1983-2009 කාලය තුළ ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම පුද්ගලයන් සැමරීම සඳහා සංහිදියාවේ සහ ප්‍රතිසන්ධානයේ සංකේතයක් ලෙස ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් අධ්‍යයනය කරන ලදී.
ඒ අනුව විශේෂඥ කමිටුව විසින් පසුගිය කාලය තුළ යාපනය, මුලතිව්, කිලිනොච්චි, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල මහජන අදහස් විමසීමේ සැසි පවත්වන ලද අතර සංහිඳියාව සහ ප්‍රතිසන්ධානය සම්බන්ධ විෂය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් අදහස් විමසීම ද සිදු කෙරිණි.
මෙම මහජන සැසි, අදාළ ප්‍රදේශවල සේවය කරන ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලයෙහි ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කරන ලදි. ඒ සඳහා සහභාගී වූ ජනතාවට ජාතික සමගිය, සංහිදියාව සහ ප්‍රතිසන්ධානය පිළිබඳ සිය අභිලාෂයන්, අදහස් සහ යෝජනා විවෘතව සහ නිදහස්ව ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසිනි.
අනුස්මරණය සඳහා ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බවට කමිටුව විසින් අවධාරණය කර ඇති අතර, විවිධ කණ්ඩායම් සහ පුද්ගලයින් අනුස්මරණය සහ ප්‍රතිසන්ධානය යන සංසිද්ධීන් සමඟ වෙනස් ආකාරයෙන් ක්‍රියාකරන බවට කමිටු වාර්තාව තුළින් පෙන්වා දී ඇත.ඒ හරහා ගොඩනැගුණු පොහොසත් දැනුම් සම්භාරයක් පවතින බවත් පෙන්වා දෙන විශේෂඥ කමිටුව, රටේ ගැටුම් සම්බන්ධ අතීතය පිළිබඳව වාර්තා කිරීමට, අදහස් දැක්වීමට හෝ වෙනත් ආකාරයකින් ඒ හා කටයුතු කිරීමට දරන උත්සහයේ දී එම දායකත්වයන් උපයෝගී කර ගැනීමේ වැදගත්කම පැහැදිළි කර දී ඇත.
සිය අධ්‍යයනයේ දී මතු වූ පුළුල් අදහස් මාලාව සලකා බැලීමෙන් අනතුරුව කමිටුව විසින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අතුරින් ශ්‍රී ලංකාවේ ගැටුම් සහ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන්ට අදාළව ගැටුම් සමය තුළ දී බිහි වූ කලාත්මක හා සංස්කෘතික ප්‍රකාශන තැන්පත් කරනු ලබන සංරක්ෂණාගාරයක් වශයෙන් සංකේතීය ගොඩනැගිල්ලක් කේන්ද්‍රීය ස්ථානයක ඉදිකිරීම නිර්දේශ කර ඇත. මේ තුළින් ගැටුම් නැවත ඇති නොවීම සඳහා සාමූහික කැපවීම සහතික කිරීමත්, සියලු ශ්‍රී ලාංකිකයන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කෙරේ.
කමිටු වාර්තාව භාරදීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.