අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ජල හිඟයට විසඳුම් ලබාදීමට විශේෂ සාකච්ඡාවක්

    මාර්තු 27, 2016

    අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මාතර නගරය ආශ්‍රිත ප්‍රදේශ වලට පානීය ජලය ද විශාල ගැටළුවක් බවට පත්වෙමින් පවතින බැවින් කඩිනමින් ඒ සඳහා විසඳුම් ලබා දීමට විශේෂ සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වා ඇත.

     

    මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

     

    ජනතාවගේ පරිභෝජනය සඳහා අවශ්‍ය සම්පූර්ණ ජලය ප්‍රමාණය ම පිරිපහදු කර නිදහස් කිරීමට මේ වන විට හැකියාවක් නොමැති බව සාකච්ඡාවේ දී දී අනාවරණය වී තිබේ.

     

    නිල්වලා ගඟේ ජල මට්ටම පහළ යාමත් සමඟ මුහුදු ජලය ගඟේ ඉහළට ගමන් කිරීම නිසා දිනකට ජලය ගණ මීටර් හයදාහක් පිරිපහදු කර මාතරට ජලය සපයන නාදුගල  ජල පොම්පාගාරය මේ වන විට ක්‍රියා විරහිත කර තිබෙන බවත් දැනට ක්‍රියාත්මක වන්නේ දිනකට ජලය ගණ මීටර් හතලිස් පන්දාහක් පිරිපහදු කරන කද්දුව ජල පොම්පාගාරය පමනක් බවත් අනාවරනය විය. එය මාතර සම්පූර්ණ ජල සැපයුම් සම්බන්ධතා හැත්ත දෙදහස සඳහා ම ජලය සැපයීමට ප්‍රමාණවත් නොවන බවට ද සාකච්ඡ විය.


    මේ දිනවල ජල සැපයුම දිනකට කිහිප වතාවක් පමණක් සීමා සහිතව සිදු කෙරෙන  බැවින් වැලිගම, මාතර, දෙවිනුවර හා දික්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නළ මාර්ග අන්තයේ සිටින පිරිස් වලට හා කඳුකර ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට ජලය නොලැබේ. ඔවුන්ට බවුසර් රථ මගින් ජලය බෙදාහැරීම සිදු කෙරේ. ඒ සඳහා  දැනට බවුසර් රථ දහතුනක් සේවයේ යොදවා තිබේ.

    නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශ වෙත කරදිය ගලා ඒම වැළැක්වීම සඳහා බණ්ඩත්තර  ප්‍රදේශයේ දී ගඟ හරහා වැලි කොට්ට අතුරා කරදිය බාධකයක් ඉදිකරීම ද මේ වන විට සිදු කෙරෙමින් පවතී.

     

    එහි වැඩ නිම කිරීමට තවත් දින කිහිපයක් ගතවිය හැකි බැවින් ඒ සඳහා යුදහමුදාවේ සහාය ලබා ගැනීමට ද තීරණය විය.තවදුරටත් වර්ෂාපතනය නොලැබී වියළි කාලගුණ තත්ත්වය දිගටම පැවතියහොත් දැඩි පානීය ජල අර්බුදයකට පත්විය හැකි බැවින් ලබාගත හැකි සෑම ස්ථානයකින් ම බවුසර් රථ ලබාගෙන එමගින් ජනතාව සඳහා
    සෞඛ්‍යාරක්ෂිත ජලය සැපයීමට ක්‍රියා කළ යුතු බව මාතර දිස්ත්‍රික් ලේකම්වරිය අවධාරණය කළේ ය.

     

    දැනට ජනතාවට බෙදාහරින ජලයේ ගුණාත්මක භාවය සැළකීමේ දී යම් තරමක ලවණ මිශ්‍රවීමක් මිස වෙනත් ගැටළුවක් නොමැති බව ද ජලයේ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය වගකීම බාරගන්නා බව ද මෙහි දී ප්‍රකාශ විය.

     

    පවතින ජල අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය කටයුතු වලට හැර වෙනත් කටයුතු සඳහා ජලය භාවිතා නොකර අරපිරිමැස්මෙන් ජල පරිභෝජනය සිදු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේ ය.

     

    මේ අවස්ථාවට මාතර ප්‍රාදේශීය ලේකම් කුසලක නානායක්කාර මහතා, මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් යූ.ඒ.ඒ.පී. උබේසිරිවර්ධන මහතා, ජලසම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ජයන්ත පතිරණ මහතා, ප්‍රාදේශීය කළමනාකරු එස්.කේ. සමන්ත කුමාර මහතා හා ප්‍රධාන රසඥ ඊ.ඒ. එදිරිසිංහ මහතා,මාතර මහා නගර සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya