ඒ මහතා මේ බව සඳහන් කළේ ගංවතුරෙන් බලපෑමට ලක් වූ කඩුවෙල ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් සොයා බැලීමට සහ එම ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ(08) එක් වෙමිනි.
ගංවතුර බැස යාමෙන් පසුව ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී සොයා බැලු සාගල රත්නායක මහතා ජනතාවට නැවත පදිංචිවීම් පහසුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සපයන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ගංවතුරෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ නිවාස දැක බලා ගැනීමටද එක් වූ සාගල රත්නායක මහතා එම නිවාස හිමියන් සමඟ ද කථා බහක නිරත වෙමින් ඉදිරියේ දී මෙම ගංවතුර තත්ත්වය පාලනය කර ගැනීම වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද ඔවුන් සමඟ සාකච්ඡා කළේය.
මේ අතර විදේශ වෛද්‍ය කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් කඩුවෙල ඓතිහාසික ශ්‍රී රන්කඩු පත්තිනි දේවාල පරිශ්‍රයේ පැවති වෛද්‍ය සායනය නිරික්ෂණය කිරීමට ද එක් වූ සාගල රත්නායක මහතා, රන්කඩු පත්තිනි දේවාලයේ කටයුතු සොයා බැලීමට ද අමතක නොකළේය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සාගල රත්නායක මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,
ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු සහාය ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. අප වරින් වර මෙම ප්‍රදේශවලට පැමිණෙන්නේ එතුමා ලබා දුන් උපදෙස් අනුවයි.
ජනතාවට සහන සැලසීමේ කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ බලය අප නිලධාරීන්ට ලබා දී තිබෙනවා. එවැනි තීන්දු තීරණ ගත නොහැකි අවස්ථාවල ඒවා අභියාචනා කමිටුවකට ඉදිරිපත්කර අවසන් තීන්දුව ගැනීමටත් තින්දු කර තිබෙනවා. මෙම සියලු කටයුතුවලින් බලාපොරොත්තු වන්නේ විපතට පත් ජනතාවට ඉතා ඉක්මණින් තම ජිවිත යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය පසුබිම සලසා දීමයි.
අපේ රටේ වැටුප් විෂමතා බොහොමයක් ඇති වී තිබෙනවා. පිළිවෙළකට වැටුප් සකස් නොකිරීම සහ විවිධ අවස්ථාවලදී ක්ෂණික පිළිතුරු ලබාදීමට කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙනවා. වැටුප් විෂමතාව පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් සකස් කිරීමට පසුගිය කැබිනට් මණ්ඩලයේ දී අනුමත වුණා. ඉදිරියේදී එම කටයුතු සිදුවනු ඇතියි.
නමුත් මෙම අවස්ථාව ජනතාව කරදරයට පත් වූ අවස්ථාවක්. ඒ වගේම රට විශාල ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දී හිස ඔසවමින් සිටින අවස්ථාවක්. රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති නමුත් රට මුල්‍ය ගැටලුවකට මුහුණ දී සිටින බැවින් සියලුදෙනා ප්‍රවේශමෙන් කටයුතු කළයුතු කාලයක් තමයි අප ගත කරමින් සිටින්නේ. ඒ නිසා මෙය වැඩ වර්ජන සිදු කිරීමට සුදුසු කාලයක් නොවෙයි.
මෙම කරුණු අවබෝධකරගෙන කටයුතු කරන ලෙස මම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබේ ප්‍රශ්න අප කිසි විටෙක නොසළකා හරින්නේ නැහැ. ඒ පිළිබඳවත් අපට අවබෝධයක් තිබෙන අතර ඒවා විසදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර තිබෙන බවද කිව යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා සහ කඩුවෙල ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.