පරිසර වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශ වල වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙරට දේශගුණික විපර්යාස ප්‍රතිපත්තිය 2012 වසරේදී හඳුන්වා දී තිබේ. වසර 11ක් පැරණි මෙම ප්‍රතිපත්ති වර්තමාන අභියෝග වලට මුහුණ දිය හැකි පරිදි ශක්තිමත්ව යාවත්කාළීන කරන බවද අමාත්‍යවරයා පැවසීය. එම ප්‍රතිපත්තිය යාවත්කාළීන කිරීමේ කටයුතු බාහොමයක් මේ වන විට අවසන් බවත්, එය මම වසර අවසානයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වන බවද හෙතෙම පැවසීය. එම ප්‍රතිපත්තිය සඳහා නෛතික රාමුවකුත් අවශ්‍ය බැවින් දේශගුණික විපර්යාස පිළිබඳ පනත් කෙටුම්පතක් සකස් කරන බවද අමාත්‍යවරයා පැවසීය. එම පනත ලබන වසර ආරම්භයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. වර්තමාන දේශගුණික විපර්යාස වලට මුහුණ දීමට ශක්තිමත් අණ පනත් අවශ්‍යයි. ඒ සඳහා අමාත්‍යංශය යටයුතු කරමින් සිටිනවා. මෙම වසර අවසාන වීමට පෙර නව දේශගුණික විපර්යාස ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
පරිසර සංරක්ෂණය සහ රටේ ආර්ථික සංවර්ධනය එකිනෙකට ගැටෙන අත්‍යාවශ්‍ය සංකල්ප දෙකක් බව ද අමාත්‍යවරයා පැවසීය. බොහෝ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, පරිසරය සමග නිරන්තරයෙන් ගැටීම් සිදු වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා නමුත්, එම නිසා සංවර්ධනය නතර කිරීමට හෝ පරිසර සංරක්ෂණය නොකර සිටීමටත නොහැකි යැයිද පැවසීය. පරිසරය සහ සංවර්ධනය අතර පවතින ගැටුම අවම කර ගත යුතු බවත්, එවිට තිරසාර සංවර්ධනයක් ළගා කර ගත හැකි බවත් හෙතෙම පැවසීය
පරිසරය ආරක්ෂා කර ගැනීම සැමගේ යුතුකම සහ වගකීමක්. සංවර්ධන වැඩසටහන් සහ පරිසරය අතර නිරන්තර ගැටීම් සිදුවෙනවා.එම නිසා ආර්ථිකයයි පරිසරයයි නොගැටෙන ලෙස තුලනය කර ගළපා ගත යුතුයි.
හරිතාගාර වායු විමෝචනය අවම මට්ටමක පැවතියද ශ්‍රී ලංකාව දේශගුණික අවධානම් වලට ලක් විය හැකි රටක් බව පරිසර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. භූ ගෝලීය පිහිටීමද ඊට බලපාන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම දේශගුණික බලපෑම් කිසි විටෙකත් නොසලකා හැරිය නොහැකි බවද කීය. දේශගුණික බලපෑම සම්බන්ධයෙන් අපේ දැනුම මට්ටම අවම මට්ටමක පවතින බවද හෙතෙම පැවසීය.
අපේ රට පමණක් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමේ කටයුත්ත මේ වන විට සිදුවෙමින් පවතින බවත් ,ඒ තුළින් කළාපීය රටවලට පමණක් නොව මුළු ලෝකයේම රටවලට දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වීමට හැකියාව ලැබෙන බව පැවසීය.