අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බඩ ඉරිඟු ගෙන්වන බව පවසා මගහරින ආයතන අසාදු ලේඛණ ගත කිරීමට රාජ්‍ය ඇමතිගේ අවධානයට

    සැප්තැම්බර් 30, 2022

    සත්ත්ව ආහාර සදහා ධාන්‍ය ගෙන්වීමට අවසර ලබාගත් ආයතන, එසේ බාරගත් ප්‍රමාණ දෙසැම්බර් 31 වනදාට පෙර මෙරටට ගෙන්වීමට අපොහොසත් වුවහොත් එම ආයතන සියල්ල අසාදු ලේඛණ ගත කිරීමට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා උපදෙස් ලබා දී තිබේ.

    දිනෙන් දින ඉහළ යන බිත්තර මිලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සත්ත්ව ආහාර මිල ඉහළ යාම බවත් ඒ පිළිබද දත්ත විශ්ලේෂණය කිරීම උදෙසා වූ ප්‍රගති සමාලෝචන ‍රැස්වීමක් රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති බව පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. මෙම රැස්වීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිළධාරීන් මෙන්ම සත්ත්ව ආහාර නිෂ්පාදකයින්,සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනකරුවන් කැදවා තිබිණි.

    පසුගිය මාස 04 ක පමණ කාලයක් රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා අමාත්‍යාංශයේ කටයුතු නොකළ අතර, අමාත්‍යාංශය යළි බාරගත් මොහොතේ සිට බඩ ඉරිගු ආනයනයේ මූලික වටයේ සමාලෝචන අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන නිළධාරීන් සමග පැවැත්විනි. කුකුළු ගොවිපල ව්‍යාපාරය ‍රැක ගැනීමට, අදාළ අමාත්‍යවරයා ලෙස තමා වෙත පැවරී ඇති වගකීම මත සත්ත්ව ආහාර නිෂ්පාදනයේ පවතින ගැටළු කඩිනමින් විසදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.

    2022 වසර සදහා සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමට ධාන්‍ය මෙට්‍රික් ටොන් 2,25,000 ක් ආනයන කිරීමට රජය අවසර ලබා දී තිබේ.ඒ පළමු කාර්තුව සදහා 1,25,000 ක් සහ දෙවන කාර්තුව සදහා 1,00,000 ක් ලෙසත්ය. පළමු කාර්තුවේ දී ප්‍රථමයෙන් අදාළ මෙට්‍රික් ටොන් 1,25,000 ක ප්‍රමාණය සත්ත්ව ආහාර නිෂ්පාදකයින් සදහා සෘජුවම ගෙන්වීමට අවසර ලබා දීමට අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පියවර ගත්තේය.

    අදාළ මෙට්‍රික් ටොන් ප්‍රමාණය, නිෂ්පාදන ධාරිතාවය මත අදාළ ආයතන වෙත කෝටා ක්‍රමයක් ලෙස බෙදා දෙන ලදී. කෙසේ වෙතත් එහිදී ඇතැම් නිෂ්පාදන ආයතන ධාන්‍ය(තිරිගු හා බඩ ඉරිගු) ගෙන්වීම ප්‍රමාද කිරීම නිසා මෙම අවස්ථාව සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කරන ආයතන වෙත ලබා දීමටද පියවර ගැනිනි.

    මෙසේ ධාන්‍ය ගෙන්වීමට දෙන අවසරයේදී තිරිගු හෝ බඩ ඉරිගු ගෙන්වන අතර, බහුතරයක් බඩ ඉරිගු ගෙන්වනු ලැබේ.ඒ සත්ත්ව ආහාර සදහා වඩාත්ම පෝෂ්‍යදායි හා ගුණාත්මක සංඝටකය ලෙස බඩ ඉරිගු ඉදිරියෙන් සිටින බැවිනි.

    කෙසේ වෙතත් 2022 වසරේ පළමු හා දෙවන කාර්තු වෙනුවෙන් මෙරටට මෙට්‍රික් ටොන් 2,25,000 ක් ගෙන්වීමට අවසර අබා දී තිබුන ද මෙතෙක් ගෙන්වා තිබෙන්නේ මෙ.ටො. 62,762 ක් පමණක් බව මෙහිදී අනාවරණය විය.එනම් පළමු කාර්තු දෙක සදහා අවශ්‍ය ප්‍රමාණයෙන් ගෙන්වා ඇත්තේ 27% ක් පමණි.

    සත්ත්ව ආහාර නිෂ්පාදනයේ දී අහාර නිෂ්පාදකයින්ටම ගෙන්වීමට හැකිනම් ඔවුන් වෙත ප්‍රමුඛතාවය ලබා දී තිබෙන්නේ, එවිට අතර මැදි ගෙවීම් අඩු කර සත්ත්ව ආහාර වල මිල පහල මට්ටමක පවත්වා ගැනීමටයි.කෙසේ වෙතත් අවශ්‍ය ප්‍රමාණයෙන් වසරේ පළමු මාස 09 ටම ආනයනය කර තිබෙන්නේ 27% කි.මෙවැනි කරුණු සෘජුව ආහාර මිල ඉහළ යෑමටත්, වක්‍රව බිත්තර මිල ඉහළ යාමටත් බලපාන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. තවද කුකුළු ගොවිපල කර්මාන්තය ‍රැකගැනීමට මෙවැනි ගැටලු කඩිනමින් විසදීමට අමාත්‍යාංශයක් ලෙස මැදිහත් වීමට සිදුවන බව ද අමාත්‍යවරයා කීය.

    මෙම වසරේ මෙතෙක් ගෙන්විය යුතු මෙ.ටො.2,25,000 න් තමන් ගෙන්වන බව පවසමින් වෙන්කරගෙන තිබෙන කෝටාව ස්ථිර වශයෙන්ම දෙසැම්බර් 31 ට පෙර ගෙන්වන්නේද යන්න ඔක්තෝම්බර් 07 වනදාට පෙර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුට අදාළ සියලු ආයතන ලිඛිතව දැනුම් දිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය. ඔක්තෝම්බර් 07 වනදාට පෙර එසේ දැනුම් නොදෙන ආයතන වල කෝටාව වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි වනු ඇත.එවිට එසේ නිදහස් වන කෝටාව ස්ථිර වශයෙන්ම ගෙන්වන බවට සහතිකයක් ලබාදෙන සත්ත්ව ආහාර නිෂ්පාදන ආයතන වලට මෙන්ම ආයතනකරුවන්ට එම කෝටාව ලබාදෙනු ඇත.

    කෙසේ වෙතත් ගෙන්වන බවට ලිඛිතව පොරොන්දු ගිවිසුම් ගතව 2022 දෙසැම්බර් 31 ට පෙර කෝටාව නොගෙන්වන සෑම ආයතනයක්ම අසාදු ලේඛණ ගත කර ලබන වසරේ එම ආනයනය නොකිරීමට අපොහොසත්වූ ආයතන වෙත කෝටා නිකුත් නොකරන බව බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    සත්ත්ව ආහාර රෙජිස්ට්‍රාර් අචාර්ය එන්. ප්‍රියංකරගේ මහතාට ඊට අදාළ පූර්ණ වගකීම පැවරීය.ඒ අනුව ඊට අදාළ ලිපි ලේඛණ හා අවශ්‍ය පරිදි කෝටා සමාලෝචණය කිරීම ඔක්තෝම්බර් 15 වනදාට පෙර සිදු කෙරෙනු ඇත.

    රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරුණ සමරදිවාකර,අතිරේක ලේකම් වෛද්‍ය සමරනායක,සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ ආහාර රෙජිස්ට්‍රාර් ඇතුළු නිළධාරීන්, කුකුළු ගොවිපල සම්බන්ධ විවිධ සමිති නියෝජිතයන්,සත්ත්ව ආහාර නිෂ්පාදන ආයතනයන් හි ඉහළ බලධාරීන් සහ ලියාපදිංචි සත්ත්ව ආහාර ආනයනකරුවන් මෙම අවස්ථාවට එක්වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya