සම්මා සම්බුදු පා පහස ලද පරම පුජනිය සොළොස්මස්ථාන අතුරින් ප්‍රමුඛ සිද්ධස්ථානයක් වන දීඝවාපි මහා සෑ රඳුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් විරාජමානව නැගී සිටිනු දැක ගනු වස් “දීඝවාපිය අරුණ භාරය” භාරකතෘ සහ පළමුවන භාරකරු ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ පූර්ණ අධීක්‍ෂණය හා මඟපෙන්වීම යටතේ, ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ මෙන්ම සැදැහැති ලක්වාසී ජනිජනයාගේ ශ්‍රම දායකත්වයෙන් හා මුල්‍ය ආධාර මත එහි ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටද සිදුවෙමින් පවතී.
මෙම මහඟු පින්කමේ තවත් එක් අදියරක් වන දීඝවාපී සෑ රඳුන්ගේ ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහා පිංකම හා ඊට සමගාමීව සිදුකෙරෙන අභිනව ධාතු මන්දිරය, සුවිසල් කාමර 20කින් හා විශාල ප්‍රමාණයේ ශාලා 4කින් සමන්විත 'අති පූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව' සහ දාන ශාලාව විවෘත කොට සම්බුදු සසුනට පුජා කිරීමේ අතිශය දුර්ලභ වූ පුණ්‍ය මහෝත්සවය වර්ෂ 2024 ක් ජූලි මස 14 වන දින පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සංවිධානය කර ඇත.
'බෞද්ධයා' රූපවාහිනී නාලිකව විසින් මේ දක්වා දීඝවාපී සෑ රඳුන්ගේ සිදුකල ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සුවිශාල මූල්‍ය අනුග්‍රහයක් දක්වා ඇති අතර, 'බෞද්ධයා' නාලිකාවේ මූල්‍ය හා පරිපාලන අධ්‍යක්‍ෂ මහේෂ් ද අල්විස් මහතා විසින් “දීඝවාපිය අරුණ භාරය” භාරකතෘ සහ පළමුවන භාරකරු ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත ඉදිරි කටයුතු සඳහා අනුග්‍රහය දැක්වීමේ අරමුණින් තවත් රුපියල් මිලියන 25 ක මූල්‍ය පරිත්‍යාගයක් සඳහා සංකේතාත්මකව චෙක්පත් ප්‍රදානයක් මෙහිදී සිදුකරනු ලැබිණ.
ධාතු ගර්භයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන්ව ඇති අතර, මෙම අවස්ථාවේ දී සැදැහැවත් පරිත්‍යාගශීලී ජයන්ත රත්නප්‍රිය මහතා සහ එම පවුලේ සාමාජිකයන් වෙත මෙන්ම පද්මිණි ගමගේ මහත්මිය ඇතුළු පවුලේ දූදරුවන් වෙත, දීඝවාපි මහා සෑ රඳුන්ගේ ධාතු ගර්භයේ එළඹෙන ජූලි මස 14 වන දින තැන්පත් කිරීමට නියමිත ධාතු කරඬු සහ බුදු පිළිම වහන්සේලා සංකේතාත්මකව භාරදීම මෙහිදී සිදුකරනු ලැබිය. තවද, ධාතු ගර්භයේ තැන්පත් කිරීම සඳහා බුදු පිළිම සහ ධාතු කරඬු වහන්සේලා ලබා දීම වෙනුවෙන් වන ප්‍රථම ටිකට්පත ද මෙහිදී ප්‍රදානය කරන ලදි.
දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාණ ස්වාමින් වහන්සේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක (වාස්තු විද්‍යා සංරක්‍ෂක) ප්‍රසන්න බී රත්නායක මහතා, ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.