අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ අර්ථ ශූන්‍ය තොරතුරු ජනමාධ්‍ය මගින් ජනතාවට ලබාදීමේ අවස්ථාවන් වැඩි කිරීමට මාධ්‍ය අද කටයුතු කරනවා.” - ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක

    මැයි 16, 2016
    “ අද සමාජයේ ජනමාධ්‍ය පිළිබඳව විවිධ ආකාරයේ විවේචන තිබෙනවා. අද මේ දරුවන් කරපු අධ්‍යනයන් සැලකිල්ලට ගත් විටත්  ජනමාධ්‍ය ‍ක්ෂේත්‍රයේ තිබෙන ඒ විවේචන දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම අද නව නිපැයුම් ගැන, රටේ සංර්ධනය ගැන, විවිධ පර්යේෂණ ගැන, අලුත් සොයාගැනීම් ගැන ජනමාධයෙන් ලැබෙන ප්‍රචාරය ප්‍රමාණවත්ද කියන එක ගැන විවේචනයක් තිබෙනවා. එවැනි දේවල් වලට වඩා අද ජනමාධ්‍ය ප්‍රචාරයේදී විශේෂයක් දක්වනවා කිසිදු වැදගැම්මකට නැති, අර්ථ ශූන්‍ය තොරතුරු ජනමාධ්‍ය මගින් ජනතාවට ලබාදීමේ අවස්ථාවන් වැඩි කිරීමට. ඒක හැම මාධ්‍යක්ම කරන විශේෂ දෙයක්.” යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
    විශාකා විද්‍යාලයේ මාධ්‍ය සංසදය විසින් උසස් මාධ්‍ය කලාවක් වෙනුවෙන් සංවිධානය කල ‘ අහස දකිමු විය සිදුරෙන් ’ උසස් මාධ්‍ය මෙහෙවර පිළිබඳ ජනමාධ්‍ය කතිකාවත සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇමතිවරයා එම අදහස් පළකර සිටි අතර වර්තමානයේ අපේ රටේ පවතින ජනමාධ්‍යයේ හැසිරීම හා එහි ස්වභාවය පිළිබදව සමාජයේ පවතින තත්ත්වය අමාත්‍යවරයා විස්තර කරමින් මෙසේද කීය  
     
    “අද ජනමාධ්‍ය කියන්නෙ ඉතාම ප්‍රබල විෂයක්. කොයිතරම් ප්‍රබලද කියනවානම් රටක සිව්වැනි ආණ්ඩුව හැටියටයි ජනමාධ්‍ය අද හඳුන්වන්නේ. මම දැක්ක අපේ ජනාධිපතිතුමත් ඊයෙ පෙරේද දවසක කියල තිබුන රටක් ජනමාධ්‍ය විසින් මෙහෙයවන හැටි පිළිබඳව. ඒවගේම තමයි රටක් සමාජයක් සුමගටත් නොමගටත් කියන මේ දෙකටම යොමුකිරීමේ හැකියාව ජනමාධ්‍ය සතුව තිබෙනවා. ඒනිසාම අද වෙනකොට මේ ජනමාධ්‍ය හැදෑරීමට අපේ පාසල් දරු දැරියන් තුලත් විශාල උනන්දුවක්, උද්යෝගයක් ඇතිවී තිබෙන බව අපට පේන්න තිබෙනවා. බොහෝ පාසල් වල අද වන විට ජනමාධ්‍ය කව, ජනමාධ්‍ය ඒකක, ජනමාධ්‍ය සංසද පිහිටුවල තිබෙනවා. ඒ තුලින් පාසල් කාලෙදිම අපේ දරුවන් තුල ජනමාධ්‍යට තිබෙන දක්ෂතා වගේ විශේෂ හැකියාවන් හඳුනාගැනීමටත් ඒවා ඔප්නංවන්නටත් මේ සංසද හරහා විශාල පිටුවහලක් වෙනවා.”
     
    “ලෝකයේ හිටපු විශිෂ්ඨතම ජනමාධ්‍යවේදියෙක් තමයි ජුලියස් පූජි. ඔහු වරක් ප්‍රකාශ කලා ජනමාධ්‍යවේදීන් වර්ග තුනක් සිටින බව. එයින් පළවෙනි කොටස තමයි ජනතාව ආපස්සට ගෙනයන ජනමාධ්‍යවේදීන්. දෙවැනි කොටස තමයි ජනතාව එකතැන රඳවන ජනමාධ්‍යවේදීන්. ඔහුට අනුව තුන්වැනි කොටස තමයි ජනතාව ඉදිරියට ගෙනයන ජනමාධ්‍යවේදීන්. ඒනිසා මාධ්‍ය විෂය පිළිබඳව විශාල උනන්දුවක් දක්වන මේ සිසු දරුවන්ට මම කියන්න කැමතියි රටක් හැටියට ගත්විට අපේ රටට ඉදිරියෙදි අවශ්‍ය වන්නෙත් ජනතාව ඉදිරියට ගෙනයන මාධයවේදීන් පිරිසක් බිහිකර ගැනීමයි කියන කාරණය. අද මාධ්‍යවේදියකු වන එක බොහොම පහසු කාරණයක්. ඕනෑම කෙනකුට හිතුනොත් ලෙහෙසියෙන්ම අද මාධ්‍යවේදියකු කියාගන්න පුලුවන්. නමුත් පිරිපුන්, විශිෂ්ඨ, යහපත් මාධ්‍යවේදියකු වන එක නම් ඒ තරම්ම පහසු කටයුත්තක් නොවෙයි.”
     
    “ඒ කාලෙ අපේ රටේ හිටපු ජේෂ්ඨ ප්‍රවීන මාධ්‍යවේදී අංකුර මාධ්‍යවේදීන්ට නිතර කියපු කතාවක් තමයි හොඳ මාධ්‍යවේදියෙක් වෙන්න නම් ඌරු කටක් තියෙන්න ඕන, බූරු පිටක් තියෙන්න ඕන සහ උකුසු ඇසක් තිබෙන්න ඕන කියන එක. ඒකෙන් ඌරු කටක් කියල අදහස් කලේ අහුවෙන ඕනම දෙයක් කාල වෙලාවක් කලාවක් බලන්නෙ නැතිව රාජකාරිය කරන්න ඕනෙ කියන එක. බූරු පිටක් තියෙන්න ඕන කියන එකෙන් අදහස් කලේ ඕනැම දේකට ඔරොත්තු දෙන්න ඕන කියන එක. උකුසු ඇසක් තිබෙන්න ඕන කියන එකෙන් අදහස් කලේ සමාජයේ ඕනැම දෙයක් දකින්න පුලුවන් කියුණු ඇසක් තිබෙන්න ඕන කියන එකයි. ඒනිසා ජනමාධ්‍ය විෂය පිළිබඳව පාසල් වියේ සිටම උනන්දුවක් දක්වන මේ දරුවන්ටත් ජේෂ්ඨ ප්‍රවීන මාධ්‍යවේදී අංකුර මාධ්‍යවේදීන්ට නිතර කියපු ඒ අදහස්, ඔවදන් වැදගත් වෙයි කියල මම කල්පනා කරනවා.”
     
     “ මම මීට මාස කිහිපයකට කලින් මෙම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව දිවුරුම් දීමේ උත්සව අවස්ථාවකට සහභාගී වුනා. ඒ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අගමැතිනියක්, ඇමතිවරියන් මන්ත්‍රීවරියන් හැටියට මේ දරුවෝ මොනතරම් විශිෂ්ඨ අයුරින් කටයුතු කරනවද කියන එක අපි එදා දැක්ක. ඒ කටයුතු දිහා බලනවිට අනාගතයේ අපේ රටේ පාලනයට හුරුපුරුදු වන පිරිසක් මේ විද්‍යාලය තුලත් සිටින බව ඉතා පැහැදිලිව අපට දක්නට ලැබුනා. අද මම මේ ජනමාධ්‍ය පිළිබඳව කතාකරන වෙලාවෙ මෙතනට ඇවිත් පාර්ලිමේන්තුව ගැන කතා කලේ මේ විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව තිබෙන නිසාත් වගේම මම පාර්ලිමේන්තුවේ සිටින කෙනෙක් නිසයි. අද අපේ රටේ පාර්ලිමේන්තුව ගැන කතා කලාම ඒකෙදිත් පාර්ලිමේන්තුව මාධ්‍ය විසින් වාර්තා කිරීමේදී අර්ථවත්, හරවත්, වැදගත් කතා වලට ලැබෙන ඉඩයි එක්නෙකා බිඳවන, කොටවන, දෙපැත්ත කැපෙනා කතා, කිසිම හරයක් නැති බොලඳ කතා වලටයි ලැබෙන ප්‍රචාරයයි අතර තිබෙන්නේ විශාල පරතරයක්. ඒ නිසාම මම දැකල තිබෙනවා, බොහෝ මන්ත්‍රී වරුන් එක්ක කතාකරන විට තේරුම් යන දේ තමයි හරවත් වැදගත් යමක් කිව්වොත් මාධ්‍යයේ පළවන්නේ නැති නිසා කලින් කිව්ව ආකාරයේ අර්ථ ශුන්‍ය කතා කරනවා කියන උදවියත් ඉන්න බව.”
     
    “ මෑතකදී මම ගියා පෞද්ගලික නාලිකාවක මාධ්‍ය ගැන කරන්න තිබුනු කතිකාවතකට. එතනදිත් අප අදහස් පළකළ එක කාරණයක් තමයි අද මාධ්‍ය වල භාවිතා වන භාෂාව පිළිබඳව තිබෙන ප්‍රශ්ණය ගැන. සමහර විද්‍යුත් මාධ්‍ය වලට සවන් දෙන විට අපට ඒ වැඩසටහන සිංහල වැඩසටහනක්ද ඉංග්‍රීසි වැඩසටහනක්ද කියන ප්‍රශ්ණය ටිකක් වෙලා නරඹනකන් අපට තේරුම්ගන්න බැරුව තිබෙනවා. බොහොම සංකර සිංග්‍රීස් භාෂාවක් තමයි අපට හුඟක් විද්‍යුත් නාලිකාවල අහන්න ලැබෙන්නේ. ඒ නිසා මේ වගේ පාසල් මේ විෂය හදාරන්න දරුවන් දක්වන උනන්දුව ඒ වගේම පාසල්වල වල මාධ්‍ය සංසද පිහිටුවලා මේ ගන්න උත්සාහය වැදගත් මාධ්‍ය සංස්කෘතියක් බිහිකරන්න දරන ප්‍රයාත්නය අපි බෙහෙවින්ම අගයකරනවා. අද රජයක් හැටියටත් අපි නිතරම කල්පනා කරන්නේ මාධ්‍යට දෙන්න ඕන නිදහස දෙන්න ඕන හැටි. තිබුනු තත්ත්වයට වඩා මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න කටයුතු කරන හැටි. ඒ වගේම උසස් මාධ්‍යක් බිහිකිරීමට මොනවද කරන්න ඕන කියන කාරණා පිළිබඳව අපේ අවධානය අපි නිතරම යොමුකරනවා. ඒවගේම විද්‍යුත් මාධ්‍ය වලටත් යම් යම් නියාමනයන් තිබිය යුතුයි කියන කතිකාවක් අද සමාජයෙන්ම නිර්මාණය වෙලා තිබෙනවා.”
     
    මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ, ආචාර්ය රංග කලංසූරිය යන මහත්වරුද එක්වූහ.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya