජනතාවට ලබාදී තිබෙනවා.

    1935 වසරේ සිට රජය මිනිසුන්ට වගා කිරීමට ඉඩම් ලබා දී තිබෙන නමුත් කිසි විටෙක ඔවුන්ට එහි නීත්‍යානුකූල අයිතියක් ලබාදුන්නේ නැහැ. ලබාදී තිබුණේ බලපත්‍රයක් පමණයි. ඒ වගේ ම අපි කොළඹ නගරයේ සහ ඒ අවට අඩු ආදායම්ලාභී පවුල් සඳහා කුලී පදනම මත නිවාස ඉදිකර දී තිබෙනවා. සාමාන්‍ය ජනතාවට නිවාස සෑදීමට හෝ වගා කිරීමට දී ඇති සියලුම ඉඩම් දැන් සින්නක්කර ඉඩම් ලෙස ඔවුන්ට ලබාදීම සඳහා අප ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. අප දැන් එය ක්‍රියාත්මක කරනවා. එසේම අඩු ආදායම්ලාභී මහල් නිවාස හිමියන්ට අපි හිමිකම් ඔප්පු ලබා දෙනවා. ඒ කියන්නේ අමතර පවුල් ලක්ෂ 20කට මේ මුදල් ගලා යනවා. මේවා බැංකුගත කළ හැකි වත්කම් බව පැවසිය යුතුයි.

    වෘත්තීය පුහුණු අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමටත් අප අලුත් නීති ගෙන එනවා. මොකද විශ්වවිද්‍යාලයට වඩා විශාල පිරිසක් රැකියාවක් සොයමින් වෘත්තීය පුහුණු අධ්‍යාපනයට යොමු වන නිසයි. මේවා අප ජනගහනයේ පහළ අන්තයට ප්‍රතිලාභ ලැබෙන බව සහතික කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග කිහිපයක්. එය සමාජයේ ඉහළින් සිටින කිහිප දෙනෙකුට සීමා කළ නොහැකියි. අපට විශාල සමාගම් තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍යයි. ඒවායින් බොහොමයක් ව්‍යාප්ත වීම දැකීමට මම කැමැත්තෙන් පසුවෙනවා. අපට දැනටමත් මාලදිවයිනේ හෝටල් පවතින අතර දැන් අපට බංග්ලාදේශය තුළ ද සිදු කිරීමට ආයෝජන තිබෙනවා. ඉන්දියානු ආයෝජන ලංකාවට එනවා අපි දකිනවා. අප පුළුල් වන විට, සහයෝගීතාවයට අදාළ ආර්ථික ගැටළු සමඟ කටයුතු කළ හැකි යැයි මම සිතනවා.

    අප සිටින්නේ ඉතා වැදගත් අවස්ථාවකයි. කලාපයේ බොහෝ රටවල මැතිවරණ ජයග්‍රහණය කර අලුත් ආණ්ඩු පත්වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ අප මැතිවරණයක් කරා ගමන් කරමින් සිටිනවා. බලාපොරොත්තු ඉහළ මට්ටමක පවතිනවා. සුපුරුදු ක්‍රමයට සෑම වසර පහකට වරක් අප ආණ්ඩුව වෙනස් කරන්න යනවාද, නැතහොත් අපි සැබවින්ම වැඩ කර පෙන්නනවාද? කියා තීරණය කළ යතුයි.

    සාර්ක් සංවිධානයේ මහලේකම් ගොලාම් සර්වාර් (Ambassodor. MD Golam Sarwar), මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ඉන්දීය සංචිත බැංකුවේ අධිපති ශක්තිකාන්ත දාස් (Shaktikanta Das), භූතාන රාජකීය මූල්‍ය අධිකාරියේ අධිපති දෂෝ පෙන්ජොර් (Dasho Penjore), මාලදිවයින් මූල්‍ය අධිකාරියේ අධිපති අලි හසීම් (Ali Hashim), නේපාල මහ බැංකුවේ අධිපති මහා ප්‍රසාද් අධිකාරි (Maha Prasad Adhikari), පාකිස්තාන රාජ්‍ය බැංකුවේ අධිපති සලීම් උල්ලාහ් (Saleem Ullah) යන මහත්මවරුන් සහ සාර්ක් කලාපීය රටවල මහාභාණ්ඩාගාර ලේකම්වරුන් ඇතුළු සාර්ක් කලාපීය රටවල මහබැංකු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya