ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ සංකල්පයක් අනුව දියත් කෙරෙන මෙම වැඩසටහන යටතේ ප්‍රාථමික කර්මාන්ත ක්ෂේත්‍රයේ හා අපනයන කෘෂි බෝග ක්ෂේත්‍රයේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් මේ දක්වා සිදු කර ඇති පර්යේෂණ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ.
අද සිට ඉදිරි සති හයක් තුළ සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකදී ම මෙම සමුළු මාලාව පැවැත්වීමට කටයුතු කර තිබේ. මේ සඳහා ආයතන හතක් මගින් නව පර්යේෂණ හා සංවර්ධන යෝජනා හාපර්යේෂණ ප්‍රතිඵල 137 ක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, විශේෂඥ පර්යේෂණ කණ්ඩායමක් ඉදිරියේ ඒ ඒ ආයතන තම තමන්ගේ පර්යේෂණ ඉදිරිපත් කිරීමෙන් පසු ඒවා තවදුරටත් සංවර්ධනය කිරීමට හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය අදහස් කරයි.
මේ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 200ක් පමණ වේ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු බන්දුල වික්‍රමාරච්චි මහතා, "2020 වන විට අප අපේ රටේ අපනයන ආදායම දෙගුණයක් බවට පත් කරන්න අවශ්‍යයි. ඒක තමයි අපේ අමාත්‍යාංශයේ ඉලක්කය. ඒ සඳහා අපිට දැනට සිදු කරන වගා භූමි ධාරිතාව ඉහළ නැංවීම වගේ උපක්‍රම ඵලදායී උපක්‍රම ලෙස භාවිත කරන්න අමාරුයි. අපිට තියන වඩාත්ම ප්‍රායෝගික උපක්‍රමය තමයි, අස්වැන්න හා ගුනාත්මකභාවය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වලට යොමු වීම. අපි අපේ අස්වැන්න ඉහළ නැංවීම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා සුදුසු හා ප්‍රායෝගික පර්යේෂණ වලට යොමු විය යුතුයි. ඒ වගේම, පර්යේෂණ තුළින් අපි උත්සාහ කරන්න ඕනි අපේ නිෂ්පාදනයන්ගේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි, මේ නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම. අපි, අලූත් දේවල් - අලූත් නිෂ්පාදන - අගය වැඩි කිරීම කියන ඉලක්කය ජයගත යුතුයි.
ඒ වගේම තමයි අපි අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉහළ නංවාගැනීමේ වැඩසටහන් දියත් කරන්න අවශ්‍යයි. ඒ තුළින් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ අපනයන කෘෂි බෝග කියන දේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් බවට පත් කරන්න."
මේ අතර මෙහිදී, මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අජිත් ද සිල්වා මහතා ද අදහස් දැක්වීය.
"පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් වියදම් කරනවා කියලා කියන්නේ, එක් වරක් මුදල් වියදම් කරලා සීමා රහිත කාලයක් ඒ හරහා ප්‍රතිලාභ ලැබීමක්. අමෙරිකා එක්සත් ජනපදයේ සමහර පර්යේෂණ වෙනුවෙන් ඔවුන් වියදම් කරන්නේ එක ඩොලරයයි. නමුත්, ඒ පර්යේෂණ උපයෝගී කර ගනිමින් ඔවුන් ඒ වගේ සිය ගුණයකටත් වඩා වැඩියෙන් යළි මුදල් උපයමින් සිටිනවා.
අපේ රටේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් පර්යේෂකයින් 20,000ක්වත් අවශ්‍ය බව යුනෙස්කෝ සංවිධානය සඳහන් කරනවා. නමුත්, අවාසනාවකට අපි ලඟ ඉන්නේ මේ වන විට පර්යේෂකයින් 5,000කටත් අඩු ප්‍රමාණයක්. ඒ අතරිනුත් සැලකිය යුතු පිරිසක් තමන්ගේ පර්යේෂණ සිදු කරලා, තයිල් වල දාගෙන එහෙ මෙහේ ඇවිද ඇවිද ඉන්නවා.අපි අපේ රටේ පර්යේෂණ දක්ෂතා ඇති අයට නිදහස් අධ්‍යාපනය දීලා, සමහර වෙලාවට බැච් පිටින් පටවලා රට යවනවා."
මෙම අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ.ඩී.එන්. වීරසිංහ, ආර්ථීක විශේෂඥ ආචාර්ය චතුර රොද්‍රිගෝ, විද්‍යාඥ ආචාර්ය ශෙහාන් ද සිල්වා යන මහත්වරුන් සහ අපනයන කෘෂිකර්ම දෙපාර්කමේන්තුවේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.