අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්ථදස්සි මහානායක හිමියෝ මෑත කාලයේ අද්විතීය සංඝ පීතෘවරයෙක්

    මාර්තු 12, 2016

    මෑත කාලයේ සංඝ ශාසනික වංශ කතාවේ අද්විතීය සංඝ පීතෘවරයෙකු ලෙස ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අති පූජ්‍ය ගලගම අත්ථදස්සි මහානායක ස්වාමීන් වහන්සේ කටයුතු කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

    මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර සංඝ සාමග්‍රිය ඇති කිරීම සඳහා සියලුම නිකායික  මහානායක මාහිමිපාණන් වහන්සේලා සමඟ උන්වහන්සේ ඉතා සුහදව ක්‍රියා කළ බව ද කතානායකවරයා පෙන්වා දෙයි.

    කතානායකතුමාගේ සම්පූර්ණ ශෝක පණිවුඩය පහත සඳහන් පරිදි වේ.


    “ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අති පූජනීය මහානායක පදවිය හෙබවූ ත්‍රිපිටක වාගිශ්වරාචාර්ය පණ්ඩිත මහෝපාධ්‍යාය අතිගරු ගලගම අත්ථදස්සි මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම  පිළිබඳ සැලවීමෙන් මා අතිශය සංවේගයට පත් වීමි.

    අපවත් වී වදාළ අතිගරු මහා නායක මා හිමිපාණන් වහන්සේ අස්ගිරි මහා සංඝ සභාවේ කාරක සභාවට පත් වන්නටත් පෙර සිටම මා ඉතාමත් සමීපව ඇසුරු කරමින් නිරතුරුව උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලදිමි. පුරා දශක තුනකට අධික කාලයක් සිට හැකි සෑම විටම උන්වහන්සේ බැහැදකිමින් සාකච්ඡා කිරීමත්, එතුලින් ලැබූ අනුශාසනාත් මගේ ජීවිතයට මෙන්ම ආගමික සමාජීය කටයුතුවලටද බෙහෙවින්ම ඉවහල් වූ බව සඳහන් කරන්නේ හද පිරි ගෞරවයෙනි.

    රටේ ඇති වූ ජාතික ආගමික ප්‍රශ්නවලදී උන්වහන්සේ පෙරට එමින් අප සමග කටයුතු කළහ. අවශ්‍ය නායකත්වය සැපයූහ. අනුශාසනා කළහ. මෑතකදී මා උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී ශාසනයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කළ යුතු දේ පිළිබඳව විධග්ධභාවයෙන් හා පාණ්ඩිත්‍යයෙන් යුතුව උන්වහන්සේ දීර්ඝ ලෙස කරුණු පෙන්වා දුන්හ. විශේෂයෙන්ම තරුණ භික්ෂූන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට පිරිවෙන් අධ්‍යාපනයේ ඇති විය යුතු වෙනස්කම් පිළිබඳව මෙහිදී උන්වහන්සේගේ දැඩි අවධානය යොමු වූහ. බුද්ධශාසනයේ ප්‍රගමනය වෙනුවෙන් කළ යුතු පනත් හා සංශෝධන පිළිබඳව උන්වහන්සේ පළකළ අදහස් හා උපදෙස් මේ මොහොතේදී ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.

    අප මහානාහිමි පාණන්වහන්සේ ප්‍රතිපත්තිගරුක උත්තම යතිවරයාණන් වහන්සේ නමක් විය. ශ්‍රමණ ආකල්ප සහ ගුණ ධර්ම රැකදීම සඳහා දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළ උන්වහන්සේ සිය ජීවන චරිතයෙන්ම ඒ සඳහා පූර්වාදර්ශ සැපයූහ.  සසුනේ උන්නතිය වෙනුවෙන් දශක නවයකට අධික සිය පූජනීය පින්බර ජීවිතය කැප කළ සංඝ ශාසනය ඔපවත් කළ සංඝ ශෝභන ගුණයෙන් පරිපූර්ණ වූ අප මාහිමිපාණන් වහන්සේ  නිහතමානීත්වය, පරිත්‍යාගශීලීත්වය වැනි මානුෂික ගුණ දම්වලින් පිරිපුන්ය.

    සංඝ සාමග්‍රිය ඇති කිරීම සඳහා සියලුම නිකායික  මහානායක මාහිමිපාණන් වහන්සේලා සමඟ උන්වහන්සේ ඉතා සුහදව ක්‍රියා කළහ. මෑත කාලයේ සංඝ ශාසනික වංශ කතාවේ අද්විතීය සංඝ පීතෘවරයෙකු වූ  ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අති පූජනීය මහානායක පදවිය හෙබවූ ත්‍රිපිටක වාගිශ්වරාචාර්ය පණ්ඩිත මහෝපාධ්‍යාය අතිගරු ගලගම අත්ථදස්සි මහානායක මාහිමිපාණන් වහන්සේට අමා මහ නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේද, මාගේද බලවත් සංවේගය සනිටුහන් කරමි.

    කරු ජයසූරිය
    කතානායක
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya