මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වැඩිකිරීමේ තින්දු තීරණ ගන්න පසුබට වන්නේ නැහැ- අධ්‍යාපන අමාත්‍ය

    ජනවාරි 26, 2016

    දේශපාලනඥයෙකු වශයෙන් පවතින සම්ප්‍රදාය බිඳ වැදගත් තීන්දු තීරණ ගැනීම අවදානම්සහගත වුවත්, ජනප්‍රිය තීන්දු තීරණ වෙනුවට රටේ අධ්‍යාපන පද්ධතිය තුළ කළ යුතු සහ විය යුතු ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමේ අභියෝගය තමා භාරගත් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

     

    අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසූයේ, ද්විතීය පාසල් 1000ක් සංවර්ධනය කිරීම යටතේ උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ කළ පාසල් 140ක් සඳහා රුපියල් මිලියන දෙක බැගින් වූ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ වැඩසටහනට එක්වෙමිනි.


    අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (25) පැවති මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ පළාත් නවයම (9)නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් රැසක විදුහල්පතිවරුන් එක්ව සිටියේ ය.

     

    අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම වෙනුවෙන් විදුහල්පතිවරුන්ට විශාල කාර්යභාරයක් පැවරෙන බව මෙහිදී අවධාරණය කළ අමාත්‍යවරයා, ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන, ප්‍රමුඛතාවන් හඳුනාගනිමින් අවශ්‍ය පහසුකම් පාසල් පද්ධතිය තුළ සිදුකිරීම වගකීමෙන් ඉටු කරන ලෙස ඉල්ලා සිටියේ ය.

     

    පරිපාලන කටයුතුවල දී චක්‍රලේඛ උල්ලංඝණය නොකොට, විධිමත්ව කටයුතු කිරීමේ පහසුව හා වැදගත්කම ද මෙහි දී අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, විගණන විමර්ශනවල දී විවිධ ගැටළු ඇතිවුවහොත් තමාට හෝ අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙකුට කිසිවෙකු වෙනුවෙන් පෙනී සිටිය නොහැකි බව ද සිහිපත් කළේ ය.

     

    කිසිවෙකුටත් විශේෂත්වයක් නොදක්වා තීන්දු තීරණ ක්‍රියාත්මක කරන බව පැවසූ අමාත්‍යවරයා, තමාට විශේෂ වන්නේ අධ්‍යාපන පද්ධතිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන අය පමණක් බව ද අවධාරණය කළේ ය.



    ඉතිහාසයේ අන් කවරදාකවත් නැති තරම් විදුහල්පති සහ ගුරුවරුන් පිරිසකට දේශීය හා විදේශීය පුහුණු අවස්ථා ලබාදෙන්නට රජයට හැකි වූ බවත්, නිරන්තර ගුරු පුහුණු අවස්ථා සැලසිය හැකි ගුරු පුහුණු මධ්‍යස්ථානයක් කොළඹ මාදිවෙල ප්‍රදේශයේ ඉදිකිරීමට පියවර ගෙන ඇති බවත්, මීට අමතරව සෑම කලාපයකටම ගුරු පුහුණු මධ්‍යස්ථානයක් බැගින් ලබාදීමට ද කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.

     

    උසස් පෙළ විද්‍යා විෂය ධාරාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව මේ වනවිට ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින අතර, ඊට සමගාමීව පාසල්වල විද්‍යා පහසුකම් නංවාලීමේ අවශ්‍යතාව අමාත්‍යාංශය විසින් හඳුනාගෙන තිබෙනවා. එහි එක් පියවරක් වශයෙන් ද්වීතීය පාසල් වෙත මෙම මූල්‍ය ප්‍රදානයන් සිදු කෙරිණි.

     

    මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් ඩබ්. එම්. බන්දුසේන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya