නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෝමාගම කලාපයේ සියළුම පාසල් වලට සුහුරු පන්ති කාමර100ක්

    ජූනි 04, 2024

    හෝමාගම අධ්‍යාපන කලාපයේ සියලුම පාසල්වලට සුහුරු පන්ති කාමර සියයක් ලබාදෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    “වර්නෝදය සුහුරු පාසැල් ව්‍යාපෘතිය“ යටතේ හෝමාගම අධ්‍යාපන කලාපයේ පාසල් සියයක සුහුරු පන්ති කාමර ඇති කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් හෝමාගම මහා විද්‍යාලීය ශාලාවේදී පැවැති අවස්ථාවේදී ඒ මහතා මේ බව කීවේය. ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන සඳහා හෝමාගම කලාපයේ පාසැල් 37ක විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩල නියෝජිතවරු පාසල් සංවර්ධන සමිති නියෝජිතවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් මේ සඳහා අවශ්‍ය උපකරණ කට්ටල පාසල් වෙත ලබාදීමට නියමිත අතර ඒ අනුව ස්මාර්ට් පුවරුව, ලැප්ටොප් පරිගණකය,vishuvalizer,අන්තර්ජාල සම්බන්ධතාවය (රවුටර් ) ඇතුළු පහසුකම්වලින් සමන්විත පන්ති කාමරයක් සඳහා එක් පාසැලකට රුපියල් ලක්ෂ 7ක මුදලක් වෙන් කිරීමට නියමිත වේ.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    Òපාසැලක පවතින ප්‍රධාන ප්‍රශ්නය සුහුරු පන්ති කාමරයක් නොමැති වීම යැයි හුවා දක්වන මාධ්‍ය සංදර්ශනයක් බවට ඇතමුන් එය පත්කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ පවතින දස දහසකට අධික පාසල්වල නියමානුකූල ඩිජිටල්කරණය කරන ලද අධ්‍යාපනයක් ලබා දීමට එක් පන්ති කාමරයක් කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිසා චීන රජයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක ණය ආධාරයක් යටතේ පෞද්ගලික සමාගමක් සමඟ දැවැන්ත ඩිජිටල් කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. මේ වසර තුළ ඩිජිටල් අධ්‍යාපනයට අවශ්‍ය අංග සම්පූර්ණ පාසැල් පද්ධතියක් ඉදිකිරීමේ කාර්යය ඉදිරි මාස කීපය තුළ ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්වනවා.

    එතෙක් බස්නාහිර පළාත් සභාව තුළින් වෙන් වී ඇති ප්‍රතිපාදන යටතේ,දෙමාපියන්ගේ රජයේ සහ සුබ පතන්නන්ගේ ද සහාය ලබා ගනිමින් හෝමාගම අධ්‍යාපන කලාපයට අයත් පාසල් සියයටම සුහුරු පන්ති කාමරයක් ස්ථාපිත කිරීමට අප පියවර ගෙන තිබෙනවා. විනිවිද භාවයෙන් යුතුව ඊට අවශ්‍ය උපකරණ ලබාදීමේ වගකීම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත අප භාර දී තිබෙනවා. ලබාගත හැකි අවම පිරිවැය යටතේ ගුණත්වයෙන් ඉහළම තත්ත්වයේ උපකරණ ලබා ගැනීමේ අවස්ථාව ඒ අනුව හිමි වෙනවා.

    නිදහස් අධ්‍යාපනය තුළින් බිහිවී රටේ අධ්‍යාපන අමාත්‍ය ධුරය ඇතුළු ඉහළම අමාත්‍යාංශ රාශියක වගකීම දැරිය හැකි තත්ත්වය දක්වා පැමිණි අප, රටේ ප්‍රාග්ධනය අහිමි දරුවන්ට ජීවිතය ගොඩනඟා ගැනීමට පවතින එකම මාර්ගය අධ්‍යාපනය බව මා පුළුල් ලෙස අවබෝධ කරගෙන සිටිනවා. ආර්ථික විද්‍යා දේශකයෙකු ලෙස කටයුතු කරන සමයේ රටේ ලක්ෂ සංඛ්‍යාත සිසු සිසුවියන් පිරිසකට අධ්‍යාපනය ලබා දී ජීවිතය සාර්ථක කරගන්නා ආකාරය දැකීමට මා වාසනාවන්ත වී තිබෙනවා. ඒ අතරින් බොහෝ පිරිසක් රටේ ඉහළම පරිපාලන නිලධාරීන් ඇතුළු බොහෝ තනතුරුවලට පත්ව තිබෙනවා. රටට මහා මානව සම්පත් ප්‍රමාණයක් බිහිකිරීමේ වගකීම විදුහල්පතිවරුන් ගුරුවරුන් වෙත පැවරෙනවා. දෙමාපියන් හැරුණු විට රටේ දරු පරපුර වෛරයෙන් පිරුණු පිරිසක් බවට පත්වෙනවාද? සත්පුරුෂයන් බවට පත්වනවාද? යන්න තීරණය වන්නේ ගුරුවරුන් මතයි.

    අපේ කලාපයේ දරුවන්ට කොළඹ දිස්ත්‍රික්කය තුළ ඓතිහාසික අසාධාරණයකට ලක්වීමට සිදුව තිබෙනවා. බොහෝ දේ කොළඹට නැඹුරු වූ තත්ත්වය තුළ පළාත්වල තුලිත සංවර්ධනයක් සිදුවන්නේ නැහැ. එම නිසා මාගේ සංකල්පයකට අනුව කොළඹ නගරයට කේන්ද්‍ර වූ එළවළු තොග වෙළඳාම පළාත්වලට ගෙනයාම සඳහා ආර්ථික මධ්‍යස්ථාන ජාලයක් මීගොඩ ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල ඇති කළා.

    ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ සමත් වන බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක්ද ඉන් අනතුරුව කොළඹ නගරයේ ජනප්‍රිය පාසල් වෙත ඇදී එනවා. මෙම තත්ත්වය වෙනස් කිරීම උදෙසා බාධක රාශියක් ජයගනිමින් පිටිපන හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ඇතිකළා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කළා. දරුවන් වෙනුවෙන් විනයානුකූල වැඩපිළිවෙළක් සකස් කළා. දරුවන්ගේ ජීවිතය සාර්ථක කිරීමේ වගකීම මා භාරගත්තා.මේ වන විට එය ආසියාවේ විශාලතම ද්විතීක පාසල බවට පත්ව තිබෙනවා. අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉතාමත් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ පළමු ස්මාර්ට් ඩිජිටල් පන්ති කාමරය හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට පරිත්‍යාග කළේ කොරියාවෙන්. දරුවන්ට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම සිදුකිරීම තුළින් ඔවුන් රටට වටිනා මානව සම්පතක් බවට පත්වනවා. ආදර්ශ පාසලක් ලෙස බිහිකළ එම පාසලේ සේවය කළ ගුරුවරුන් විශාල පිරිසක් අවට පාසල්වල විදුහල්පතිවරුන් ලෙස පත්ව විශාල සේවයක් සිදු කරමින් සිටිනවා.

    මා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමය වන විට බොහෝ දෙනකුට ගණිතය අසමත් වීම හේතුවෙන් උසස් පෙළ වරම් අහිමි වී තිබුණා. ඒ හේතුවෙන් බොහෝ දෙනෙකුට පාසල විසින් අතරමං කරන ලද අය බවට පත්වන්නට සිදුවුණා. ක්‍රීඩා,සංගීත, නැටුම් ඇතුළු බොහෝ අංශවලට දක්ෂතා දැක්වුවත් ගණිතය අසමත් වීම හේතුවෙන් උසස් පෙළට ඇතුළත් කරගැනීම සිදුවූයේ නැහැ. මා ඒ තත්ත්වය වෙනස් කළා. ගණිතය අසමත් වූවත් උසස් පෙළ හැදෑරීමේ අවස්ථාව මා ලබා දුන්නා. ගණිතය විෂය වෙනුවෙන් ගණිතාගාර දහසක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර තුළ ඇතිකළා. සෑම පාසලකටම පරිගණක හතළිහකින් යුතු පරිගණක විද්‍යාගාරයක් ලබා දුන්නා. පරිගණක විස්සකින් යුතු භාෂාගාරයක් ලබා දුන්නා. දුරස්ථ අධ්‍යාපන ඒකකයක් ඇතිකළා. එවැනි තාක්ෂණික විද්‍යාගාර දහසක් රට පුරා ඇතිකළා. එක් පාසැලකට පරිගණක හැට දෙකක් ලබාදීමේ වැඩපිළිවෙළක් සිදුකළා.පරසක්වල වැනි නමක් යොදා ගනිමින් මේ සෑම පාසලකටම රැස්වීමක් බැගින් සංවිධානය කළා නම් විශාල රැස්වීම් ප්‍රමාණයක් පැවැත්වීමට සිදුවනවා.

    එමෙන්ම සාම්ප්‍රදායිකව උසස් පෙළට පැවති විෂය ධාරාවන් තුන වෙනුවට දියුණු ලෝකයට ගැළපෙන පරිදි තාක්ෂණ වේදය නව විෂය ධාරාව මා විසින් හඳුන්වා දුන්නා. තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය,ජෛව පද්ධති තාක්ෂණය, තාක්ෂණය සඳහා විද්‍යාව යන විෂය ධාරාවන් හඳුන්වා දෙමින් ඒ හා සමගාමීව තාක්ෂණික විද්‍යාගාර 251ක් ඉදිකළා. ඒ අවස්ථාවේ මුදල් අමාත්‍යංශයෙන් ද මේ සඳහා කිසිසේත්ම මුදල් වෙන් කළ නොහැකි බව ප්‍රකාශ කළා. ඉතා විශාල අභියෝග රැසක් ජය ගනිමින් 2011 වසරේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. බොහෝ දෙනෙකු ඊට සහයෝගය ලබා දුන්නත් ජනතා විමුක්ති පෙරමුණ හා ඊට සම්බන්ධ ඇතැම් පිරිස් රට පුරා විවිධ විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කළා. නිවැරදි වෙනසක් සිදු කිරීමට උත්සාහ කිරීමේදී ඒ සඳහා විවිධ බාධාවන් එල්ල වනවා. කිසිම විශ්ව විද්‍යාලයකින් උසස් පෙළ තාක්ෂණ වේදය හදාරන දරුවන් වෙනුවෙන් තාක්ෂණ පීඨ ඇතිකිරීමට සහයෝගය ලැබුණේ නැහැ. අවසානයේ විද්‍යෝදයේ විශ්වවිද්‍යාලයට පමණක් දරුවන් පන්සියයක් ඇතුළත් කර ගැනීමට උපකුලපතිතුමා එකඟ වුණා. මේ වන විට ලංකාවේ විශ්ව විද්‍යාලවල තාක්ෂණ පීඨ විශාල ප්‍රමාණයක් ඇති වී තිබෙනවා. ආචාර්යවරු මහාචාර්යවරු බිහිවී තිබෙනවා. අධ්‍යාපනය තුළින් අපට ළඟා වීමට නොහැකි වූ ඉලක්කයට දරුවන්ට ළඟාවීමට අවස්ථාව උදාකර දිය යුතුයි. කිසිදු හේතුවක් මත දරුවන්ට අධ්‍යාපනය ලබාදීම නතර නොකළ යුතුයි. අධ්‍යාපනය තුළින් වෙනසක් කිරීමට ඉලක්ක කරගත යුතුයි.

    NSBM හරිත සරසවිය තුළ නව වෛද්‍ය පීඨයක් ඇතිකිරීමට අනුමැතිය ලැබී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සායනික පහසුකම් සඳහා හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබුවා. නමුත් ඇතැම් පිරිස් මතු කළ විරෝධතා හේතුවෙන් මේ වන විට ඒ නව රෝහලක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. ලෝකයට පවතින අවස්ථාවන් දරුවන්ට උදාකර දීම සඳහා පටු ලෙස කල්පනා නොකර සියලු දරුවන්ට එක ලෙස සැලකීම සඳහා මෙම සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වනවා. ඒ තුළින් හෝමාගම අධ්‍යාපන කලාපය ඉහළ ස්ථානයකට ගෙන ඒමට සියලු දෙනා දායක වනු ඇති බව විශ්වාස කරනවා.“

    හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ මහතා, සැලසුම් අධ්‍යක්ෂ අමිලා විදාන ගමගේ මහත්මිය, හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත පාසල්වල විදුහල්පතිවරුන් ආචාර්ය මණ්ඩල නියෝජිතයින් පාසල් සංවර්ධන සමිතිවල නිලධාරීන් දෙමාපියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya