අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව පීඩාවට පත් කෙරෙන කිසිඳු වර්ජන ක්‍රියාමාර්ගයකට දායක වන්නේ නැහැ- දුම්රිය වෘත්තීය සමිති රැසක් පොරොන්දු වෙයි

    මාර්තු 16, 2023

    ජනතාව පීඩාවට පත් කෙරෙන කිසිඳු වර්ජන ක්‍රියාමාර්ගයකට දායක වන්නේ නැහැ - දුම්රිය වෘත්තීය සමිති රැසක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවේ පොරොන්දු වෙයි.

     

    IMF අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමෙන් පසුව ලැබෙන පළමු අවස්ථාවේදී පළමු සහනය ලබා දෙන්නේ රාජ්‍ය සේවකයින්ට.
    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන


    වෘත්තිය සංවිධාන කීපයක් මාර්තු 15 වැනිදා සිදුකිරීමට නියමිත වර්ජන ක්‍රියාමාර්ගය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම පිලිබඳ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.

    දැනට රජයේ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර ඇති දුම්රිය සේවය අඛණ්ඩව, කාර්යක්ෂමව පවත්වාගෙන යෑම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව සිදුවිය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    රටේ පවතින වර්තමාන බදු ප්‍රතිපත්තිය හා ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම උදෙසා ඉදිරිපත් කර ඇති කොන්දේසි හා සෘජුවම සම්බන්ධ වනවා. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා රටවල් රැසක් ශ්‍රී ලංකාව ආර්ථික අවදානමක් සහිත රටක් ලෙස නම් කර තිබෙනවා. ඒ හේතුවෙන් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීම උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡා සාර්ථක කරගැනීම අත්‍යවශ්‍ය වනවා. ඒ සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සහ කොන්දේසි රැසක් සම්පූර්ණ කරන ලෙස ඔවුන් විසින් රජයට යෝජනා කර තිබෙනවා. මෙලෙස බොහෝ දෙනාගේ කතාබහට ලක්වන බදු ප්‍රතිපත්තිය ද ඒ අතරින් එක් කොන්දේසියක්. දැනට වැටුප් මත පනවා තිබෙන බදු අයකර ගැනීම්වලට යටත් වන්නේ සමස්ථ රාජ්‍ය සේවකයින් අතරින් 10% ක පමණ ප්‍රමාණයක්.

    කෙසේ නමුත් එළබෙන විසි වෙනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අපේ රටට ලැබීමට නියමිත මූල්‍ය සහන නොලැබී ගියහොත් දැවැන්ත අර්බුද රැසකට මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැකියි. නමුත් මෙවැනි ආර්ථික ගැටලුවක තිබෙන බරපතළකම නොදන්නා ඇතැම් පිරිස් මෙයට දේශපාලන මුහුණුවරක් ලබා දීමට උත්සාහ කරනවා. නමුත් සත්‍ය වශයෙන්ම මීට ඇත්තේ ආර්ථික විසඳුමක් පමණයි. එනිසා මේ අවස්ථාවේ ජනජීවිත තවදුරටත් අපහසුවට පත් නොකර කටයුතු කරන ලෙස සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
    මේ තත්ත්වය පිළිබඳ විශේෂ සැලකිල්ලක් යොමු කරමින් වරාය, ගුවන්තොටුපළ, දුම්රිය, ගමනාගමන,තැපැල් ආදී සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස මේ වන විටත් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එබැවින් මෙම සේවාවන් කාර්යක්ෂමව, අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධා සිදුවන ආකාරය කටයුතුවලදී පනවා ඇති නීති රීති, රෙගුලාසි ප්‍රකාරව කටයුතු කිරීමට සියලුම ආයතන ප්‍රධානීන් දැනුවත් කර තිබෙනවා.

    අමාත්‍යවරයෙකු ලෙස මම හැකි සෑම අවස්ථාවකම මා හට කළ හැකි උපරිම දේ අවංක කැපවීමෙන් යුක්තව ඉටුකර තිබෙනවා. දුම්රිය කම්කරුවන් සම්බන්ධව පැවති ගැටළු, දුම්රිය ස්ථානාධිපතිවරුන් සම්බන්ධව පැවති ගැටලු එකින් එක මේ වන විටත් විසඳමින් කටයුතු කරමින් සිටිනවා. එසේම දුම්රිය රියදුරන්ගේ උසස්වීම් සම්බන්ධව ද මේ වන විටත් විශේෂ අවධානය යොමුකර කටයුතු කරමින් සිටිනවා.

    මේ කරුණු සියල්ල පිළිබඳ සැලකිල්ල යොමු කරමින් මේ මොහොතේ අත්‍යවශ්‍ය ජනතා සේවය සැලසීම සඳහා සියලුදෙනාම කැප වනු ඇති මා විශ්වාස කරනවා.
    මෙම අවස්ථාවේ අදහස් දැක්වූ වෘත්තිය සමිති නියෝජිතයින් අමාත්‍යවරයා අමාත්‍යාංශයේ හා ආයතනවල කටයුතු වඩාත් විධිමත්ව කර ගෙන යාම සඳහා දරන අවංක උත්සාහයට ගරු කරමින් පැවැත්වීමට නියමිත වර්ජනය ක්‍රියාමාර්ග සඳහා දායක නොවීමටත්, සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතුවල නිරත වීමටත් සිය සමාජිකයින් හා එක්ව කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියහ.

    කෙසේ නමුත් තමන්ට පවතින වෘත්තිය ගැටලු විසඳා දීම සඳහා තවදුරටත් මැදිහත්ව කටයුතු කරන ලෙසද ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.
    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින්, දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya