මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමතකව ගිය අපේකම යළි ගොඩනගමු - අමාත්‍ය අර්ජුන රණතුංග.

    මැයි 23, 2016
    අමතකව ගිය අපේකම ගොඩ නැඟීමට හොදම කාලය වෙසක් සමය බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 
    එතුමා මේ බව කියා සිටියේ වරාය බෞද්ධ සංගමය සංවිධානය කරන කොළොම්තොට වෙසක් කලාපය විවෘත කරමිනි. 
     
    එහිදී අදහස් දැක්වමින් අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසූයේ, අමතකව ගිය අපේ සංස්කෘතිය දරුවන්ට යළි මතක් කර දීම කාලීන වශයෙන් වැදගත් වූවක් වන බවයි. එසේම ආපදාවට පත් ජනතාව වෙනුවෙන් සහන සලසමින් ඔවුන්ගේ මානසිකත්වය යළි ගොඩනැඟීම වැදගත් බවද එතුමා එහිදී අවධාරණය කළේය.
     
    “මේ වෙසක් කලාපය ඉදිරියට ගෙනයාමත්, රටට ඇතිවී තිබෙන ආපදා තත්ත්වය සමග අපේ දායකත්වය මිනිසුන් වෙනුවෙන් ලබාදෙන්නේ කොහොමද කියලත් මම නායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කළා. අපි බෞද්ධයෝ හැටියට සමරන ප්‍රධානම උත්සවය වෙසක් මංගල්‍යය. මේ වැදගත් දිනය අපි සිහිපත් නොකිරීම අපේ අඩුපාඩුවක්.
     
    ඒ වගේම අපේ සංස්කෘතිය ගැන මේ රටේ දරුවන් දැනුවත් කිරීම ඉතාම වැදගත්. මේ තාක්ෂණික ලෝකයේ අපි දකින්නේ හරිදේද කියන එකත් ප්‍රශ්නයක්. අපිට අපේකම් අමතක වෙලා තියෙනවා.  අන්තර්ජාලය එක්ක ගනුදෙනු කරන අපිට අපේකම් අමතක වෙලා ගිහිල්ලා. මේ රටේ අද මොන ඛේදවාචකයක් තිබුණත් අපි තීරණය කළා මෙවර වෙසක් කලාපය සාර්ථකව පවත්වන්න. මොකද පසුගිය වසර තුළ උතුර, දකුණ නැගෙනහි, බටහිර, හැම පළාතකින්ම මේ වෙසක් කලාපය නරඹන්න ආවා. ඒ නිසා මේ දින කිහිපය රටේ සියලු දෙනාටම නැරඹීම සඳහා සූදානම් කර තිබෙනවා. අදත්, ඊයෙත් අපි ගං වතුරෙන් වූ හානි නිසා දුක් විඳින අපේ සහෝදරයින් බලන්න ගියා. ඔවුන් ඉන්න හැටි දැක්කම ලොකු කණගාටුවක් ඇති වෙනවා.  ඒ වගේම වරායේ සේවකයෝ 150 කට වැඩි සංඛ්‍යාවකට මේ විපතට මුහුණ දෙන්න වුණා. අපි වරාය අධිකාරිය හැටියට, වරාය අමාත්‍යාංශය හැටියට අපේ සේවක සහෝදරයින්ව ගොඩගෙන ඔවුන්ට හොඳ මානසිකත්වයක් ලබාදීලා මේ ක්‍රමවේදය ඉදිරියට ගෙනයන්න බලාපොරොත්තු වෙනවා...” යැයිද අර්ජුන රණතුංග මහතා එහිදී පැවසීය.
     
    වරාය බෞද්ධ සංගමයේ සභාපති කොටුව ශ්‍රී බෝධිරාජ විහාරාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක නිකුල පඥ්ඥාසාර නායක ස්වාමීන්වහන්සේ හා  ශ්‍රී ලංකා වරාය අධිකාරයේ සභාපති ධම්මික රණතුංග මහතාද මෙම  අවස්ථාවට සහභාගී වූහ.
     
    ගාලුමුවදොර, චෛත්‍ය පාර ආරම්භයේ සිට වරාය චෛත්‍ය දක්වා වූ කලාපයෙහි පිහිටුවන මෙම වෙසක් කලාපයට තොරණ, පහන් කූඩු, දන්සැල්, භක්ති ගීත සංදර්ශන, මුද්‍රා නාටක සහ තවත් අංග රැසක් ඇතුළත් වේ. එහි ගීත නාටකය ඉදිරිපත් කරනුයේ කුරුණෑගල වයඹ විමුක්ති කලා කේන්ද්‍රයයි. වෙසක් තොරණින් කාමණීය ජාතකය නිරූපණය කෙරේ. 
     
    25 වැනිදා දක්වා පැවැත්වෙන කොළොම්තොට වෙසක් කලාපය අද විවෘත කරනුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ සුරතිනි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya