අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන පරමාධිපත්‍යය බලවත්, ඔවුන් තෝරන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය නිළධාරීන්ගේ වගකීමයි

    මාර්තු 16, 2016

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහජන පරමාධිපත්‍යය බලවත් බවත් ඔවුන් තෝරන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය නිළධාරීන්ගේ වගකීම වන අතර එය ක්‍රියාත්මක කිරීමට නොහැකි පිරිස් රාජ්‍ය සේවයට නොගැළපෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රුපියල් ලක්ෂ 285ක වියදමින් ඉදිකරන ලද බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සව සභාවට පසුගියදා එක් වෙමිනි.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා,

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අමාත්‍යාංශ ලේකම්වරු පත් කරන්නේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටයි.අපට අවශ්‍ය මේ පිරිස රටට හොඳ නායකත්වයක් දෙන පිරිසක් බවට පත් කිරීමටයි.මේ සඳහා දේශපාලනය පටලවා ගන්න එපා. මහජන පරමාධිපත්‍යය තමයි බලවත්. ජනාධිපතිල අගමැතිල කැබිනට් මණ්ඩලය බලවත් නැහැ.

     

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය මහජනතාව මත පිහිටුවා ඇති බව සඳහන් වනවා. මහජනතාවට අවශ්‍ය නම් අපිව පත් කරන්න පුළුවන්. ගෙදර යවන්නත් පුළුවන්.

     

    2015 ජනවාරි 08 ජනතාව ඒ බව පෙන්නුම් කළා. ගෙදර යවන්න බෑ කියපු අය මහජනතාව ගෙදර යැවුවා.ප්‍රතිපත්ති තෝරන්නේ මහජනතාවයි. ඔවුන් තෝරන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස අපෙන් ඉල්ලා සිටිනවා. අලුතින් ආණ්ඩුවක් පත්වූ පසු කිසියම් හෝ නිළධාරියෙක් පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව කියනවා නම් එය වැරදියි.එය ක්‍රියාත්මක කිරීමට නොහැකි අය රාජ්‍ය සේවයට ගැලපෙන්නේ නැහැ. දැන් පොහොර ගැන විවිධ කථාබහ, උද්ඝෝෂණ කරනවා එය හොඳ නැති නම් මහජනතාව තීන්දුවක් ගනීවි. ඒ වන තුරු වැඩකිරීම තමයි රජ්‍ය නිළධාරියාගේ ප්‍රධාන වගකීම.

     

    දැන් ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට සැරසෙන විට විශාල කලබලයක් ඇති කරනවාග කලබල කර ගත යුතු නැහැ. අපි ලෝකය සමඟ ගනුදෙනු කළ යුතුයි. ලෝකය සමඟ ඉදිරි ආර්ථික පිම්ම පනින්න අවශ්‍යයි. ඒ සඳහා බය වෙන්න අවශ්‍යය නැහැ. ලෝකය සමඟ තරඟ කරපු රටවල් නැගිට, තියෙනවා.

    ඒ ආර්ථික පිම්ම පනින විටදී රාජ්‍ය නිළධාරීන් ඉතා වැදගත් ඒ නිසා ඔබ සිහි බුද්ධියෙන් වැඩ කළ යුතුයි. ඔබ සිහි බුද්ධියෙන් වැඩ නොකළොත් අප රට කිසිදා ගොඩගත නොහැකියි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.  

     

    මේ අවස්ථාව සඳහා වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, දකුණු පළාත් මන්ත්‍රීවරුන් වන සංජීව් කරුණාතිලක, සුනිල් සේනානායක, ජයසිරි නානායක්කාර, බද්දේගම එජාප සංවිධායක ආනන්ද පද්මසිරි කාරියවසම්, බද්දේගම ප්‍රාදේශීය ලේකම් ඩී. කේ. එස්. ජයලක්ෂ්මි,ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීහුඇතුළු රාජ්‍ය නිළධාරීහු රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya