ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකාව මේ බව පැවසුවේ එළඹෙන දෙසැම්බර් 01 වෙනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව අද (22) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමිනි.
මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව ප්‍රජාව බලගන්වමු - ඒඩ්ස් වළකමු යන්න බව පැවසූ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය මෙහිදී එච් අයි වී සමග ජීවත් වී මියගිය ප්‍රජාවට ගෞරවයක් දැක්වීම සහ එච් අයි වී සමග ජීවත් වන්නන් කොන් නොකරමින් නිසි දැනුවත්භාවයක් ලබාදෙමින් එච් අයි වී වළක්වාගැනීමට කටයුතු කිරීම සම්බන්ධව අවධානය යොමු කරන බවද පැවසුවාය.
දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ලිංගාශ්‍රිත රෝග සායන 41ක් පවතින බවද, දිවයිනේ දිස්ත්‍රික්ක 15ක් පුරා විහිදුනු එච් අයි වී විශේෂ අවධානම් කණ්ඩායම් සදහා මැදිහත් වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද අවධාරණය කළේය.
මෙවර ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩසටහන් සම්බන්ධයෙන් පැහැදිලි කළ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වැඩබලන විශේෂඥ වෛද්‍ය චම්පික ගුණවර්ධන මහතා පැවසුවේ ඔක්තෝම්බර් 26 වනදා සිට පළමු වැඩසටහන අරඹා ඇති බවයි.
එනම් කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවධානම් කණ්ඩායම් ගැවසෙන ස්ථාව වල එච් අයි වී රුධිර පරීක්ෂාවක් සිදුකරන බව පැවසූ විශේෂඥ වෛද්‍ය චම්පික මහතා ස්වයං රුධිර පරීක්ෂාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සදහා සරසන ලද තට්ටු දෙකේ බස් රථයක් මගින් කොළඹ සහ ඒ ආශ්‍රිත නගර වල දැනුවත් කිරීම් සිදුකරන බවද එහිදී ස්වයං අධ්‍යයන කට්ටල නොමිලේ ලබාගත හැකි බවද පැවසුවේය.
ලෝක ඒඩ්ස් දිනයේදී ඒඩ්ස් දින පා ගමනක් 2023 දෙසැම්බර් 01 වනදා පෙරවරු 09ට කොළඹ හයිඩිපාර්ක් පිටියෙන් ඇරඹී මහජනතාව දැනුවත් කරමින් පුංචි බොරැල්ල, මරදාන හරහා ගමන්කර නැවත හයිඩිපාර්ක් පිටිය වෙත පැමිණෙන බවද පැවසුවේය.
මෙම මාධ්‍ය සම්මන්ත්‍රණය සදහා ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක මහත්මිය, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.