අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රක්වාන ගඟේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරගැනීමටත් කුඹුක්, මී සහ කොං පැළ 2500 ක්

    සැප්තැම්බර් 11, 2020

    ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මගපෙන්වීම යටතේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා රුක් රෝපණ ජාතික වැඩසටහන රක්වාන ගඟ ආශ්‍රිත ප්‍රදේශවල 10 දින සිදු කළ අතර මෙම අවස්ථාවේදී රක්වාන ගඟ අපිරිසිදු වීම වළක්වා ගැනීමටත් ගඟේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරගැනීමටත් කුඹුක්, මී සහ කොං පැළ 2500 ක් සිටුවීම සිදු කරන ලදී.

    එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සහභාගි වූ අතර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ත්‍රීෂාන්ති ද සොයිසා මහත්මිය, ගොඩකවෙල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත බණ්ඩාර මහතා, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කපුරුගේ මහතා, ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය රත්නපුර දිස්ත්‍රික් කළමනාකරු එස්. පී .ගමගේ මහතා, ප්‍රදේශවාසී ජනතාව සහ පාසල් සිසු දැරියන් මෙම අවස්ථාවට සහභාගී විය. එම අවස්ථාවේදී පැමිණි සිටි පිරිස ඇමතූ ජලසම්පාදන අමාත්‍ය වාසුදේව
    නානායක්කාර මහතා;

    “මා සන්තෝස වනවා මේ මොහොතේ පාසල් දරුවන් සහභාගි වීම සම්බන්ධව මොවුන් තමයි රටේ අනාගතය භාර ගන්නා පිරිස. අප මේ මොහොතේ ආරම්භ කරන මෙම ක්‍රියාන්විත ඔවුන් ඉදිරියට ගෙන යාවි කියා මා බලාපොරොත්තු වෙනවා. අතීතයේ සිදුවූ එක්තරා ක්‍රියාවක් සම්බන්ධයෙන් මගේ හදවතේ දැඩි සන්තාපයක් මතුවනවා. 1818 අපේ හෙළ විරුවන් සිදුකළ අරගලයෙන් පසුව සුදු අධිරාජ්‍යවාදීන් අපේ හෙළ ගොවිතැනේ පොහොර ගස වන මී ගස් ලක්ෂ ගනණින් කපා දැමුවා.ඔවුන් දැනගත්තා අපේ ශක්තිය එය බව.එදා පර සුද්දන් විසින් කපා බිම හෙලු එක මී ගහක් වෙනුවෙන් මී ගස් දහයක් මේ මාතෘ භූමියේ පැලකිරීමට මේ මොහොතේ සිට අපි අධිෂ්ඨාන කල යුතුයි.ඉදිරියට මොන බාදකය ආවත් මා අදිටන් කරගත් ආකාරයට මගේ ජීවිතේ පරමාදර්ශය කරගත් මෙම ක්‍රියාන්විතය මා මියෙන තුරුම ඉදිරියට කරගෙන යනවාය කියන පොරොන්දුව මේ අවස්ථාවේ මා ලබා දෙනවා.


    ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයේ වන විනාශයකට හෝ වෙනත් තර්ජනාත්මක කටයුත්තක් කිරීමට කිසිදු පුද්ගලයකුට අපි ඉඩ තියන්නේ නෑ. අවට සෑම ඉඩම් හිමියෙක්ම සිංහරාජයේ බලයට යටත් බව මතක් කරන්නට ඕන .මේ බව සියලුම වතු හිමියන් දැන ගත යුතුයි.ඇතැම් පුද්ගලයින් සීරුවෙන් සිංහරාජ වනාන්තරය අද්දර යම් වන විනාශයක් සිදුකරමින් සිටින බවට අපට දැන ගන්නට ලැබුනා. ඔවුන්ට අපි දැනුම් දී තියෙනවා අදාල වන විනාශය හා තේ පැළ සිටුවීමේ ක්‍රියාව වහාම නතර කරන ලෙස. නමුත් ඉදිරියටත් ඔවුන් එම විනාශයන් හී යෙදුණහොත් පොලිසිය සමග ඔවුන්ට විරුද්ධව තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නට දෙපාරක් හිතන්නේ නෑ. නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ දී ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ හිමිකම් පෙන්නන්න. නමුත් වන විනාශය නතර කළ යුතුයි. තවත්අපට මුහුණපෑමට සිදුවන ගැටලුවක් වන්නේ රක්වාන ගඟේ ජල මූලාශ්‍රවලට සිදුවන විවිධ හානි නිසාවෙන් මේ වන විට ගඟේ ජල ප්‍රමාණය අවුරුදු 8 ක පමණ කාලයක සිට ටිකෙන් ටික අඩු වී යාම.ඊට හේතු හැටියට පෙනී යන කාරණාවන් වන්නේ නීති විරෝධී වන විනාශය සහ ජලය යම් ක්‍රමවේදයන් භාවිතා කොට වෙනත් ස්ථාන කරා ගෙන යාමයි. ජලය බහුලව තියෙන ප්‍රදේශ වලින් ජලය නොමැති ප්‍රදේශ සඳහා අපි ජලය ලබා දිය යුතුයි. ඒ සඳහා වූ ජල ප්‍රතිපත්තිය වත්මන් ආණ්ඩුව මගින් ගෙන ඇති බව මා මතක් කොට සිටිනවා.


    අපි හැමෝටම වගකීමක් තියෙනවා මෙම පැළ මහ පොළොව මත සිට වුවා වගේම එම පැළ ආරක්ෂා කරගන්නට. විශේෂයෙන් සිටුවන ගස් පැළවන තුරු, පැළවන ගස් හැදෙන තුරු, හැදෙන ගස් ලොකු වනවාද දකින තුරු , සිටවපු ගස් සඳහා ජනතාවගේ කාලය වැය කරන්නට වනවා.


    මම ජල සම්පාදන අමාත්‍යවරයා හැටියට රට පුරා ගොස් සහභාගි වන්නේ ජල ව්‍යාපෘති විවෘත කරන්නට නොවෙයි. ජල මූලාශ්‍ර හොයන්න. ගරු ජනාධිපතිතුමාගෙන් මා ඉල්ලා සිටිය ජල සම්පත් මන්ඩලයත් මා වෙත ලබා දෙන ලෙස.එතකොට මට හැකියාව ලැබෙනවා මාගේ මුළු ශක්ති ප්‍රමාණය ම යොදවලා ජල මූලාශ්‍ර සහ රක්ෂිත සොයා ගැනීමට. එවිට අපට හැකියාව ලැබෙනවා නිරායාසයෙන්ම ජල ව්‍යාපෘති ආරම්භ කරන්නට.” යනුවෙන් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අදහස් ප්‍රකාශ කළ අතර පැමිණි සිටි පාසල් දරු දැරියන් සඳහා සහතිකපත් ප්‍රදානයක් ද එම අවස්ථාවේදී සිදුවිය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya