ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවතට

    ජූනි 11, 2024

    කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයවල ජල ගැලීම් වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා චක්‍රලේකනයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව ඇති බවයි.

    එම චක්‍රලේඛනය සති දෙකක් ඇතුළත සියළුම රාජ්‍ය ආයතනලට ලබා දෙන බවද හෙතෙම පැවසීය.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට ඊයේ (10) සහභාගී වෙමිණි.

    අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඔස්ට්‍රේලියානු, නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී කියා සිටියේ කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල පවතින තෙත් බිම් සංරක්ෂණය කිරීම මඟින් ජල ගැලීම් පාලනය කිරීමට හැකි බවයි.

    කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයවල පවතින කුඩා ජල මාර්ග, පැති කාණු අවහිර වීම ජල ගැලීම් වලට ප්‍රධාන හේතුව බවට හදුනාගෙන තිබෙන බවද ලේකම්වරයා පැවසීය.

    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, වාරීමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරී මාර්ග දෙපාර්තමේන්තුව හා පළාත් පාලන ආයතන එක්ව කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර බැසයාම සම්බන්ධයෙන් විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බවද ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා සඳහන් කළේය.

    ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා විශේෂ ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කරයි.

    කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘතිය අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කෙරේ. කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ව්‍යාපෘති ලෙස මෙම වැඩ සටහන ක්‍රියාත්මක වෙයි.

    කොළඹින් පිට ජලාප්‍රවාහන කටයුතු වැඩිදියුණු කිරීම හා නාගරික භූමි අලංකරණ ව්‍යාපෘතිය, පැලන්ගස්තුඩුවේ පොම්පාගාර ව්‍යපෘතිය වැසි ජල පොම්පාගාර ගංවතුර දොරටු ඇතුලු ගංවතුර පාලන පහසුකම් ක්‍රියාතක්මක කිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, ඒකාබද්ධ ගංවතුර කළමණාකරණ පද්ධති සහ ත්‍යතයකාලීන පාලන දත්ත ම්‍යධස්ථාන සදහා ස්ථාපිත පහසුකම් ක්‍රියාත්මක කිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, පිලියන්දල ප්‍රධාන සංවර්ධන සැලැස්මේ ජලාප්‍රවාහන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ පාර්ලිමේන්තුවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශය වන බත්තරමුල්ල ජල පෝෂක ප්‍රදේශයේ ජලාප්‍රවාහන හා පාරිසරික වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙල එම ව්‍ය්‍යාපෘති 07යි.

    ඉන් ව්‍යාපෘති 02ක් මේ වසරේ දී අවසන් කිරීමට අපේක්ෂිතයි. පිලියන්දල ප්‍රධාන සංවර්ධන සැලැස්මේ ජලාප්‍රවාහන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ පාර්ලිමේන්තුවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශය වන බත්තරමුල්ල ජල පෝෂක ප්‍රදේශයේ ජලාප්‍රවාහන හා පාරිසරික වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙල. මෙම ව්‍යාපෘති සදහා වැය කරන මුදල රුපියල් මිලියන 203කි. මීට අමතරව පෑලියගොඩ දැනට පවතින පොම්පාගාරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ද මේ වසරේ අවසන් කරන බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා පවසයි.

    ගංවතුර උවදුරුවලට ගොදුරු විමේ අවධානම අඩු කිරීමේ අරමුණින් මාදිවෙල දකුණු හැරවුම් ව්‍යාපෘතිය 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මකයි. කලු පාලමේ යෝජිත Gate Mounted Pumps ස්ථාපනය කිරීම නිර්මාණ කටයුතු ව්‍යාපෘතිය 2021වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අතර මෙම ව්‍යාපෘති 2ම මෙම වසර අවසානයේ අවසන් කිරීමට නියමිතය. මේ සදහා පිළිවෙලින් රුපියල් ලක්ෂ 10ක් සහ රුපියල් ලක්ෂ 90ක් වැය වී තිබේ.

    මෙම ව්‍යාපෘති වලට සමගාමීව ගංවතුර අවම කිරීමේ අරමුණින් කොළඹ ඇළ මාර්ග නඩත්තු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම ද සිදු කරමින් පවතී. ජපන් ජබර, සැල්වීනියා, ආක්‍රමණික ශාක බැවින් ඇළ මාර්ගයන්හි වැවී ඇති මෙම ශාක ඉවත් කර, නාගරික පොලිතීන් හා ඝන අපද්‍රව්‍ය ඉවත් කර ඇළ මාර්ග පිරිසිදු කිරීම මිනිස් ශ්‍රමය සහ යන්ත්‍රෝපකරණ උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබයි. මෙම කාර්යය වාර්ෂිකව සිදු කිරීමට සිදුවන බැවින් මෙම ව්‍යාපෘතිය වාර්ෂික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක බවද ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය සඳහන් කළේය.

    ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ ප්‍රධාන ඇල මාර්ග හා වැටි නඩත්තු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපාතියක්ද ක්‍රියාත්මක කරයි. ඒ අනුව කොළඹ ප්‍රධාන ඇල මාර්ග කිලෝ මීටර් 44ක් නඩත්තු කිරීමද සිදු කරන්නේ මෙම ආයතනයයි. මෙම ව්‍යාපෘතිය සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 295කි.
    ඒ අනුව කලු ඔය ද්‍රෝනි ඇල මාර්ග නඩත්තු කිරීම, ඇල මාර්ගයට යාබද ඇල ඉවුරු සංරක්ෂණය, නව ඉවුරු සැකසීම, ලූනාව ඇල මාර්ගය නඩත්තු කිරීම, ලූනාව කලපුව, පැරණි ඕලන්ද ඇල හා ඒ සම්බන්ධිත ජල රැදවුම් නඩත්තු කිරීම මේ යටතේ සිදු වේ.

    මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය, ඉඩම් සංවිධානය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (තෙත්බිම් කළමනාකරණ) ආචාර්ය එල්.එස්.විජේරත්න, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත්හේවා, ඉඩම් සංවිධානය කිරීමේ සංස්ථාවේ පරිසරවේදී රණුෂී සිරිපාල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya