මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතීන් අතර සංහිඳියාවක් ඇති කිරීමට නම් සිංහල රාජ්‍ය නිලධාරීන් උතුරේත් දෙමළ නිලධාරීන් දකුණෙත් සේවය කළ යුතුයි

    අප්‍රේල් 21, 2016

    ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නම් අනිවාර්යයෙන්ම සිංහල රාජ්‍ය නිලධාරීන් උතුරටත් දෙමළ රාජ්‍යනිලධාරීන් දකුණටත් ගොස් කිසිදු භේදයකින් තොරව සේවය කිරීමට පියවර ගත යුතු බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

    ඒ මහතා මෙම අදහස් පල කළේ,පසුගියදා මුලතිව් කම්කරු කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. අංග සම්පූර්ණ මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජය වැයකර ඇති මුදල රුපියල් මිලියන69කි.

     

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,උතුරේ ප්‍රදේශවල ජීවත්වෙන්නේ යුද්ධයේ කටුක අත්දැකීම් වලට මුහුණ දුන් ජනතාව.එල්.ටී.ටී.ඊ සංවිධානයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බැඳුනු තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් දැන් පුනරුත්ථාපනය වෙලා සාමකාමිව ජීවත්වෙනවා.

    යුද්ධයෙන් විනාශ වුණු මේ ප්‍රදේශ දැන් දියුණු වෙලා.දැන් අපි ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි.රැකි රක්ෂා ලබා දිය යුතුයි. රාජ්‍ය අංශයේ රැකියා හැමෝටම දෙන්න හැකියාවක් නෑ. දැනටමත් බොහෝ දෙනෙක් පෞද්ගලක අංශයේ රැකියා සඳහා යොමුවෙමින් තියෙනවා. සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය කෘෂී කර්මාන්තය හැරුණු කොට ඇඟලුම් සහ විවිධ කර්මාන්ත අංශයන්හී රැකියා සඳහා මේ අය යොමු වෙමින් තියෙනවා.

     

    මුලතිව් කම්කරු බල ප්‍රදේශයේ තුළ විවිධ ආයතනවල 3,500ක පමණ සේවක පිරිසක් මේ වන විට සේවය කරනවා. දැන් නව කර්මාන්තශාල ආරම්භවෙමින් පවතින නිසා මෙම සේවක සංඛ්‍යාව ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉහළ යනවා. එම නිසා එම තත්ත්වයට මුහුණ දෙන්න තමයි අපි මේ අංග සම්පූර්ණ කම්කරු කාර්යාලයන් මේ පළාත්වල ස්ථාපිත කරමින් යන්නේ. භෞතික සම්පත්වලට අමතරව මෙම කාර්යාලවලට අවශ්‍ය මානව සම්පත්වල හිඟයකුත් දකිනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර කම්කරු කාර්යාල වල කම්කරු නිලධාරීන්ගේ විශාල හිඟයක් තියෙනවා. රට පුරා කම්කරු නිලධාරීන් 203 ක අඩුවක් අපිට තියෙනවා.මේ පළාත් වල විතරක් 47ක් අඩුයි.

     

    කම්කරු නිලධාරීන් බඳවා ගන්න අවශ්‍ය විභාගය කඩිනමින් පවත්වන්න දැන් කටයුතු සුදානම් කරලා තියෙන්නේ. එම විභගයෙන් අපි විශේෂයෙන් මේ පළාත් සඳහා දෙමළ භාෂාවෙන් වැඩ කල හැකි නිලධාරීන් 26ක් දෙනෙක් පමණ විශේෂ ආකාරයකට තෝරාගන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ඉදිරියේදී සිංහලකම්කරු නිළදාරීන් උතුරටත් දෙමළ කම්කරු නිලධාරීන් දකුණටත් මාරුකර යවමින් ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමටත් අපි පියවර ගන්නවා යැයි පැවසී ය.

     

    වත්මන් සම්මුති ආණ්ඩුවට රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කිරීමට හැකිවුණා.හැමදාම රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරන කොට පෞද්ගලක අංශයේ සේවකයන්ගෙන් මැසිවිලි නැගෙනවා.රජය ඔවුන් අමතක කර කටයුතු කරනවා කියලා.නමුත් මෙවර රජයේ මැදිහත්වීමෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ටත් රුපියල් 2,500කින් වැටුප් වැඩි කර දීමට හැකි වී තිබෙනවා.ඒ වසර 11කට පසුවයි.දැන් මේ සම්බන්ධ පනත ක්‍රියාත්මකයි.ඒ වගේම පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 10,000 ක් බවටත් අපි පත් කළා.අවම වැටුප 10,000 වුනාට මේ 2,500 පඩි වැඩීවීමත් 2005 අවුරුද්දේ වැඩි කරපු රුපියල්1,000 ත් එකතුවෙලා රුපියල් 13,500ක වැටුපක් මේ අයට ලැබෙනවා.මේක පෞද්ගලික අංශයේ ඉතාමත් අඩු වැටුපක් ලැබු සේවකයන් ලැබු විශාල ජයග්‍රහනයක්. පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩිවූ මේ වැටුප් හරි ආකාරව හාම්පුතුන්ගෙන් ලබා ගැනීමට කම්කරු නිළදාරීන්ට විශාල වගකීමක් පැවරෙනවා.

     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේත් අගමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත් නායකත්වයෙන් යන වත්මන් ආණ්ඩුවේ ඉලක්කය වී තිබෙන්නේ හැකි තරම් විදේශ ආයෝජකයන් අපේ රටට ගෙන්වා ගැනීමයි. ඒ අනුව රට පුරා කර්මාන්ත ශාලා ඇති කරලා, තරුණ තරුණියන්ට රැකියා ලබා දීලා, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම තමයි රජයේ බලපොරොත්තුවගඒ අනුව මේ ප්‍රදේශවල තරුණ තරුණියන්ටත් ඉදිරියේදී පෞද්ගලික අංශයේ රැකියා විශාල ප්‍රමාණයක් ලබා දීමට අපට හැකිවෙයි.

     

    මෙම අවස්ථාවට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා,අමාත්‍යංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා,රාජ්‍ය අමාත්‍යංශ ලේකම් සුනිල් අබේවර්ධන මහතා, කම්කරු අධ්‍යක්ෂ ජනරාල් චාන්දනී අමරතුංග මහත්මිය,උතුරු පළාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් ජනරාල් නීලලෝජනී ජෙගදේශ්වරම් මහත්මිය ඇතුළු අමාත්‍යංශ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya