අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෛපොංගල් දින පණිවුඩය- බහුවිධ ආගම්,ජාතීන් හා සංස්කෘතීන්ගේ සාරවත්බව රකිනු වස් මේ ආකාරයේ සංස්කෘතික උත්සව බෙහෙවින් ඉවහල් වනු ඇත

    ජනවාරි 15, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තෛපොංගල් දින පණිවුඩය

    මිනිස් වර්ගයාගේ ජීවනාලිය බදු ගොවිතැනට අවැසි ජලය, ආලෝකය, උෂ්ණත්වය සහ සුළග යන සාධකවලට අධිගෘහිත වූ සූර්ය දිව්‍ය රාජයාණන්ට කෘතඥතාව පුද කරනු වස් ලෝකවාසී දෙමළ ජනයා විසින් සමරනු ලබන තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පළ කිරීමට ලද අවස්ථාව පිළිබද සතුටු වෙමි.

    දෙමළ ඉතිහාසයේ පහළ වූ විශිෂ්ටතම කිවිවරයෙකු ලෙස සැලකෙන භාරදියාර් ‘ගොවිතැනට නමස්කාර කරමු’ යනුවෙන් කළ ‍‍ඓතිහාසික පබැදුමෙන් දෙමළ ජනයා ගොවිතැන සම්බන්ධයෙන් පළ කරන පූජනීය පිළිගැනීම ප්‍රකට කරයි. ගොවිතැන තම ප්‍රධාන ජීවනෝපාය කර ගනිමින්, සොබාදහම හා බද්ධ වූ දිවි පෙවතක් ගත කළ ඔවුහු තෛපොංගල් සැමරුම මගින් සොබාදහමේ උත්කෘෂ්ට ත්‍යාගශීලීත්වයට තම නමස්කාරය පළ කළහ.

    කිරි උතුරන්නාක් මෙන් සියල්ලන්ගේ සිත් තුළ සෙනෙහසත්, ප්‍රීතියත් උතුරාගෙන ගොස් සංහිදියාව විකසිත විය යුතුය යන අභිලාශය පෙරදැරිව දෙමළ ජනයා තම ගොවිතැනෙන් ලද අග්‍ර ඵලය වූ නැවුම් සහලට නිකලැල් ක්ෂීරයත්, හකුරුත් මුසු කොට ලිප තබා කිරි උතුරුවති. බහුවිධ ආගම්, ජාතීන් හා සංස්කෘතීන්ගේ සාරවත්බව රකිනු වස් මේ ආකාරයේ සංස්කෘතික උත්සව බෙහෙවින් ඉවහල් වනු ඇති බව මාගේ අදහසයි.

    දුරුතු උදාව ජීවිතයට නව මං විවර වන බව දෙමළ ජනයාගේ විශ්වාසයයි. එම විශ්වාසයන් ඉටු වී ජීවිතයට නව උදාවක් එළැඹෙන ප්‍රීතිමත් තෛපොංගල් උත්සවයකට සුබ පතන අතර, ස්වභාව ධර්මය සහ මිනිස් වර්ගයා අතර වූ ශක්තිමත් බැදීම ඔප් නංවමින්, දෙමළ සංස්කෘතියේ සහ කලාවේ සාරගර්භ හරයන් කළ එළි දක්වමින් තෛපොංගල් උත්සවය සමරන ලක්වාසී දෙමළ ජනයාටත්, ලොව පුරා වෙසෙන දෙමළ ජනතාවටත් මාගේ හද පිරි සුභාශිංසන පිරිනමමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya