අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර අවසානයට පෙර වන්දි ලබා දෙනවා - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය

    මාර්තු 28, 2016
    1978 වර්ෂයේ පැවති වැඩ වර්ජනයෙන් රැකියා අහිමි වූ  තුල්හිරිය  හා පූගොඩ පෙහෙකම්හල් සේවකයන් සියළු දෙනාට මේ වසර අවසානයට පෙර වන්දි ලබා දීමට පියවර ගන්නා බවත් අසාධාරණයට ලක්ව මියගිය සේවකයන්ගේ  යැපෙන්නන්ටත්  එම වන්දි මුදල් ලබා දීමට තීරණය කල බවත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.
    ඒ මහතා මෙම අදහස් පළ කලේ කම්කරු අමාත්‍යංශයේ දී  පැවති තුල්හිරිය සහ පුගොඩ පෙහෙකම්හල් සේවකයන්ට වන්දි ලබා දීමේ වැඩපිළිවෙල යටතේ තෝරාගත් සේවකයන් 100 දෙනෙකු සඳහා වන්දි ප්‍රදානය කිරීමේ උත්සවයේදීය.
     
    1978 වර්ෂයේදී  විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමග තුල්හිරිය සහ පූගොඩ පෙහෙකර්මාන්ත ශාලා පෞද්ගලීකරණය කිරීමට එවකට පැවති රජය ක්‍රියා කර ඇත. එම තත්වය හමුවේ සේවකයන්ගේ අතිකාල දීමනා සම්බන්ධව මතු වී ඇති ගැටළු සම්බන්ධව පාලන අධිකාරීයට තම විරෝධය පළ කිරීමට සේවකයන් කටයුතු කර ඇත. එයට ප්‍රතිචාර ලෙස මෙම කර්මාන්තශාලා පාලන අධිකාරිය විසින් එහි සේවකයන් සේවයෙන් පහ කිරීමට කටයුතු කර ඇත.කිසිදු පරීක්ෂණයකින් හෝ වන්දියකින් තොරව අසාධාරණ ලෙස ඉවත්කල තමන්ට  සාධාරණය ඉෂ්ට කරන ලෙස මෙම සේවකයන් වසර ගණනාවක් තිස්සේ රජයට මැසිවිලි නගමින් සිටී. ඔවුන්ගේ මේ බලපෑම්  මත 2014 වර්ෂයේ මැයි මාසයේ කැබිනට් මණ්ඩලය මගින් මෙසේ අසාධාරණ ලෙස ඉවත් කල සේවකයන්ට වන්දි ලබා දීමට තීරණය කරන ලදී. 
     
    ඒ අනුව 2,396 දෙනෙකුට සිදුවු අසාධාරණය පිළිගෙන කරුණා සහගත දීමනාවක් ලෙස එක් අයෙකුට රුපියල් 25,000ක මුදලක් ලබා දීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කම්කරු අමාත්‍යංශයට වාර්ෂිකව ලබා දෙන ලදී. ඒ අනුව 2015 වර්ෂයේ මෙම  සේවකයන් අතුරෙන් 1,200 දෙනෙකුට වන්දි ලබා දීමට කම්කරු අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ සදහා වැයකර ඇති මුදල ලක්ෂ 300කි. ඉතිරි සියළුම සේවකයන්ටත් ,මියගිය සේවකයන්ගේ යැපෙන්නන්ට 2016 වර්ෂය අවසන් වීමට ප්‍රථම ඔවුනට හිමි මෙම වන්දි  මුදල ලබා දීමට අමාත්‍යංශය සැලසුම් කර ඇත. 
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,"අපි දන්නවා අසාධාරණ ලෙස සේවකයන් රැකියාවලින් දොට්ට දැම්මහම ඔවුන් පත්වෙන මානසික තත්වය කොහොමද කියලා. ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටෙනවා. පවුල් පිටින් අසරණ වෙනවා.80 ජූලි වර්ජකයින්ට සිදු වු අසාධාරණය සහ ඔවුන් කාලාන්තරයක් විඳපු දුක අපි දැක්කා.සමහරු සිය දිවි නසා ගත්තා.දරු පවුල් අනාථ වුණා.හරිම සෝචනීය තත්වයක්.සෑම වෘත්තියකටම රැකියාවකටම ගරුත්වයක් වගේම අයිතිවාසිකම් රැසක් තියෙනවා. ඒ පිළිබඳ අවබෝධයෙන් කටයතු කලා නම් මෙවැනි සිද්ධි ඇති වෙන්නේ නෑ.ඉතිහාසයේ කළු පැල්ලම් වු මෙවැනි සිද්ධි නැවත ඇති නොවීමටත් අසාධාරණයට ලක්වුවන්ට සහන සැලසීමත් රජයේ යුතුකමක් වගේම වගකීමක්.අද මේ දෙන වන්දි මුදල ප්‍රමාණවත් නෑ.නමුත් රජය මේ ආසාධාරණය පිළිගනිමින් ඒ සඳහා ගත් පියවර අපි සියළු දෙනා අගය කල යුතුයි."සෙනෙවිරත්න මහතා පැවසීය.
     
    මෙම අවස්ථාවට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍යංශ ලේකම් සුනිල් අබේවර්ධන මහතා කම්කරු අධ්‍යක්ෂ ජනරාල් චාන්දනී අමරතුංග මහත්මිය ඇතුළු අමාත්‍යංශ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya