අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිවේගි මාර්ගවල බස් ධාවනය විධිමත් කිරීමට පියවර

    පෙබරවාරි 14, 2016

    අධිවේගී මාර්ගවල බස් රථ ධාවනය තවදුරටත් විධිමත් කර බවත් බලපත්‍ර ලබා දීම, ඊ ටිකට්පත, ඒකාබද්ධ කාලසටහන් සම්බන්ධයෙන් නව නීති සකස් කරන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    අධිවේගී මාර්ගවල ධාවනයට අදාළව පෞද්ගලික බස් රථ සඳහා බලපත්‍ර ලබාදීම  විනිවිධභාවයෙන් යුතුව සිදු කළ යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය රජය සමයේ දේශපාලන හිතවත්කම් මත දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි. ඉදිරියේ දී එවැනි දේශපාලන හිතවත්කම් මත බලපත්‍ර ලබා දීම වෙනුවට ටෙන්ඩර් කැඳවා, විනිවිධභාවයෙන් යුතුව එය සිදු කළ යුතු බව අමාත්‍යවරයා කියා සිටි.

     
    ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

    මගී ප්‍රවාහන ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා මෙවර අයවැයෙන් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදනවලට අදාළ සැලසුම් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවත්විණි.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික අංශයට අයත් බස් රථ ඒකාබද්ධ කාල සටහනකට ධාවනය කරවීම සම්බන්ධයෙන් නිවැරැදි සැලැස්මක් අනුගමනය කිරීමටත්, එහි දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මුහුණ දෙන ගැටලු පිළිබඳවත් මෙහි දී  සාකච්ඡාවට ලක් විය.

    මේ අතර ඉලෙක්ට්‍රොනික ගෙවීම් පත ලබන මාර්තු මාසයේ සිට තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳ අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට විශේෂ යෝජනාවක් ගෙන ඒමට ද තීරණය විය.

    අන්තර් පළාත් බස් රථ සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ දී අදාළ නගරය ආශ්‍රිත කිලෝමීටර් 10ක දුර ප්‍රමාණය ඇතුළත සිටින අයදුම්කරුවන් සඳහා ඉදිරියේ දී ප්‍රමුඛතාව ලබා දීමට ද නියමිත ය.

    පෞද්ගලික බස් රථ ඒකාධිකාරය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ප්‍රවාහන බලධාරීහු මෙම සාකච්ඡාවේ දී පෙන්වා දුන්හ. විශේෂයෙන් යාපනය, මහරගම සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ඒකාධිකාරය ඉතා තදබල ලෙස පවතින බව ද එම නිලධාරීහු කියා සිටියහ. එම තත්ත්වය මුළුමනින් ම පාලනය කිරීම ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට ද තීරණය විය.


    මේ වන විට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 9,000 ධාවනය වන අතර ධාවනයට එක් කර ඇති පෞද්ගලික බස් රථ සංඛ්‍යාව 21,000ක් පමණ වෙයි.

    මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, ආර්ථික කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර යන මහත්වරු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya