අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාපීඨලට නවක සිසුන් බඳවා ගැනීම මේ මාසයේදීම

    අප්‍රේල් 05, 2016

    සියලුම විද්‍යාපීඨවලට බඳවා ගැනීමට සුදුසුකම් ලැබූ  අයදුම්කරුවන්ට පීඨාධිපතිවරුන් විසින් අද  (05) දින සිට අදාළ කැඳවීම් ලිපි යැවීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව  ලබන 20 දින සිට සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර මැයි මාසය මුල් සතිය ඇතුළත අදාළ පාඨමාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

    2013 වර්ෂයේ අ.පො.ස. (උසස්පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් අතරින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක් සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය අප්‍රේල් මස 01 වන සිකුරාදා දින සියලුම පීඨාධිපතිවරුන්ට ලබාදීමට විද්‍යාපීඨ කොමසාරිස්වරයා කටයුතු කර තිබේ.


    නව පත්වීම්ලාභී ගුරුවරුන්ගේ සේවා පහසුවත් පීඩනයකින් තොරව සිය රාජකාරි කටයුතු සිදු කරගෙන යාම සඳහාත්, දුෂ්කර ප්‍රදේශවල ගුරු අවශ්‍යතා සම්පූර්ණ කිරීමත් අරමුණු කරගනිමින් මෙවර විද්‍යාපීඨ සඳහා සිසුන් තෝරාගැනීමට කටයුතු කර තිබේ.

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඇති ගුරු පුරප්පාඩු හා අවශ්‍යතා අනුව අදාළ බඳවා ගැනීම් සිදුකිරීම සඳහා ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය මත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඇති පුරප්පාඩු හා ගුරු අවශ්‍යතා පිළිබඳ තොරතුරු එක් රැස් කර ඇත.

    ඒ අනුව ඉදිරියේදී ප්‍රමාදයකින් තොරව බඳවාගැනීම් කටයුතු සිදුකිරීමට හැකි අතර 2014 වර්ෂයේ දී අ.පො.ස. (උසස්පෙළ) විභාගය සඳහා පෙනී සිටි සිසුන් බඳවාගැනීම සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය 2016 ජූනි මස නිකුත් කරන අතර එකී ගුරු සිසුන් සැප්තැම්බර් මාසයේදී බඳවා ගැනීමට සැලසුම් කර ඇත.
    එසේම 2016 දෙසැම්බර් මස වන විට 2015 වර්ෂයේ දී අ.පො.ස. (උසස්පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා බඳවාගන්නා ගුරු සිසුන් ප්‍රමාණය වැඩිකිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව 2012 අ.පො.ස. (උසස් පෙළ) වර්ෂය වෙනුවෙන් බඳවාගත් 3,500 ක පමණ ගුරු සිසුන් ප්‍රමාණය වෙනුවට 2013 අ.පො.ස. (උසස් පෙළ)වර්ෂය වෙනුවෙන් ගුරු සිසුන් 4,700 ක් බඳවා ගැනීමට නියමිතය. එසේම ඉදිරි වසර දෙක තුන තුළ දී  එක් අධ්‍යයන වසරක් වෙනුවෙන් බඳවාගන්නා ගුරු සිසුන් ප්‍රමාණය 6,200 දක්වා වැඩිකිරීමට අවශ්‍ය සැලසුම් සකස්වෙමින් පවතී.

    එසේම හදුනාගත් කථිකාචාර්ය තනතුරු පුරප්පාඩු 1,190 ක් සම්පූර්ණ කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති අතර එකී බඳවාගැනීම් කටයුතු ඉදිරියේදී  සිදුකරන අතර අවශ්‍යතා අනුව නව කථිකාචාර්යවරුන් බඳවාගැනීමට ද නියමිතය.

    එසේම මෙම වර්ෂය තුළ දී සියලුම කථිකාචාර්යවරුන්ගේ වෘත්තිකභාවය සංවර්ධනය කිරීම සඳහා මෙරට සහ විදේශීය ආයතනවල පුහුණුවීම් හා උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීමට ද යෝජිත ය.  

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට බඳවාගන්නා ගුරු සිසුන්ගේ හා කථිකාචාර්යවරුන්ගේ අවශ්‍යතාවයන් සඳහා ප්‍රමාණවත් පරිදි භෞතික පහසුකම් සංවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත. ඒ අනුව නේවාසිකාගාර, හෝජනාගාර, දේශන ශාලා, කථිකාචාර්ය නිල නිවාස සහ අනෙකුත් ගොඩනැගිලි නවීකරණය කිරීම්, අළුත්වැඩියාකිරීම් සහ  නව ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 750 ක ප්‍රතිපාදන වාර්ෂික අයවැය ලේඛනයෙන් වෙන් කර ඇත. ඒ අනුව සියලුම විද්‍යාපීඨවල ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

     
    මීට අමතරව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සෘජු උපදෙස් මත අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හා උසස් වෘත්තිකභාවයකින් යුක්ත ගුරුවරුන් පිරිසක් බිහිකිරීමේ අරමුණින් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හා ගෝලීය වෙනස්කම් සලකා බලමින් ජාතික අධ්‍යාපන අරමුණු කරා ළගාවිය හැකි පරිදි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වල ක්‍රියාත්මක වන සියලුම පාඨමාලා නවීකරණය කිරීම හා නව විෂයයන් හදුන්වාදීමට ජාතික අධ්‍යාපන ආයතනය හරහා කටයුතු සිදු වෙමින් පවතින අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya