අධ්‍යාපනය පිළිබඳ පැවැති විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
අධ්‍යාපනය වැනි ජාතික, ජාත්‍යන්තර විෂයක් ගැන විවාදයක් කරන විට ඊට සුබවාදීව අපි දායක විය යුතුයි. සියයට 25 ක පඩි වැඩි කිරීමක් ඉල්ලමින් 12700 ක් වන විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෘත්තීය සමිති 18 ක් එක්ව වැඩ වර්ජනයක මේ වන විට නිරතව සිටිනවා. දේශපාලනීකරණයක් තුළ අපි සිරව සිටිනවා. ජාතික වශයෙන් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය යනු කුමක්ද යන්න නිර්වචනය කර ගත යුතුයි. ඒ හරහා ආර්ථික පරිවර්තනයක් කිරීමට පියවර ගත යුතුයි. මිහිඳු හිමියන් ඇසූ ප්‍රශ්න තුළින් තමයි අපට තාර්කික චින්තනය පැමිණියේ. ඉතිහාසයේ සිට ඒ අනුව අප සතුව තාර්කික චින්තනය තිබෙනවා. අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය කියන දෙක නිර්වචනය කර ගත නොහැකි නම් ඒවාට වෙන් කරන මුදල් සියල්ලක්ම අපතේ යනවා. 2050 වන විට මෙරට අධ්‍යාපන, උසස් අධ්‍යාපන ක්‍රම තිබිය යුතු තැනට අපි ඒවා පත් කළ යුතුයි. යහපත් දේවල් බොහොමයක් තිබියදීත් වඩාත් යහපත් දෙය තෝරා ගැනීමට තාර්කිකව, විද්‍යානුකූලව සිතිය යුතුයි. ඩිජිටල්කරණය හැම ක්ෂේත්‍රයකටම විහිද තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමේදී ඩිජිටල්කරණය අවශ්‍ය වෙනවා. කෘත්‍රීම බුද්ධිය ගැන මෙය නැතිව හිතන්න බැහැ. ඩිජිටල්කරණය සිදු වුවහොත් තමන්ගේ රැකියාව අහිමි වෙයිද කියලා ඇතැම් පිරිස් බියට පත්ව සිටිනවා. අතින් ගණන් කරන දත්ත නොතිබිය යුතුයි. දත්ත පරිගණකගත කළ යුතුයි.
විශ්වවිද්‍යාල 17 ක් මේ වන විට වැසී තිබෙනවා. අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් ලබාදීමට නොහැකි වීම නිසා මේ ගැටලුව උද්ගත වී තිබෙනවා. 2016 සිදු වූ වැටුප් විෂමතාවක් ගැන කියලා තමයි මේ ගැටලුව උද්ගතව තිබෙන්නේ. මේ අගතිය විසඳීමට නම් රුපියල් බිලියන 6.8 ක් අවශ්‍ය වෙනවා. ඉදිරි දින දෙක තුන තුළ විසඳුමක් ලබා දුන්නොත් කොන්දේසි සහිතව මේ වැඩ වර්ජනය නිමා කරලා අනධ්‍යයන සේවකයින් සේවාවට වාර්තා කරන තත්ත්වයට පත් කිරීමට අපි පියවර ගන්නවා. ලබන සතිය වන විට මේ වැඩ වර්ජනය අවසන් කිරීමට හැකිවෙනු ඇතැයි මම සිතනවා. මේ අධ්‍යාපනය අපි රැක ගත යුතුයි. ආර්ථික ගෝලීයකරණයට අපිට නැවැත්විය නොහැකියි. ඊට අනුව අපි පරිවර්තන කළ යුතුයි. බුද්ධි දරිද්‍රතාව අපට තිබෙනවා. බුද්ධි ගලනය නිසා අපේ රටට අහිතක් වෙනවා. කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1000 තුළට පැමිණ තිබෙනවා. එය රටට ආඩම්බරයක්. කලින් සිදු කළ වැරදි නොකර අපි නිවැරදි විය යුතුයි.
ජාතික පෙර පාසල් අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයයි. ඒ සඳහා ජාතික කතිකාවතක් ඕන. නොබෙදුණු රටක් එතුළින් හැදිය හැකියි. පස්වැනි ශ්‍රේණියේ විභාගයේ මැද පන්තියේ දෙමාපියන්ගේ ලොකුම අභියෝගය බවට පත්ව තිබෙනවා. ඊට හේතු වන්නේ දරුවා ජාතික පාසලකට දමා ගැනීම. අටවැනි ශ්‍රේණියේදී දරුවාට තීරණ ගත හැකි බුද්ධියක් තිබෙනවා. කැනඩාවේ, පින්ලන්තයේ වැනි රටවල අනුගමනය කරන්නාක් මෙන් දරුවා, දෙමාපියන් සමඟ කතා කරලා දරුවාට සුදුසු අධ්‍යාපන ක්‍රමවේදයක් ලබාදීම සිදු කළ හැකියි. විශ්වවිද්‍යාල 17 ක් රජය යටතේ තිබෙනවා. 26 ක් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල තිබෙනවා. ඒ දෙකටම අමතරව පිටරට උපාධි ලබාදෙන උසස් අධ්‍යාපන ආයතන ලෙස ලියාපදිංචි වූ ආයතන 237 ක් තිබෙනවා. 2030 වසර වන විට ජාතික අධ්‍යාපන ක්‍රමවේදයක් ස්ථාපිත කර අවසන් කළ යුතුයි. තාක්ෂණ අධ්‍යයනය සඳහා අපට පවතින බාධා මොනවාද කියන එකත් සාකච්ඡා කළ යුතුයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික, ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් සෑදීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතුයි.