වන ආරක්ෂණ කටයුතු වඩාත් ශක්තිමක් කිරීමට තමා උපදෙස් ලබා දී ඇතැයිද ඇය සඳහන් කළාය. පරිසර වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශ වල වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
වන ආරක්ෂණ කටයුතු වඩාත් ශක්තිමක් කිරීම සඳහා ඩ්‍රෝන කැමරා හා නව තාක්ෂණය භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවත්,ආරක්ෂක අංශවල සහාය ලබා ගනිමින් වන අපරාධ මැඩලීම ශක්තිමත් කරන බවද ඇය පැවසුවාය.
තවද වන සංරක්ෂණ ආඥා පනත යටතේ රක්ෂිත හා සංරක්ෂිත වනාන්තර කළමනාකරණය, වන නිලධාරින්ගේ කාර්යය නියම කිරීම හා බලතල පවරා දීම, දැව හා වන නිෂ්පාදන අපනයනය සඳහා බලපත්‍ර ලබා දීම, දැව ගබඩා ලියාපදිංචි කිරීම, ගල් බම්බු ශාකය ප්‍රවාහනය කිරීම සඳහා අවසර පත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම යන නියෝගයන් සඳහා අළුතින් රෙගුලාසි අනුමත කර ගැනීමට කටයුතු කර තිබේ.
ග්‍රාමීය ජනතාව සහ වන සංරක්ෂණ හා වනජීවී භූමි ආශ්‍රිතව විවිධ ප්‍රශ්න, ගැටළු පවතින අතර ඒ සඳහා ස්ථීරසාර විසදුමක් ලෙස , දිස්ත්‍රික් 11ක වන සංරක්ෂණ හා වනජීවී භූමි ප්‍රදේශවල සිතියම් යාවත්කාලීන කිරීමේ කටයුතු ආරම්භ කළ බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
මෙහි දී ඒකාබද්ධ ප්‍රවේශයක් තුළ දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, මිනින්දෝරු හා ඉඩම්වලට අදාළ සියලු නිලධාරීන් හා ඒකාබද්ධව මෙම අභ්‍යාසය සිදු කළා. ප්‍රජාවට ගැටළුවකින් තොරව ඔවුන්ගේ ඉඩම් බුක්තිවිදීමටත්, වන ගහනය සහිත භූමි ආරක්ෂා කිරීමටත් හැකියාව ලැබී ඇත. තවද මෙම වැඩසටහන ප්‍රාදේශීය , දිස්ත්‍රික් හා අන්තර් අමාත්‍යාංශීය කමිටු එකඟතාවයකින් ක්‍රියාත්මක කරන අතර මේ වනවිට දිස්ත්‍රික්ක 10කට අදාළ කටයුතු අවසන් අදියරේ පවතින බවත් ඊට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරිය පැවසුවාය.
එළඹෙන වසරේදී, පුත්තලම - ගල්විල, ගඟේ වාඩිය, කෑගල්ල - කුරුලු කැලේ, ආරුගම්බේ, බඹරගල, සිංහරාජ - කුරුළුගල, යන ස්ථානවල කඳවුරු භූමි ඉදි කිරීමට සැලසුම් කර ඇතැයිද අමාත්‍යවරිය පැවසුවාය. අනගිමලේ ඇල්ල, හාලි ඇල , ඉහළ කන්ද වැව නැරඹුම් ස්ථාන ඉදිකර සංචාරක ආකර්ෂණය වැඩි කිරීමටත්, සංචාරක ක්‍රියාකාරකම් සඳහා ප්‍රජා සහභාගීත්වයත් සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරනවා.
අලි මිනිස් ගැටුම විසඳීම සඳහා ලබන වසර තුළ නව විදුලි වැට කි.මී.1000 ක් , මුරකුටි 296ක් ඉදි කිරීමට හා පවතින විදුලිවැට කි.මි. 859ක් නඩත්තු කිරීමට අපේක්ෂිත බවද ඇය සඳහන් කළාය.
දැනට පවතින කි.මි. 5000ක් පමණ වන විදුලි වැට නිසි පරිදි ආරාක්ෂා කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකාය හා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකාය යටතේ නිලධාරීන් අනුයුක්ත කිරීමට කටයුතු කර තිබෙනවා. එසේම අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශ ආවරණය වන පරිදි අලිමිනිස් මංකඩ 16ක් හඳුනාගෙන ඇති අතර විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම මාර්ග අවහිර වී ඇති අතර ඒ හේතුවෙන් අලි මිනිස් ගැටුම උග්‍ර වී තිබෙනවා. මෙම මාර්ගය විවෘත කළහොත් අලිමිනිස් ගැටුම 50%ක් කළමනාකරණය කළ හැකි බැවින් මෙය අනිවාර්යෙන්ම කළ යුතු කාර්යයක් වේ. දැනට අලි මංකඩ 03ක් සඳහා මූලික දත්ත රැස්කර ඇති අතර අවශ්‍ය ඉදිරි ක්‍රියාකාරකම් සැලසුම් කරමින් සිටිනවා. 2023 වර්ෂයේ අලෙවි ආදායම රුපියල් මිලියන 4500 ක් ඉක්මවා ළගාකර ගැනීමට රාජ්‍ය දැව සංස්ථාව අපේක්ෂා කරන අතර මෙම වර්ෂය ලාභදායී වසරක් ලෙස නිමා කිරීමට සැලසුම් කර තිබෙනවා. එවගේම සෘජු බදු, වක්‍ර බදු හා ස්කන්ධභාග ගෙවීම් ලෙස රු.මිලියන 2000 කට ආසන්න වටිනාකමක් ජාතික ආර්ථිකයට ලබාදීමට හැකි වීම 2023 වර්ෂයේ රාජ්‍ය දැව සංස්ථාව ලද ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකියි. ශ්‍රී ලංකාවේ වාර්ෂික දැව අවශ්‍යතාව ඝන මීටර් 1,750,000 ක් වන අතර ඉන් 83 % ක් ලංකාව තුළ නිෂ්පාදිතයි. ඉතිරි ප්‍රමාණය එනම් 17 % දළ වශයෙන් ඝන මීටර් 300,000 ක් ආනයනය කරනු ලබනවා.මෙම ප්‍රමාණය ආනයනය කිරිම වළක්වා ගනිමින් ශ්‍රී ලංකාව දැවයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා.