නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පන්සල ගොඩනැගිලිවලින් පිරි ස්ථානයකට වඩා ආධ්‍යාත්මික මිනිසෙක් ගොඩනගන ස්ථානයක් විය යුතුයි - අමාත්‍ය පාඨලී චම්පික රණවක

    පෙබරවාරි 17, 2016

    තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍ර පසෙකලා ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් සියලුදෙනා එක් විය යුතු කාලය එළඹී තිබෙනවා. ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට අපි සූදානම් යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ, පසුගියදා හෝමාගම ඉඹුල්කන්ද ශ‍්‍රී සම්බුද්ධි විහාරස්ථානය පූජා භූමියක් බවට පත්කොට, විහාරස්ථානයේ ඉඩම නිදහස් දීමනා පත‍්‍රයක් මඟින් විහාරස්ථානය වෙත සඟසතු කොට පූජා කිරීමේ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

     

    රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේ‍්‍රමසිරි මාහිිමියන්ගේ මූලිකත්වයෙන් පැවති මෙම උත්සවයේදී අදාල සන්නස් පත‍්‍රය විහාරාධිපති පූජ්‍යපාද නාගොඩ අමරවංශ හිමියන් වෙත ප‍්‍රදානය කිරීම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් සිදු කෙරුණි.

     

    කොළඹ දිස්ත‍්‍රික්කයේ හෝමාගම, ඉඹුල්කන්ද ප‍්‍රදේශයේ රමණීය භූමි භාගයක පිහිටා ඇති ඉඹුල්කන්ද ශ‍්‍රී සම්බුද්ධි විහාරස්ථානය 1999 වර්ෂයේදී ආරම්භ කරන ලදි. දීර්ඝ ඉතිහාසයකට උරුම කම් නොකීවාට ශාසනයේ මතු උරුමය උදෙසා මෙවැනි රමණීය පරිසරයක් තුළ ගොඩනැගෙන මෙම විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අවශ්‍ය භූමි ප‍්‍රමාණයන් ලබාදීමට කටයුතු කර ඇත.

     

    අපේ මේ විහාරස්ථානයට අවශ්‍යම වෙලා තිබිච්ච, මේ පූජා ඔප්පුව අතිගරු ජනාධිපතිතුමාගේ අත්සනින් යුතුව අපේ ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න ලැබීම ගැන මම ඉතාමත් සතුටට පත්වෙනවා. මේ සඳහා ඉතාමත්ම අප‍්‍රහිත ධෛර්යයෙන් කි‍්‍රයා කළේ, අපේ අනුරවංශ ස්වාමිපාදයන් වහන්සේ සහ මේ විහාරස්ථානය රැක ගැනීමට කටයුතු කළ අපගේ තරුණ පිරිස. අපි දන්නවා පසුගිය වසර දෙක තුනක කාලය තුළ මොවුන් මොන තරම් කැපවීමෙන් මොනතරම් මහන්සියෙන් මේ කටයුත්ත කලා ද කියලා.

     

    විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න  ඕනේ අපේ මේ රාජ්‍ය නිලධාරීන්ට, ප‍්‍රාදේශීය ලේකම් තුමා, ප‍්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය, ග‍්‍රාමසේවක නිලධාරී මහත්වරු ඇතුළු සියළු දෙනාට මේ ලිපි ලේඛන කටයුතු කිරීමට මැදිහත්වීම පිළිබඳව. ඒ වගේම මෙරට ව්‍යවස්ථාවට අනුව රටේ ඉඩම් ඔප්පුව  ලබාදෙන්නේ ජනාධිපතිතුමයි. ඒ සඳහා අපට අභාවප‍්‍රාප්ත වුණු ඉඩම් අමාත්‍ය එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන මැතිතුමා  තමන්ගේ අනුමැතිය ලබා දුන්නා. එයත් සිහිපත් කළ යුතුයි.

     

    ඒ වගේම මේ ස්ථානය පෞද්ගලිකව පරීක්‍ෂා කර බලලා සියළු තොරතුරු ජනාධිපති කාර්යාලයට වාර්තා කරලා, ජනාධිපතිතුමාගේ ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම්තුමා, ජනාධිපති ලේකම්තුමා ඇතුළු පිරිස අපට විශාල සහයෝගයක් දුන්නා මේ කටයුත්ත කරගෙන යන්න. දැන් මේ දායක ඇත්තන්ටත්, අනෙකුත් ඇත්තන්ටත් නිදහසේ මේ විහාරස්ථානය දියුණු කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

     

    මම දැක්කා අද අපේ ගාලූ මුවදොර පිටියට විශාල තරුණ තරුණියක් පිරිසක් එකතුවී ඉන්නවා. මම අපේ ආරක්‍ෂක නිලධාරීන්ගෙන් ඇහැව්වා මොකක්ද බොලේ මේ වැඬේ කියලා. ඒපාර කිව්වා සර් අද වැලන්ටයින් දිනේනේ ඒකයි මේ ළමයි ඉන්නේ කියලා. එතකොට තමයි මටත් ඒක මතක් උනේ. අති විශාල පිරිසක් ගාලූ මුවදොර පිටියේ රැස්වෙලා. අද පෙම්වතුන්ගේ දිනය කියලා බටහිර සම්ප‍්‍රදායේ ඉන්නවා. අපි දන්නවා ඉන්දියාවේ අග‍්‍රා නගරයේ තාජ් මහල් මන්දිරය ඉදිකරලා තිබෙනවා. එදා මෝගල් අධිරාජ්‍යයෝ ඉදිකල තාජ් මහල. ගොඩනගලා තියෙන්නේ පෞද්ගලික ආදරය වෙනුවෙන්. පෞද්ගලික පේ‍්‍රමය වෙනුවෙන්. රජතුමා බිසවුන් වහන්සේට දක්වපු පේ‍්‍රමය වෙනුවෙන්. ඒක අද මහත් වූ ආඩම්බරයකට ඉන්දියාව තමන්ගේ තියෙන ප‍්‍රධාන වාස්තු නිර්මාණය හැටියට පෙන්වනවා. අපි බෞද්ධයෝ ඊට වඩා බොහෝම පුළුල් දැනුමකින් සපිරි පිරිසක්.

     

    අපේ රජවරු මහා චෛත්‍ය රාජයාණන් වහන්සේලා ඉදි කළේ, මෙවැනි මහා විහාරස්ථාන ඉදි කළේ පෞද්ගලික පේ‍්‍රමයක් ආදරයක් මුළු කරගෙන නෙමෙයි. ලෝකයටම මහා කරුණාව පෑමේ ගුණයක් හැටියටයි. රුවන්වැලි මහා සෑය ඇතුළු අටමස්ථානය ඉදිවුණේ, ඒ වගේම මෙවැනි විහාරස්ථාන දහස් ගණනක් බිහි වූනේ  එවැනි මහා කරුණාව මුල් කරගෙනයි. මේ විහාරස්ථානය ගොඩනගන්නට අනුරවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ තරුණ පිරිස වෙහෙස වෙන්නෙත් කාගෙවත් පෞද්ගලික දේපල තර කර ගැනීමේ උවමණාවකින්වත්, පෞද්ගලික අරමුණක් හැටියටවත් නොවේ. තමන්ගේ පෞද්ගලික අශාවන් පසෙකලා මේ මහා කරුණාව මුල් කරගෙන අපේ ශාසන චිරස්ථිතිය සඳහායි. එනිසා අපේ සෑම සහයෝගයක්ම මෙයට ලබාදෙන බව අපි ප‍්‍රකාශ කරන්න  ඕනේ.

     

     

    ශාසන පිංකම් නම් අපි එමට කරනවා. නමුත් ඒවයින් බොහොමයකින් කුසල් ලැබෙන්නේ නැහැ. අපේ සිහල වත්තූපකරණී කියලා කෘතියක් තිබෙනවා. ඒකේ තියෙන්නේ අපේ සිංහල බණ කතා. පන්සිය පණස් ජාතකයට අමතරව සිංහල බණ කතා. ඒ සිංහල බණ කතාවේ එන ඉතාම වැදගත් බණ කතාවක් මෙහිදී කියන්න  ඕනේ. ඒක තමයි සද්ධාතිස්ස රජතුමා, එතුමා ගැන තමයි වැඩිහරියක් ඒ පොතේ තියෙන්නේ. දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා. එතුමා රාජ්‍යත්වයට පත්වූනාම ඉතා විශාල වශයෙන් දං පින් කළා. ඉතින් මහා පරිමාණයෙන් භාණ්ඩාගාරයේ මුදල් යොදවාගෙන මේ දන් පිං කිරීම කළා. අටමස්ථානය විශේෂයෙන්ම ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ අභියස,  ඒ වගේම රුවන්වැලි මහා සෑයේ, මිරිස වැටිය මහා දන් පිං ප‍්‍රමාණයක් එතුමා නිරන්තරයෙන්ම කරගෙන ගියා. ඉතින් මහා සංඝයා වහන්සේත් සිය දහස් ගණනින් එතුමාගේ දන් පිං පිළි ගන්නට පැමිණියා.  මහා උත්සවා කාරයෙන් තෙල් මල්, පහන් පූජා කරමින් ඒ මහා පිංකම් කරගෙන ගියේ. ඉතින් රජතුමා කල්පනා කළා ගම්වල පොඩි ඈයොත් තමන්ගේ ස්වඋත්සාහයෙන් දන් දෙන්නේ බොහොම මහන්සියෙන්. ඉතින් මමත් එහෙම පිංකමක් කරන්න  ඕනේ කියලා කල්පනා කළා. ඒ අනුව බිසවුන් වහන්සේත් එක්ක වෙස් වලාගෙන ගමට ගිහිල්ලා ගමේ මාස ගණනක් කුඹුරුවල වැඩ කළා. ගොයම් කැපුවා ගොයම් මැඩුවා ඒ හැම අවස්ථාවකම මේ රජතුමා කියලා දන්නෙ නැති පිරිස් එතුමාට නොයෙක් ආකාරයෙන් මුදලින් උපකාර කළා. මේවා උකහාගෙන එතුමා රජ මාළිගයට ඇවිත් මේ උපයා ගත් ධනයෙන් දානයක් දුන්නා. ඉතින් බොහෝ කලකට පස්සේ රජතුමා දානයක් දෙන්නේ. ඉතින් සියළුම වැදගත් භික්ෂූන් වහන්සේලා දානයට වැඩම කළා. වැඩම කළාම රජතුමා කලූපාට වෙලා, බිසවුන් වහන්සේත් කලූපාටවෙලා. බොහොම වෙහෙස කර පාටයි. බොහොම අමුතුයි. ඉතින් ස්වාමීන් වහන්සේලා දන් වළඳන්න කලින් සතුටු සාමිචියේ ඉන්න ගමන් ඇහුව්වා රජතුමනි ඇයි මේ බිසවුන් වහන්සේත් බොහෝම කේඬෑරි වෙලා. ඔබතුමාත් කළුවෙලා බොහොම අපහසුතාවයෙන් ඉන්නවා වගේ. අසනීපයක්වත් හිටියට අපි දන් පිළිගත්තේ නැහැ මාස කිහිපයකින් කියලා. එතකොට රජතුමා කියනවා, ස්වාමීන් වහන්ස මේ රාජ භාණ්ඩාගාරයේ අනුන්ගේ සල්ලිවලින් දන් පිං දීලා රජා විදිහට ඉන්නේ නැතිව මම කල්පනා කලා මගේ හයියෙන්ම දානයක් දෙන්න  ඕනේ කියලා.

     

    ඒ අනුව මම මගේ ස්ව උත්සාහයෙන් මම උපයාගත්ත ධනයෙන්, මහන්සිවෙලා කුඹුරු කපලා ජනතාවට වැඩ කරලා දීලා සොයා ගත් ධනයෙන් මමත් බිසවුන් වහන්සේත් මේක කලේ. භික්ෂූන් වහන්සේලාත් ටිකක් පුදුම වූනා. රජතුමා තමන්ගේ දෑත්වල කරගැට පෙන්නුවා මේ භික්ෂූන් වහන්සේට. ඒ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේගේ නායක ස්වාමිපාදයන් වහන්සේ අනුශාසනා කලා අපට දැන් මේ දන් වලඳන්න අයිතියක් නැහැ. රජතුමා බොහෝම වෙහස මහන්සිවෙලා තනියෙන් තමන්ගේ දෑතේ කරගැටවලින් මේක කරලා තියෙන්නේ. අපි දැන්ම භාවනා කරලා අපි සියළු දෙනාම විදසුන් වඩලා රහත් වෙලා මිසක් මේ දානේ වළඳන්න හොඳ නැහැ කියලා. අපෙනුත් තියෙනවා යුතුමක් ඉටුවෙන්න රජතුමාට කියලා. ඒ අනුව අප සියලූ දෙනාම එක්ව භාවනානුයෝගීව මේ කටයුත්ත කරන්න  ඕනේ කියලා ඒ ජාතක පොතේ හැටියට සිහලවස්තූපකරණයේ හැටියට එතැනට රැුස් වෙච්ච 500 ක් ස්වාමීන් වහන්සේලා රහතුන් බවට පත්වෙලා තමයි සද්ධාතිස්ස රජතුමාගේ  දානය පිළිගත්තේ. එතකොට මේකෙන් ලැබෙන ආදර්ශය මොකක්ද? මේකෙන් අපට හොඳ ආදර්ශයක් ලැබෙනවා.  මොකක්ද අපේ ස්වෝත්සාහයෙන් ධාර්මිකව උපයාගත් ධනයෙන් කෙරෙන පුංචි දේ වේවා ඒක වටිනවා මහා පරිමාණ රාජ්‍ය උත්සවවලට වඩා. ඒ වගේම බෞද්ධ භික්ෂූන් වහන්සෙත් නිකම් දායකයගෙන් දං පින් ලබනවාට වඩා උන් වහන්සේගේ යුතුකමත් ඉටු කරන්න එනම් මේ සංසාරෙන් එතෙර වීම සඳහා දායකයා ලබාදෙන මේ ශක්තිය පාවිච්චි කරලා කි‍්‍රයා කරන්නැයි උන් වහන්සේ සිටින්නේත් කියන එක එතෙන්දි පෙනී ගියා.

     

    ඉතින් මම හිතනවා මේ පුංචි විහාරස්ථානය ඉතාම සුන්දර පරිසරයක පිහිටලා තියෙන්නේ. එන මාවත ටිකක් දුෂ්කර තත්වයක තාමත් තිබෙන්නේ. ඒ වගේම තාමත් අපේ ස්වාමීන් වහන්සේලාට වැඩ ඉන්න ස්ථාන ඉදිවෙලා නැති උනත් ඉදිරි කාලයේදී මෙය ශක්තිමත්ව ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින්  ගොඩනැගිලිවලට වඩා අපට අවශ්‍ය කරන්නේ අපේ හාමුදුරුවේ දේශනා කළ පරිද්දෙන් හිත හදන තැනක් බවට මේ ස්ථානය පරිවර්ථනය කර ගැනීමයි. ඒ වගේම මේ බස්නාහිර  මහා නගර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන ඇමතිවරයා හැටියට  මම කියන්න  ඕනේ මේ හෝමාගම ප‍්‍රාදේශය ඊළග අවුරුදු දහයේ මේ රටේ ඉරණම තීන්දු කරන ප‍්‍රදේශයක් හැටියට පරිවර්තනය වෙනවා.

     

    අපි ඉතාමත්ම බලගතු ආර්ථික කි‍්‍රයාවලියක් අපි දියත් කරලා තිබෙනවා නව උත්පාදනය. ඒ නව උත්පාදනය සඳහා ගොඩනැගෙන විද්‍යාඥ්යින්ගේ නගරය ගොඩනැගෙන්නේ හෝමාගමයි.  ඒ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් අපි ඉදිරි අවුරුදු පහ හය ඇතුළත හෝමාගම ගොඩනගනවා. ඒක නිසා මේක විශිෂ්ඨ නගරයක්, බුද්ධිමතුන්ගේ වැදගතුන්ගේ නගරයක්, සිංහල බෞද්ධයින්ගේ අග නගරයක් බවට පත් කරන්න අපි සියළු දෙනාම අධිෂ්ඨාන කර ගන්න  ඕනේ. මොකද අද කොළඹ නගරය ජනගහනය පැත්තෙනුත්, සමාජීය පැත්තෙනුත්  ගොඩාක් දුරට ඇද වැටිලා තියෙනවා. 1992 ත් කොළඹ නගරයේ ජනගහනය හයලක්‍ෂ පනස්දාහයි. අදත් කොළඹ නගරයේ ජනගහනය හයලක්‍ෂ පනස්දාහයි. මේ අවුරුදු 20 ඇතුළේ ජනතාව එළියට ගියා ජනතාව ඇතුළට ආවා කොළඹ ජනගහනය වෙනස් වෙලා නැහැ. නමුත් අද මේ ජනගහනය වේගයෙන්ම වර්ධනය වෙන ප‍්‍රදේශ තමයි අපේ මේ හෝමාගම කඩුවෙල වගේ ප‍්‍රදේශ. ඒ නිසා වැදගත් පිරිස මෙහේ පදිංචි වෙනවා, දැනඋගත් පිරිස මෙහේ පදිංචි වෙනවා. සම්ප‍්‍රදායක උරුමයක් සහිත ප‍්‍රදේශයක්. ඒ උරුමයත් රැකගෙන මේක ප‍්‍රධාන නගරයක් බවට අපි පරිවර්තනය කරගත යුතුයි.  ඒ සඳහා පක්ෂ භේදයෙන් තොරව මේ ප‍්‍රදේශය දියුණු කර ගන්නට අපි සියළු දෙනාම උත්සාහවන්ත විය යුතුයි. මේ විහාරස්ථානය කියන්නේ එතනදි අර කනබොන නිදන මිනිහ වෙනුවට ශාස්ත‍්‍රීය මිනිහෙක්, සංස්කෘතික මිනිහෙක්, ඒ වගේම ආධ්‍යාත්මික මිනිහෙක් ගොඩනගන තැනක්. ඉතින් කනබොන ගමන් ඒ අධ්‍යාත්මික සංවර්ධනයත් ඉදිරියට කරගෙන යමු. ඒ සඳහා අද මේ තරුණ කැල දායක වූවා සේම මේ ගම්මානය මේ විහාරස්ථානය මුළු හෝමාගමට ආලෝකය දෙන මහා පහන් ටැඹක් වේවා කියා ප‍්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ඔබ හැමට තෙරුවන් සරණයි.

     

    මෙම අවස්ථාවට ඉඹුල්කන්ද ශ‍්‍රී සම්බුද්ධි විහාරස්ථානයේ විහාරාධිකාරී යහමුල්ලේ අනුරවංශ හිමි, බස්නාහිර පළාත් භා අමාත්‍ය ගාමිණී තිලකසිරි ඇතුළු පාලාත් සභා, පළාත් පාලන නියෝජිතයන් සහ සතර පේරුවේ දායක දායිකාවන් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya