අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ව්‍යවස්ථාවකට හෝ සංශෝධනයකට ජනමතයක් තිබුණා

    අප්‍රේල් 06, 2016

    රටේ ඇති බහුතර ජනතාවක් තුළ වර්තමානයට ගැලපෙන අනාගත පරපුරට සෙත සැලසෙන නව ව්‍යවස්ථාවන් හෝ සංශෝධිත ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ගැන විශාල ජනමතයක් තිබුණු බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතු ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ආරම්භ කරමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.

    එමෙන්ම විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම,  මනාප ක්‍රමය වෙනුවට තම ප්‍රදේශය නියෝජනය වන මහජන නියෝජිතයින් පත් කිරීම ආදී වැදගත් බලාපොරොත්තු මේ තුළින් ඉටු කිරීමට හැකි බවත් සුදුසු ව්‍යවස්ථාවන් තීරණය කළ යුත්තේ මහජනතාව නියෝජිතයන් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    මේ ගැන සමාජය තුළින් විවිධ අදහස් යෝජනා ඉදිරිපත්  වූ අතර එම වෙනුවෙන්ම අග්‍රාමාත්‍යතුමා විසින් පත් කරන ලද ජාතික කමිටුව රටේ සෑම ප්‍රදේශයේම සංචාරය කරමින් ආගමික නායකත්වයේ, විද්වතුන් ඇතුළු සිවිල් සමාජයේ අදහස්  විමසීම සිදු වන බවත් එම වාර්තාවත් ඉදිරියේදී ලබා ගත හැකි බව ද කතානායකවරයා සඳහන් කළේය.

    මහජන පැතුම් ඉටු කිරීමට මහජන නියෝජිතයන් වන ඔබ සැමගේම සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමි. මා මේ  අවස්ථාවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සංක්ෂිප්තව පහදා දෙමින් කතානායකවරයා මෙසේ සඳහන් කළේය.

    “අපගේ රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව සලකා බලා ජනතාවගේ අදහස් හා උපදෙස් ලබාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් පාර්ලිමේන්තුව විසින් සලකා බලනු පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සැකසීමේ කාර්ය සඳහා සමස්ත පාර්ලිමේන්තුවම සමන්විත වන පරිදි සැදි පූර්ණ කාරක සභාවක බලතල ඇති හා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය” යනුවෙන් හඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාවක් වශයෙන් අපි කටයුතු කිරීමට සූදානම් වෙමු. ඉදිරිපත් වන සෑම අදහසක්ම වාර්තා ගත වන අතර සෑම ලිපි ලේඛනයක්ම සභා ගත කිරීමට කටයුතු කරනු ලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ වැඩ කටයුතු මාධ්‍යයට විවෘතය. රෑපවාහිනී මගින් සජීවිව ජනතාවට දැක ගැනීමටද හැකි වන බව සඳහන් කරමි. මේ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සාමාජිකයන් වන අපට ඉතා පාරදෘශ්‍යභාවයකින් මෙම කාර්යය සිදු කිරීමට හැකියාව තිබෙන බව පැහැදිලිය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වශයෙන් පාර්ලිමේන්තුවේදී මෙම ක්‍රියාවලිය සිදුවන අතරතුර සියලු දේශපාලන පක්ෂවලින් නම් කළ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් මහජන අදහස් විමසීමේ කමිටුවක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට මහජන අදහස් විමසීමේ තවත් ක්‍රියාවලියක් සිදුවන බවද ඔබ සැමගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. තවද, මාගේ සභාපතිත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ  රැස්වීම් පැවැත්වීමට නියමිත අතර, මුලසුන හෙබවීමේ කටයුතුවලට  සහායවීම  පිණිස නියෝජ්‍ය සභාපතිවරයන් හත් (7) දෙනෙකු තෝරාපත් කර ගැනීම දැන් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සිදු කළ යුතු ය.

    ඉන්පසුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතු හා අපගේ රටට උචිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කාර්යය සඳහා වගකිව යුතු සාමාජිකයන් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් යුත් මෙහෙයුම් කමිටුවක් ද, එලෙස තෝරාපත් කර ගන්නා මෙහෙයුම් කමිටුවේ විසිඑක් දෙනා අතරින් ඊට සුදුසු සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් කළ යුතු ය. ඉනික්බිතිව, සාමාජිකයන් එකොළොස් (11) දෙනෙකුගෙන් සමන්විත සෙසු අනු කමිටුද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කරනු ලැබිය යුතු අතර එකී එක් එක් අනු කමිටුවේ සභාපතිවරයා මෙහෙයුම් කමිටුව විසින් පත්කරනු ලැබිය යුතු ය. එබැවින්, මෙමආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ නියෝ‍ජ්‍ය සභාපතිවරුන්, ‍මෙහෙයුම් කමිටුව සහ අනු කමිටු පත් කර ගැනීමේ ක්‍රියාවලියට අපි දැන් සහභාගි වෙමු.“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya