නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොරු කියා බලය ලබා ගැනීමෙන් කිසිවෙකුට යහපතක් සිදුවන්නේ නැහැ -ඇමැති ආචාර්ය බන්දුල කියයි

    මැයි 31, 2024

    බොරු කියලා බලය ලබා ගත්තොත්, ඒ තුලින් රටේ ජනතාවටවත්, අනාගතයේ උපදින දරුවන්ටවත්, වගතුවක් යහපතක් සිද්ධ වෙන්නේ නෑ යැයි ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාමල් උයන මාර්ගයේ දෙවන අදියරේ ප්‍රථිසංස්කරණ කටයුතු  සමාරම්භ කරමින්ය.

    ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(30)  නාමල් උයන මාර්ගය රණව ප්‍රදේශයේ සිට මඩාටුගම මංසන්ධිය දක්වා ඉදි කිරීම ආරම්භ කෙරිණි.

    නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන්ගේ ඉල්ලීමකට අනුව මෙම මාර්ගය ප්‍රථිසංස්කරණය කෙරුණු අතර,  මෙම උත්සවය සඳහා සමඟි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාද සහභාගී වී සිටියහ.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා,

    බොරු කියලා බලය ලබා ගත්තොත්, ඒ තුලින් රටේ ජනතාවටවත්, අනාගතයේ උපදින දරුවන්ටවත්, වගතුවක් යහපතක් සිද්ධ වෙන්නේ නෑ, දැන් සමහර නායකයෝ මේ ගම්බඳ ජනතාවගේ දරුවන්ගේ පාසලට ඇවිල්ලා, සුහුරු පන්ති කාමරයක් කියලා රුපියල් මිලියනයක් දීලා, ඒ ආදර්ශය අරන් ලංකාව හදනවා කියලා කියනවා, මේක ඉතාම නොදියුණු ප්‍රාථමික, ගෝත්‍රික වැඩසටහනක්.මම මේ රටේ හිටපු අධ්‍යාපන අමාත්‍යයවරයා, අපේ අධ්‍යාපනයේ තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි විභාග සමත්, ජීවිතය අසමත් දරුවෝ තමයි මේ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි වුණේ, අ.පො.ස සාමාන්‍යය පෙළ, උසස් පෙළ සමත් වෙනවා, සහතික විශාල ප්‍රමාණයක් ගන්නවා, ජීවන උපායක් සලසා ගැනීම සඳහා රස්සාවක් හොයා ගන්න බැරි වෙනවා.විභාග සමත් ජීවිතය අසමත්, ඔවුන් ඊට පස්සේ ප්‍රචන්ඩත්වයට හුරු වෙලා, කැරලිකාරයෝ වෙලා, දහස් ගණන් තරුණ ජීවිත කීප විටක් මේ රටේ නැති වෙලා තියෙනවා, මේ වැරදි අධ්‍යාපන ක්‍රමය නිසා, අධ්‍යතන ලෝකයට ගැලපෙන ලෙස මේ අධ්‍යාපන ක්‍රමය හදන්න, මම අධ්‍යාපන අමාත්‍යයවරයා වශයෙන් විද්‍යා, කළා, වාණිජ විතරක් තිබුණ ලාංකීය අධ්‍යාපනයට තාක්ෂණය විෂයධාරවක් ලෙස එකතු කළා, ඔබේ දරුවාට අනාගතයට අවශ්‍යය කරන පරිගණක පිළිබඳ තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීම සඳහා පරිගණක 40 කින් යුක්ත පරිගණක විද්‍යාගාරයක් පරිගණක 20 ක් සහිත විදේශ භාෂා සඳහා,  භාෂාගාරයක්.එක් පරිගණකයක් සහිත ගණිතාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා දුරස්ථ අධ්‍යාපන ඒකකයක් සහිත මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 1000 ක් ලංකාව පුරා ඇති කළා, එක පාසලකට පරිගණක 62 බැගින් ලබා දුන්නා.හැබැයි මම ඒ ඒක ඒක විවෘත කරන්න ගියා නම් රැස්වීම් 1000 ක් තියන්න වෙනවා, කෝටි ප්‍රකෝටි ගණනක් වියදම් වෙනවා. දිස්ත්‍රික්ක මට්ටමින් තෝරාගත් පාසල් කීපයක තෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කළා, ඉංජිනේරු තාක්ෂණය සඳහා එක මහලක්,ජෛව පද්ධති තාක්ෂණය සඳහා එක මහලක් හා පන්ති කාමර 04 ක් ඇතුළු විද්‍යාගාර 251 ක් අපි ඇති කළා, එහෙම කරලත් ලෝක‌ේය අධ්‍යාපනයේ ඇති වෙන වෙනස්කම් වලට ප්‍රමාණවත් නැති නිසා, අතිගරු ජනාධිපතිතුමන්, අධ්‍යාපන අමාත්‍යයතුමන්, අධ්‍යාපන විශේෂඥයින් සහිතව අද්‍යතන ලෝකයට සරිලන නව පුලුල් වෙනස්කම් සහිත ජාතික අධ්‍යාපන ප්‍රථිපත්තියක් සකස් කරලා අවසන් කරලා තියෙනවා.

    එහෙම නැතිව දේශපාලන උපක්‍රම පාවිච්චි කිරීමෙන් මේ රටේ ඔබේ දරුවාට අනාගත ලෝක‌යේ උරුමකරුවෙක් කරන්න හැකි වෙන්නේ නෑ, ඒ නිසා එවැනි දර්ශනයක් වැඩපිළිවෙලක් සහිතව ජනතාවට  පැහැදිලි කරමින්ඇත්ත කියන යුගයක් කරා ගමන් කරන්න නම් පවතින යථාර්ථය සහිතව ගමන් කළ යුතුයි.

    ලංකාව කිසි විටක් අන්තර් ජාතික සහයෝගීතාවයකින් තොරව දශමයක්වත් ඉදිරියට ගෙන යන්න බෑ, මම පොදු ප්‍රවාහනය භාර අමාත්‍යයවරයා, මේ රටේ තියෙන බස් බළ ඇණියෙන් 52% ක් යල් පැනලා තියෙන්නේ, අලුත් බස් ගන්න ඔ්න බස් ගන්න සල්ලි නෑ, ඒ සඳහා කෝටී ප්‍රකෝටි ගණනක් වියදම් කරන්න රජයට ඔබ ගෙවන බදු මුදලින් බෑ, ඒ නිසා ඉන්දියන් ණය මුදලින් කුඩු බස් 500 ක් අරන්, අනුරාධපුරයටත් ලබා දීලා තියෙන්නේ.මහව ඉඳන් අනුරාධපුරයට දුම්රිය මාර්ගය අලුත්වැඩියා කරනවා සම්පූර්ණයෙන් ගලවලා, ඒ ඉන්දියානු ණය යෝජනාක්‍රමයක් යටතේ, දුම්රිය එන්ජින් ගන්න සල්ලි නෑ, ඒ නිසා ඉන්දියන් ආධාර යටතේ දුම්රිය එන්ජින් 20 ක් ප්‍රධානයක් ලෙස ලබා ගැනීම සඳහා ආණ්ඩු දෙක සාකච්ජා කරමින් සාර්ථක අදියරට පත් වෙලා තියෙනවා.මේ ඇත්ත එක්ක, අන්තර්ජාතික සහයෝගය ඇතිව, ගත්ත ණය ගෙවන වැඩපිළිවෙලක් සකස් කර ගෙන ඒ අනුව අඩියෙන් අඩිය රට ඉදිරියට ගෙනයාමට සිදු කරන උත්සහයට අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරමු යැයි පැවසීය.

    එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා,

    අද ‌මේ රටේ සංවර්ධන කටයුතු කරන්නේ විශාල ප්‍රශ්න එක්ක, ලංකා ඉතිහාසය ගත්තොත්, අරගල කීපයක් ඇති වුණා 70 -77 එක අරගල කාළයක්, ඒ කාළයෙත් පෝලිම් යුගයක් තිබුණා.ඒ කාළයේත් අද ඉන්න ජනාධිපතිතුමන්ගේ මාමා ජේ.ආර් ජයවර්ධන ඒක නැති කෙරුවා, එතනින් පස්සේ 2019 ඉඳලා 2022 දක්වා නැවත වාරයක් ලංකා ඉතිහාසයේ පෝලිම් යුගයක් ඇති වුණා.ඩීසල් ,පෙට්‍රල්, ගෑස් පෝලිම්, ලයිට් නැතිව , පොහොර නැතිව ගොවිමහත්වරුන් රුපියල් 50 000 ට ගත්තා.පාසල් , රෝහල් වැහිලා තිබුණා, මේ වෙලාවේදී මේ රට භාර ගන්න කියලා, අපි 225 දෙනාම පාර්ලිමේන්තුවේ කිව්වා.අපිට අරගල කරන්න පාරට බහින්න බැරි වුණා.අපිත් අරගලයට ආවා නම් අපිවත් ගහලා පන්න ගනිවී.අපි ඇතුළට වෙලා ආරක්ෂිතව හිටියා, රට විනාශයට ගෙන ගිය 225 දෙනා අතරේ මමත් එක්කෙනක්, ඒ වෙලාවේදී මේ රට භාර ගන්න කියලා අපි 224 දෙනාම අපේ පාර්ලිමේන්තුවේ හිටිය නායකයෝ දෙන්නෙකුට ආරාධනා කළා.ඒ නායකයෝ දෙන්නාම කිව්වේ අපි භාර ගත්තා නම් මේ තියෙන ප්‍රශ්නයට වඩා බරපතල ප්‍රශ්න එයි කිව්වා.හුස්ම ගන්න හුලංවත් නැතිව යයි කියලා තමයි ඒදා ඒ නායකයෝ කිව්වේ.ඊට පස්සේ අපි ගිහින් කිව්වා එකම එක මනුස්සයෙකුට නායකුතමනි මේ රට භාර ගන්න කියලා.එතුමා ක්ෂණිකව, ඇඳුම් මැහුවේ නෑ, සමහර නායකයෝ ස්ටයිල් එකට ඇදුම් මැහුවා, හැබැයි ඒ අය ඇදුම් මැහුවට අදින්න බැරි වුණා, එතුමා පරණ කෝට් එකයි ෂූට් එකයි දා ගෙන, මේ රට වෙනස් කළා.මේ රට ඉදිරියට අරන් යන්න පුලුවන් අද ඉන්න නායකයාට විතරයි පුලුවන් වෙන කටින් බතල හිටවන, කටින් වඩේ පුච්චන නායකයන්ටවත් බෑ, සමහරු කරලා පෙන්වන්නම් කියනවා, කරලා පෙන්වන්න දෙයක් නෑ, මීට වඩා කරලා පෙන්වන්න දෙයක් නෑ.

    ඊයේ-පෙරේදා කථාවක් යනවා ඡන්ද කල් දාන්න ඔ්න කියලා, මෙහෙම කථාවක් ජනාධිපතිතුමා කිව්වාද? අගමැති කිව්වාද, පාර්ලිමේන්තුවේ ඇමතිවරු කිව්වාද? කිව්වේ කවුද එළියේ ඉඳලා, ඒවා අල්ලන් සමහරු  තමන්ට ප්‍රවෘත්තියක් නැතිව වැඩ බැරි අදක්ෂ නායකයෝ ඡන්ද තියන්නේ නෑ, ඡන්ද තියන්නේ නෑ කියලා කෑ ගහනවා.අතිගරු ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ප්‍රකාශ කෙරුවා නියම වෙලාවට ජනාධිපතිවරණය තියෙනවා කියලා.ඒ වෙලාවට සුදුසු කෙනෙක් ජනතාව තෝරන්න.මේ රටේ තිබුණ ආර්ථික ප්‍රශ්න වලට භය නැතිව එඩිතර තීන්දු ගත්තු ඒ නායකයාට ඊළඟ ජනාධිපතිවරණය ජය ගන්න එක මහ දෙයක් නෙමෙයි යැයිද පැවසීය.

    මෙම අවස්ථාවට මහා මාර්ග අමාත්‍යංශයේ නිළධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් හා ප්‍රදේශවාසීන්ද සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya