අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය සංචාරක සංවර්ධන කලාපයේ වැඩ අද ඇරඹේ

    දෙසැම්බර් 19, 2020

    අතිගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිවරයාගේ උපදසේ අනුව නුවරඑළිය සංචාරක සංවර්ධන කලාපයේ වැඩ (19 වැනිදා ) අද ඇරඹේ.

     නුවරඑළියේ සිට කිතුල්ගල, මහනුවර, බදුල්ල කේන්ද්‍රකරගත් සංචාරක කලාපයක්.

     නුවරඑළියේ සිට නානුඔයට කේබල් කාර් පද්ධතියක්.

    නුවරඑළිය දිස්ත‍්‍රික් සංචාරක සංවර්ධන කලාපය, පරිසර හිතකාමීව ක‍්‍රියාවට නැංවීමේ කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මගින් මේ මස 19 වැනිදා සහ 20 වැනිදා ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි.

    කිතුල්ගල සිට නුවරඑළිය දක්වාත්, නුවරඑළියේ සිට මහනුවර දක්වාත්, නුවරඑළියේ සිට බදුල්ල දක්වාත් විශේෂ සංචාරක කලාපයක් ලෙස මෙම ප‍්‍රධාන මාර්ග දෙපස දෙස්, විදෙස් සංචාරකයින්ගේ අවධානය දිනාගත හැකි වන සේ සංවර්ධනය කිරීමට නියමිතව තිබේ.

    නගර අලංකරණය, උද්‍යාන ඉදිකිරීම්, ඇවිදින මංතීරු නිර්මාණය කිරීම, නැරඹුම් ස්ථාන, ආකර්ෂණීය වෙළඳකුටි, ආහාරපාන ලබා ගැනීමට ආපන ශාලා, නවාතැන් ගැනීමට හෝටල් ඇතුළු දෙස් විදෙස් සංචාරකයින් ඉලක්ක කරගෙන පරිසර හිතකාමීව මෙම සියළු සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

    19 වැනි දා ගිනිගත්හේන නගර අලංකරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් මෙම සංචාරක කලාපය නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

    කොටගල තෙත්බිම් උද්‍යානය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ද මෙදින සැලසුම් කර තිබේ.

    තලවකැලේ නගර අලංකරණ ව්‍යාපෘතිය ද (19 වැනි දින ) අද ආරම්භ කිරීමට නියමිතව ඇත.

    නුවරඑළිය ඕක්ලි කොටේජ් ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීම මේ මස 20 වැනි දා සිදු කිරීමට නියමිතයි.

    නුවරඑළිය තුර`ග තර`ග පිටිය සංවර්ධනය කිරීම, රම්බොඩ හා තවලන්තැන්න සංචාරක ව්‍යාපෘතිය ද 20 වැනි දින ආරම්භ කිරීමට නියමිතව ඇත.

    වසර ගණනාවක් තිස්සේ නිසිලෙස සංවර්ධනයට ලක් නොවූ නුවරඑළිය තුර`ග තර`ග පිටිය මෙම සංචාරක සංවර්ධන කලාපය යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි.

    ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 700 කි.

    තුරග තරග පැවැත්වීමට හැකිවන ආකාරයෙන් එහි අශ්ව ධාවන පථය නවීකරණය කිරීමට නියමිත අතර එම තුරග තරග පිටිය මැද පිහිටි ප‍්‍රදේශය තුළ ක‍්‍රිකට්, පා පන්දු, රගර් ක‍්‍රීඩා කිරීම සඳහා ක‍්‍රීඩාංගන 3 ක් ඉදිකිරීම සඳහා ද සැලසුම් සකස් කර තිබේ.

    ක‍්‍රීඩකයින්ට විවේකාගාර, පේ‍්‍රක්ෂකාගාර, රථගාල ඇතුළු නව ඉදිකිරීම් කිහිපයක් ද නුවරඑළිය තුරග තරග පිටිය සංවර්ධන ව්‍යාපෘතියට ඇතුළත් කර තිබේ.

    මීට අමතරව නුවරඑළිය තුරග තරග පිටිය සහ නුවරඑළිය ග්‍රෙගරි වැව අතර මෝටර් රථ ධාවන තරග සඳහා මෝටර් රථ ධාවන පථයක් ඉදිකිරීමට ද සැලසුම් කර තිබේ.

    කොටගල තෙත්බිම් උද්‍යානය සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කෙරෙන මුදල, රුපියල් මිලියන 270 කි.

    මෙම තෙත්බිම් උද්‍යානය දෙස්, විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ලබාගත හැකිවන ආකාරයෙන් පරිසරයේ සුන්දරත්වය ස්වභාවිකව මනාව පෙන්නුම් කෙරෙන ලෙස සැකසීමට ද නියමිතයි.

    නුවරඑළියේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා දිගින් කිලෝමීටර් 3.9 කින් යුත් කේබල් කාර් පද්ධතියක් ද සවි කිරීමට නියමිතයි. ගාමිණී විද්‍යාලය ඉදිරිපිට තුර`ග තර`ග පිටියේ වැව පැත්තේ සිට මෙම කේබල් කාර් පද්ධතිය නානුඔය දුම්රිය පොළ දක්වා ගමන් කිරීමට නියමිත ආකාරයෙන් එම කේබල් කාර් පද්ධතිය සකස් කෙරෙනු ඇත.

    මීට කාලයකට පෙර නුවරඑළිය අපේ‍්‍රල් වසන්ත සමයට දෙස්, විදෙස් සංචාරකයින් විශාල සංඛ්‍යාවක් පැමිණිය ද ඔවුන්ගේ අවශ්‍යතා අනුව එම සංචාරක පහසුකම් පුළුල් නොවූ නිසා මෙවැනි සංචාරක කලාපයක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නාගරික සංවර්ධන අධිකාරියට පෙන්වා දෙන ලදී.

    අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් මෙම නුවරඑළිය සංචාරක සංවර්ධන කලාපය නිර්මාණය කිරීම ගැන නුවරඑළියේ ජනතා නියෝජිතයින් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡුාවක් ද පැවැත්විණි.

    මෙහි ඉදිරි කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අගමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇමති අනු කමිටුවක් ද ඉදිරියේ දී නම් කිරීමට නියමිතයි.

    නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, වතු නිවාස හා ප‍්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මරුදපාන්දි රාමේෂ්වරන්, එස්.බී. දිසානායක හා නිමල් පියතිස්ස යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින්ගේ ප‍්‍රධානත්වයෙන් නුවරඑළිය සංචාරක කලාපය නිර්මාණය කිරීමේ වැඩසටහන 19 වැනි දා ආරම්භ කිරීමට නියමිතයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, වතු නිවාස හා ප‍්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජීවන් තොණ්ඩමන්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප‍්‍රසාද් රණවීර මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම නුවරඑළිය සංචාරක සංවර්ධන කලාපයේ වැඩකටයුතු සිදු කිරීමට නියමිතයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya