මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 වනවිට අපේ ජනතාවට ලබාදුන් බලාපොරොත්තු අපි ඉටු කරනවා

    අප්‍රේල් 09, 2016

    2020 වනවිට අපේ ජනතාවට ලබාදුන් බලාපොරොත්තු අපි ඉටු කරනවා. රටේ ජනතාව ණය බරට පත්කරන සංවර්ධනයක් ද?, රටේ ජනතාවට ආදායම් උපදවන සංවර්ධණයක් ද කියන නිවැරදි තක්සේරුවකින් තමයි ඒ ගමන යන්නේ යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

     

    කවුරු උඩු බිරුලූවත්, තමන්ගේ අවස්ථා අහිමි වෙච්චි වෘකයින් වියරු වෙලා කෑ ගැහුවත්, ඒ වෘකයින්ට දඩයම් සොයාදෙන සිඟාලයෝ මොන ආකාරයට හූ හඬ තිබ්බත් මේ ගමන අපි ඉදිරියට යනවා. 2020 වෙන කොට අපේ ජනතාව එදා අපට දීපු ඒ බලාපොරොත්තු අපි ඉටු කරනවා කියන එක අපි මෙ අවස්ථාවේ ප‍්‍රකාශ කරන්න  ඕනේ.

     

    අපි සංවර්ධනය ගෙන යන්නේ සීරුවෙන්, නිවැරදිව, ඉදිරියට ගෙන යන්නේ. අපි සංවර්ධනය කරගෙන යනකොට අනික් අයට වෙන බලපෑම මොකක්ද, රටේ ජනතාව ණය බරට පත්කරන සංවර්ධනයක් ද?, රටේ ජනතාවට ආදායම් උපදවන සංවර්ධණයක් ද කියන නිවැරදි තක්සේරුවකින් තමයි ඒ ගමන යන්නේ. එහෙම නැත්නම් තව පරම්පරා ගණනාවක් ණය වෙන විදිහේ සංවර්ධනයක් නම්, අපේ දූ දරුවන්ට මහත් දුක් වේදනා ගෙන දෙන සංවර්ධනයක් නම් අපේ පරිසරයට මහත් හානි පමුණුවන සංවර්ධණයක් නම්, අපි විසින් ඓතිහාසිකව රැකගත් අපේ බෞද්ධ උරුමයට, සංස්කෘතියට හානි කරවන විදිහේ ක්‍රියාවලියක් නම් වෙනත් සංස්කෘතික වෙනස්කම්වලට හානි කරවන විදිහේ දෙයක් නම් අපි ඒ සංවර්ධනයෙන් ඉවත් විය යුතුයි.

     

    සංවර්ධනය සීරුවෙන් නිවැරදිව ජනතාව වෙතින් ජනතාව වෙතට යන සංවර්ධනයක් විය යුතුයි. ඒ සංවර්ධනයයි අපේ අමාත්‍යාංශය විසින් සුඛිත පුරවර නමින් මේ බස්නාහිර පළාතේ නගර 23ක අපි ක්‍රියාත්මක කරන්නේ. හුඟක් දෙනෙක් අහනවා කෝ වැඩ කියලා. දැන් අපි වැඩ පටන් අරන් තියෙනවා. අතීතය නිවැරදි කරගෙන, අතීතයේ තිබිච්ච දූෂණ ඉවත් කරලා, නිවැරදි මාවතක, නිවැරදි ආයෝජනයක් අපි ඇතිකරලා යන වැඩ පිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා. නිවැරදි සංවර්ධනය ඉදිරියට ගෙනයාමයි අපේ බලාපොරොත්තුව වෙන්නේ.

     

    ඒ වගේම මේ යහපාලනයෙන් මිනිස්සු බලාපොරොත්තු උනේ සල්ලියි, රැකියායි පමණක් නෙමෙයි. මිනිස්සුන්ට අවශ්‍ය කරලා තිබුණා සතුට. මිනිස්සුන්ට අවශ්‍යකරලා තිබුණා බිය සැකෙන් තොරව ජීවත්වීමේ අවශ්‍යතාවය. මිනිස්සුන්ට අවශ්‍යකරලා තිබුණා ණය බරෙන් මුදා ගැනීමේ  අවශ්‍යතාවය. මිනිස්සුන්ට අවශ්‍යකරලා තිබුණා බවභෝග තියාගෙන ලබාගැනීමේ අවශ්‍යතාවය. මිනිස්සුන්ට අවශ්‍යකරලා තිබුණා තවත් කෙනෙක්ගේ බලහත්කාරයට යටත් නොවී නිදහසේ සිතන්නට තිබෙන ඒ සතුට. මිනිස්සුන්ට අවශ්‍යකරලා තිබුණා එක පවුලක එක පිරිසකට පමණක් නෙමෙයි, හැමෝටම අවස්ථා ලැබෙන සමාජයක්් ගොඩනගා ගැනීමේ සතුට භුක්ති විඳින්න. ඒ නිසා මේ යහපාලනය යටතේ ඒ සෑම කෙනාගේම සතුට වර්ධනය කරන්න අපි පියවර තබලා තිබෙනවා.

     

    මම දැක්කා ඊයේ මමත් හොඳින් හඳුනන, ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයේ මහ ඇමති චෞහාන් මැතිතුමා පසුගිය වසරේ එතුමා විශාල බෞද්ධ හින්දු සාමූහික උළෙලක් එහේ පැවැත්වූවා. ඒ උළෙලට ශ‍්‍රී ලංකාවෙන් මමත් සහභාගී උනා. එතුමා විශේෂ ප‍්‍රකාශයක් කරලා තිබුණා මොකද අපේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ඒ උපන් ගම. ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශය. ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා අපේ ස්වාමීන් වහන්සේලා, අපේ බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේ විශ්ව විද්‍යාලයක් ඇති කරලා තියෙනවා සංකස්සේ. එතකොට ඒ මධ්‍ය ප‍්‍රදේශයේ මහ ඇමතිතුමා කියලා තියෙනවා, එතුමා අලූත් අමාත්‍යාංශයක් දානවා එතුමාගේ යටතේම ඒකේ අරමුණ තමයි මධ්‍ය ප‍්‍රදේශයේ දුප්පත් ජනතාව දුප්පත් උනත් සතුටින් ඉන්නවද නැද්ද කියලා හොයලා බලන්න. ඒ සඳහාම වෙච්ච ගමන් මගක් එතුමා ගන්නවයි කියලා තියෙනවා. මේක තමයි ලෝකේ වැදගත්ම. මේ මෑතකදී භූතානයේ අගමැතිතුමා ඇමතුවා එක්සත් ජාතීන්ගේ සංවිධානය මුළු ලෝකෙම අවධානය ඒකට යොමු වූනා. මොකද භූතානයේ මිනිස්සු තමයි සතුටින්ම ජීවත් වෙන්නේ. හත් ලක්‍ෂයයි ඉන්නේ ජනතාව. පරිසරය ආරක්‍ෂා කරගෙන, සංස්කෘතිය ආරක්‍ෂා කරගෙන බෞද්ධ සම්ප‍්‍රදාය ආරක්‍ෂා කරගෙන සතුටින්ම ඉන්න මිනිස්සු ටිකක් එහේ ඉන්නවා. ඒක පුද්ගල ආදායම අඩු ඇති, සල්ලි අඩු ඇති, ඞීල් කාරයෝ අඩු ඇති. නමුත් ඒ නගරයට ගියහාම තිම්පු නගරයට ලෝකයේ ට‍්‍රැෆික් ලයිට් නැති එකම අග නගරය තිම්පු අග නගරය. කිසිම නගරයකට ට‍්‍රැෆික් ලයිට් එකක් නැහැ. කිසිම කලබලයක් නැහැ ඒ රටේ. ඉතින් ඒ රට අද ආදර්ශමත්ම රටක් හැටියට ලෝකයේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ සතුටයි අපට අවශ්‍ය ඒ සතුට එදා බුදු රජාණන් වහන්සේත් කිව්වා අනේපිඬු සිටාණන්ට භව බෝග තිබීමේ සතුට, හෙට ආහාර වේලක් තියෙනවාද කියන සතුට, ණය බරෙන් තොරව ජීවත්වීමේ සතුට ආදී වශයෙන් සතුටු වර්ග හතරක් දේශනා කළා. ඒ සතුටයි අපට අවශ්‍ය. ඒ සතුට මේ යහපාලනය යටතේ උපරිම බුක්ති විඳින්න. ඒ අතරේ ඔබට රැකියා ඔබේ අතමිට සරු කරන යුගයක් ඇති කරන්න අපි ඇප කැපවෙන බවත් ප‍්‍රකාශ කරන්න  ඕනේ.

     

    ඒ වගේම ඊයේ ලෝකයේ ප‍්‍රධානම, ප‍්‍රසිද්ධම, ප‍්‍රධාන මට්ටමේ ප‍්‍රවෘත්තියක් බවට පත්වුණේ, පැනමාවේ සොයාගෙන තිබෙනවා, ලොක්යේ ධනවතුන් සල්ලි හංගන තැන. ඒ සල්ලි හංගන තොටුපලේ තියෙනවා ආසන්නයෙන් ලෝකයේ වර්ෂයකට ලෝකයේ මේ බිලියන හතක් ජනතාව නිෂ්පාදනය කරන ඒවායෙන් 1/3 ක් මේ පිරිස ඒ ස්ථානවල හංගලා තියෙනවා. මේකට රාජ්‍ය නායකයෝ 12 දෙනෙකුත් සම්බන්ධයි. එතකොට ඩොලර් ට්‍රි‍රලියන 31 ක් මේ විදිහට හංගල තිබෙන බව අද එලිවෙලා තියෙනවා. මේක ඉතාම බරපතල තත්වයක්. මේ හැම කෙනෙක්ම හිතාගන්න  ඕනේ, විශේෂයෙන්ම දේශපාලනයේ ඉන්න අය, අපිට බලය නැතිවෙච්ච දවසටත් අපේ ඇමතිතුමා කිව්ව වගේ නිදහසේ පාරෙ යන නිදහසේ නිදාගන්න හිතේ සතුට තියෙන්න  ඕනේ. සමහරු බලය ලැබුණාම හිතන්නේ තමන්ට  ඕනේ විදිහට කටයුතු කරන්න පුළුවන්. තමන්ට  ඕනේ විදිහට නීති වෙනස් කරන්න පුළුවන්. තමන්ට  ඕනේ විදිහට මුදල් හම්බ කරන්න පුළුවන්. තමන්ට  ඕනේ විදිහට ඒ මුදල් ලෝකයේ තැන් තැන් වල හංගල තියන්න පුළුවන්. ඉතින් සමහර අපරාධ හම්බවෙන්නේ නැහැ. සමහර ඒකාධිපතියන්ගේ සල්ලි හංගපුවා සදහටම ඒවා හෙළිදරව් වෙන්නේ නැහැ. හැබැයි ඒ ගොල්ලන්ගේ හදවත දන්නවා ඒ ගොල්ලන්ගේ පවුල්වල අය දන්නවා ඒ් වටේ හිටපු ඒ ගජමිතුරු පිරිස දන්නවා මොකද්ද මේ රටට කලේ කියලා. ඉතින් ඒ නිසා මේ රටට අද අවශ්‍ය මේ විදිහේ ගසා කෑම්වලින් තොර වෘත්තීය දේශපාලනයක්. ඒ වෘත්තීය දේශපාලනය මේ රටට ලැබුණා නම් මේ රට ඉදිරි පිම්මක් පනිනවා කියන එක වලක්වන්න කාටවත්ම බැහැ. මොකද ඓතිහාසික වශයෙන්, භූගෝලීය වශයෙන් අති විශිෂ්ට රටක් හැටියට අපේ රටට මේ අවස්ථාව ලැබිලා තියෙනවා.

     

    ඒ නිසා තමන් ගසා කන්නේ නැහැ කියන එක. තමන් ජාතික ධනය සොරා කන්නේ නැහැ කියන එක දේශපාලකයෝ ඒක ජනතාවට දැනෙනවා නම් ඊට වැඩිය සතුටක් අපේ ජනතාවට තවත් නැහැ කියන එක කියන්න  ඕනේ. ඒ නිසා අපි මේ අපේ අමාත්‍යාංශ මගින් අපි ආදර්ශය මේ රටට ලබාදෙනවා, ගසා කෑමෙන්, දූෂණයෙන් වංචාවෙන් තොරව ගමනක් යන්නේ කියන එක. මේ ගමන යනකොට ඉතින් කට්ටිය කුලප්පු වෙනවා. එදා ජනතාව හූරාකාපු වෘකයෝ, ඒ වෘක්කයන්ගේ දඩයම් වලින් තැන තැන කාපු සිඟාලයෝ, හැම කෙනෙක්ම කුලප්පු වෙනවා. කැනහිල්ලූ මේ ඔක්කොම කුලප්පු වෙනවා. කුලප්පු වෙලා ඉතින් පුලූවන්ද කියලා බලනවා මේක විනාශ කරන්න. සමහරුන්ට තමන්ගේ ජනමාධ්‍ය කියන ඒවා පවත්වාගෙන ඒවයින්  බලනවා මේ චරිත ඝාතනය කරන්න පුළුවන්ද කියලා බලනවා. ඉස්සර තිබුණේ කුලියට මිනී මරණ එක. කුලී ඝාතනය. දැන් කුලියට චරිත ඝාතනයක් කරනවා. හැබැයි ඒවා මගින් මේ ජනතාවගේ ගමන නතර කරන්න බැහැ. තමන් කොල්ල කන්නේ නැහැ කියලා. තමන්ගේ ජාතික ධනය හොරකම් කරන්නේ නැහැ කියලා ජනතාවට ලැබෙන විශ්වාසය ඒක තමයි ජනතාවට ලැබෙන පරම සතුට ආරක්‍ෂා කරන්න මේ යහපාලනය කටයුතු කරනවා, මේ යහපාලන ආණ්ඩුව කටයුතු කරනවා, ඒ වගේම අපේ ආණ්ඩුව උනත් වැරදි මාර්ගයේ යනවා නම් ඒක පෙන්නලා දෙන්න පෞද්ගලිකව, විනයානුකූලව අපි බැඳිලා ඉන්නවා, කටයුතු කරනවා කියන එක ප‍්‍රකාශ කරමින්  මේ බණ්ඩාරගම නගරය අනාගත වෘත්තීය නගරයක් ලෙස, ඒ රයිගම් රාජධානියේ ප්‍රෞඩත්වය රැකගෙන ඒ වීදාගම හිමියන්ගේ උරුමය ආරක්‍ෂා කරගෙන ඉදිරියට යන ප‍්‍රබල වෘත්තීය නගරයක් බවට බස්නාහිර පළාතේ අපි සැවොම එක්වෙලා පත්කරමු කියලා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා යැයි පැවසීය.


    අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ බණ්ඩාරගම නගර සංවර්ධන වැඩසටහනේ ආරම්භයට සමගාමීව පැවැති උත්සවය අමතමිනි. මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya