මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුළු කාලයක් තුළ ආර්ථිකයේ විප්ලවීය වෙනසක් සිදුවනවා - මුදල් අමාත්‍ය

    අප්‍රේල් 14, 2016

    යහපාලන රජය යටතේ ජනතාවට සහන ලැබෙන්නෙ කවදා ද යන්න බොහෝ දෙනා ප්‍රශ්න කරන බවත්, තව සුළු කාලයක් තුළ රට තුළ විප්ලවීය ආර්ථික වෙනසක් ඇති වන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහත ප්‍රකාශ කරයි.


    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කඩා වැටුණු ආර්ථිකයක් යළි ශක්තිමත් කිරීම පහසු කාර්යයක් නොවන බවයි.


    අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ,මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානය විවෘත කිරීමේ උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

     

    “බොහෝ දෙනෙක් අපෙන් අහනවා යහපාලනය යටතේ අපට ලැබෙන සහන මොනව ද කියල. මම එක ඉල්ලීමක් කරනවා. අපට සුළු කාලයක් දෙන්න මේ ආර්ථිකය ගොඩනගන්න. අපට ලැබුණෙ දූෂණයට ලක් ව තිබුණ ආර්ථිකයක්. මූල්‍ය විනයකින් තොරව පවත්වාගෙන ගිය ආර්ථිකයක්. අපට ලැබුණෙ කඩාවැටුණ ආර්ථිකයක් වුණත්, එහි බලපෑම ජනතාවට දැනෙන්නෙ අපි ඉඩ තියන්නෙ නෑ. අද අපි මේ නිවැරැදි කරන්නෙ දණින් වට්ටපු ආර්ථිකයක්. එදා කතාවක් තිබුණ කොළඹට කිරි ගමට කැකිරි කියල, තවත් කාලයක් තිබුණ එක දිස්ත්‍රික්කයකට කිරි අනිත් අයට කැකිරි කියල. අද යහපාලන රජය යටතේ සියලු ජනතාවට  කිරි ඉතිරෙන යුගයක් නිර්මාණය වෙලා තියෙනවා.

     

    එදා අපේ ජාතික අසමගිය නිසා, ජාත්‍යන්තරයෙන් අපව කොන් වෙලා තිබුණෙ. ඒ නිසා ජාත්‍යන්තරය අපි දිහා බැලුවෙ කිසියම් වැරැදි දෘෂ්ඨියකින්. අද තත්ත්වය වෙනස් වෙලා. මේ වන විට ජාත්‍යන්තරය අපි කෙරෙහි විශේෂ අවධානයකින් කටයුතු කරනවා.මේ වෙරළ උද්‍යානය ඉදි කිරීම තුළ ජනතාවට විශාල ප්‍රතිලාභ ලැබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඉතා ම අඩු සංවර්ධනයක් තියෙන්නෙ උතුරු කොළඹ ප්‍රදේශයේ. ඒක නිවැරැදි කරන්න මම කටයුතු කරනවා.

    කොළඹ වරාය සංවර්ධනය වන අතරතුර කාක දූපත වෙරළ උද්‍යානයේ වටිනාකම ඉහළ යනවා. මේ උද්‍යානය රැක ගැනීම ඔබගේ වගකීමක්. මම පොලීසියෙන් ඉල්ලීමක් කරනවා මේ උද්‍යානය තුළ ජනතාවට නිදහසේ ගත කිරීමට අවස්ථාව ලබා දෙන්නෙ. ඒත් නීති විරෝධී ක්‍රියා කරන්න ඉඩ දෙන්න එපා. අපි විනයක් ඇතිව කටයුතු කළ යුතුයි. විනයක් තුළින් තමයි රටක් හදන්න පුළුවන්. රට ගොඩනැගෙන විට එහි ප්‍රතිලාභ ලැබෙන්නෙ ජනතාවටයි.

    ලෝක බැංකු ආධාර යටතේ ඉදි කළ මෙම වෙරළ උද්‍යානය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 275කි. කිලෝ මීටර් දෙකකට ආසන්න වෙරළ තීරයේ ඉදි කර ඇති මෙම උද්‍යානය අවන්හලකින්, ළමා උද්‍යානයකින්, රංග පීඨයකින් ද සමන්විත ය.

    විවෘත කිරීමේ අවස්ථාවට මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේශන්, කොළඹ පුරපති ඒ.ජේ.එම් මුසම්මිල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya