අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 දී විශ්වවිද්‍යාල නේවාසික ගැටලුව අවසන්- ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

    අප්‍රේල් 26, 2016

    වසර 2018 වන විට  රටේ සියලු විශ්වවිද්‍යාල වල සිසු නේවාසිකාගාර ගැටලුව අවසන් කරන බව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    නව රජය මඟින් ක‍්‍රියාත්මක කර ඇති සරසවි නේවාසිකාගාර 60 ක් කඩිනමින් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ නව නේවාසිකාගාර දෙකක් සිසු අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) සිදු කෙරිණි.

    විවෘත කළ නව නේවාසිකාගාර ව්‍යාපෘතියේ, දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ කාන්තා නේවාසිකාගාරය මහල් 4 කින් සමන්විත වන අතර එය කාමර 40 කින් යුක්ත වේ. එහි සිසුවියන් 160 ක් සඳහා නවාතැන් පහසුකම් ලබා ගත හැක. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය නව නේවාසිකාගාරය මහල් 4 කින් සමන්විත වන අතර එය කාමර 60 කින් යුක්ත වේ. එහි සිසුන් 240ක් සඳහා නවාතැන් පහසුකම් ලබා ගත හැක.

    මෙම ව්‍යාපෘතිය තුළ පොදු අධ්‍යන ශාලාවක් , පොදු මුළුතැන්ගෙයක් ඇතුළු නවීන පහසුකම්වලින් සමන්විතව නිර්මාණය කර ඇත. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රජය ආයෝජනය කළ  මුදල රුපියල් මිලියන 220 කි.
     
    නව රජය උසස් අධ්‍යාපන වෙනුවෙන් පමණක් නොව සමස්ත අධ්‍යාපන කේෂ්ත‍්‍රය වෙනුවෙන් අති විශාල මුදලක් වැය කර තිබෙන බවත් රජයේ අයවැය ලේඛනයෙන් පවා එය පෙන්වලා තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය .

    රටේ දියුණුවට දායකත්වයක් දිය හැකි ශිෂ්‍ය පරපුරක් විශ්වවිද්‍යාල තුළින් නිර්මාණය  කිරීම වර්තමාන රජයේ අවශ්‍යතාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා අගමැතිවරයාද ඒ සඳහා විශාල අවධානයක් යොමු කර තිබෙන බව සඳහන් කළේය .

    වර්තමානයේ විශ්වවිද්‍යාලවලට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී තිබෙන බවත් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ක‍්‍රියා කරන්න පූර්ණ නිදහස සලසා දී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    අද අපේ රටේ 80‍%කට පමණ ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලවලට ඇතුල් වීමට අවස්ථාව නොමැති අතර  ඒ අයට වැඩිදුර අධ්‍යාපනයට ක‍්‍රමයක් සකස් කල යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.

    අමාත්‍යරවයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

    “පසුගිය වසර දහය තුල ශ‍්‍රී ලංකාව විශාල වශයෙන් ණය අරගෙන ප‍්‍රතිලාභ නැති ව්‍යාපෘති ආරම්භ කලා. වසර ගණනාවක් ගත්තු ණය මුදලේ වාර්ෂික ණය පොලියයි වාරිකයයි ගෙවන්න අපේ රටේ අවුරුද්දක ආදායම මදි. මේක තමයි අපේ ආර්ථිකයට සිදු වූ දරුණුතම කඩා වැටීම . ජනතාවට අපි ඇත්ත කිව යුතුයි. රටට ප‍්‍රාග්ධනය නැහැ. පසුගිය කාලයේ අපේ අපනයන 40‍%ක් කඩා වැටුණා. අපනයන වැඩි කරන්නෙ නැතිව විදේශ විනිමය හොයා ගන්නෙ නැතිව රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. අගමැතිතුමත් ජනාධිපතිතුමත් ප‍්‍රාග්ධනය තියන රටවල් වලට ගිහින් අපේ රටට ප‍්‍රාග්ධනය සහිතව පැමිණ රට දියුණු කරන්න සහයෝගය දෙන්න කියලා ආරාධනා කලා . අද වන විට යුරෝපා රටවල් , ආසියාතික රටවල් අපේ රටේ ආයෝජනය කරන්න සූදානම්. අපිට ණය නොවේ අවශ්‍ය. ආයෝජනයි අවශ්‍යය. රටේ ප‍්‍රධාන පක්ෂ දෙක සහ නායකයින් දෙදෙනා එකට එකතු වෙලා යහපාලන වැඩපිළිවෙල තුළින් නව ගමනක් යන්න සූදානම් කියලා අපි අද මුළු ලෝකයටම පෙන්වලා තිබෙනවා . රටේ දේශපාලන ප‍්‍රශ්න ඉවරයි. අපි අතර දැන් සමඟියක් තිබෙනවා“

    මේ අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී දිසානායක , විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ඩි.සිල්වා , දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය එස්.ඩී.හපුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya