අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සමෘද්ධිය හා සෞභාග්‍ය ඇතිකර ගැනීමට සියලුදෙනා එක්සිත්ව එක්සත්ව කටයුතු කිරීමට අදිටන් කරගත යුතුයි

    පෙබරවාරි 04, 2016

    ජාති,ආගම්,දේශපාලන, පක්ෂ භේද පසෙක තබා ජාතික අපේක්ෂාවන් ඉටුකර ගැනීම ප්‍රමුඛස්ථානයේ තබා රටේ සමෘද්ධිය හා සෞභාග්‍ය ඇතිකර ගැනීමට සියලුදෙනා එක්සිත්ව එක්සත්ව කටයුතු කිරීමට අදිටන් කරගත යුතු බව අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනයක මාහිමිපාණන් වහන්සේගේ 68 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිති.


    ශ්‍රී ලංකාවේ 68 වන නිදහස් දිනය වෙනුවෙන් මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයේ අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ පණිවුඩය

     

    වර්ෂ 1815 මාර්තු 02වනදා සිට ඉංග්‍රීසි ආදිපත්‍යයට නතුව පරාධීනව සිටි ශ්‍රී ලංකාවට නිදහස දිනා ගැනීම සඳහා වීර මොණරවිල කැප්පෙටිපොල නිළමෙතුමා, වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමි,ගොන්ගාලේගොඩ බණ්ඩා, වීරපුරන් අප්පු, මිගෙට්ටුවත්තේ ගුණානන්දහිමි,බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර, අනගාරික ධර්මපාලතුමා, එෆ්.ආර්. සේනානායක, සර්. ඩී.බී.ජයතිලක, ඩී.එස්.සේනානායක, සර් පොන්නම්බලම් රාමනදන් සහ ටීබී ඡයා වැනි ජාතික වීරවරයන් හා රටේ සියලු ජනතාව ජාති ආගම් ආදී භේද අමතක කර නිදහස දිනා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් එක්සත්ව ක්‍රියා කළහ.

     

    එහෙත් වැඩි කලක් නොගොස් ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් නිදහස,ජතික,ආගමික,දේශපාලනික භේදභින්නතා ඇතිකරගැනීම නිසා රට අභ්‍යන්තරයේ සාමය සමදානය නැති වී ආර්ථික සංවර්ධනය ඇණහිට අවසානයේ විදේශීය අතපෙවීම්වලට මඟ හෙළිවිය.

     

    මෙබඳු පරිසරයක් තුළ  ජාතික,දේශපාලනික, ආර්ථික, සාමාජික,අසාචාර, සංස්කෘතික අභිමානය හා සංවර්ධනයත්,සහජීවනය හා සංහිදියාවත් ,සිතුම් පතුම්, භාෂා ශාස්ත්‍ර හා තක්ෂණික අභිවර්ධනයත් ඇති කර ගැනීමට පැවති ඉඩකඩ ඇහිරිනි.මෙම තත්ත්වය නිසා ජාතික ආරක්ෂාවට මෙන්ම  ආර්ථික සංවර්ධනයට ද එල්ල වී ඇති අභියෝග ජයගෙන නිදහසේ සැබෑ අරුත සාක්ෂාත් කරගැනීමට නම් පක්ෂ විපක්ෂ සියලු දෙනා සමඟියෙන් සමාදානයෙන් එක්සත්ව ක්‍රියාකළ යුතුව ඇත.

     

    නව රජය පත්වීමත් සමඟ ජාතිය නව මාවතකට යොමුකරවීමේ අභිලාෂයෙන් ජාතික, ආගමික, සාමාජික සංහිදියාව සමඟ ආර්ථික සංවර්ධනය ඇති කිරීමෙහිලා ඉවහල් වන සංවර්ධන ක්‍රියාදාමයක්සඳහා මූලික පියවර අනුගමනය කරමින් සිටිනු දක්නට ලැබීම සතුටට කරුණකි.

     

    සියලු ජාතීන්ගේ සහය දිනා ගැනීමට ලබී ඇති මෙම ස්වර්ණමය අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ජාති,ආගම්,දේශපාලන, පක්ෂ භේද පසෙක තබා ජාතික අපේක්ෂාවන් ඉටුකර ගැනීම ප්‍රමුඛස්ථානයේ තබා රටේ සමෘද්ධිය හා සෞභාග්‍ය ඇතිකර ගැනීමට සියලුදෙනා එක්සිත්ව එක්සත්ව කටයුතු කිරීමට අදිටන් කරගත යුතු බව කරුණාධ්‍යශයෙන් දන්වා සිටිම්හ.

     

    තෙරුවන් සරණයි!
    ඒ වගත් මෙසේම

    මහනුවර උපෝෂිත,පුෂ්පාරාම විහාරාධිපති,
    අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මනානයක මාහිමිපාණන් වහන්සේ
    මහවිහරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ,මල්වතු මහාවිහාර පාර්ශවයේ මනානයක ස්ථවිර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya