අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට තුනෙන් දෙකක බලයක් ති‍යෙනවා- අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස

    ජනවාරි 21, 2016

    නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සදහා පවතින රජයට දැනටමත් තුනෙන් දෙකක බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ තිබෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

    අමාත්‍යවරයා පසුගියදා හම්බන්තොට “සුචී” ගම්මානයේ පැවැති විශේෂ ජන හමුවකට සහභාගී වෙමින් මේ බව පැවසී ය.

     

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
    යහපාලන රජය අන්තවාදයට, ජාතිවාදයට, ආගම්වාදයට රාජ්‍ය රැකවරණය ලබා දුන්‍‍නේ නැහැ. දෙන්නෙත් නැහැ. ජාති ආගම්, කුල මල භේදය දුරලා සැමට සමානව ජීවත්විය හැකි රටක් අප ගොඩනඟා තිබෙනවා. සහජීවනය, සහෝදරත්වය, ජාතීන් අතර සංහිදියාව රටතුළ නිර්මාණය වෙමින් පවතිනවා.

     

    දේශපාලන ව්‍යාකූලතාවයක් රටේ ඇති වුවහොත් එයින් රටේ ඉදිරි ගමනට බාධා පැමිණිය හැකියි. අස්ථාවර මව් පොළවක් අපට උරුම වෙවී. එම ව්‍යාකූලතාවය ඇතිකර රට අස්ථාවර කොට හෝ රාජ්‍ය බලය ඩැහැ ගැනීම ‍බො‍හෝ පිරිස්වල අරමුණයි. නමුත් ශක්තිමත් ජනපදනමක් තිබෙන, සියලු ජනකොටස්වල ජනතා ආශීර්වාදවය හිමි, ශක්තිමත් ද්විත්ව නායක්තවයක් හිමි යහපාලන රජයේ ගමන කුමන්ත‍්‍රණකාරී වැඩසටහන් මගින් නවතාලිය නොහැකියි.

     

    පවතින පාලන ක‍්‍රමය පල්ලිවලට පහර දෙන, පන්සල් කඩන, දේවස්ථාන වනසන සංස්කෘතිය වෙනුවට ආගමික සහජීවනය ගොඩනඟන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කළා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජන කොටස්වලට උරුමව පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි අහිමි කරවන්නට කිසිවෙකු හෝ උත්සහා දරනවා නම් එය පාපී ක‍්‍රියාවක්. බලය ඩැහැ ගැනීමේ ගිජු බවට ලොල්ව දිනාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරන්නට අප කිසිවෙකුට හෝ ඉඩ නොදිය යුතුයි. ශ‍්‍රී ලාංකීක ජාතියේ නාමයෙන් එම පවට අත ගසන්න එපා යන පණිවුඩය අප රටට ලබාදෙනවා.

     

    18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත්‍‍‍තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තාන්න මාන්න, වරදාන වරාප‍්‍රසාද ලබාදී ඔවුන්ගේ ඡන්දය කොල්ල කෑ‍මෙනි. අපේ රජය නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට මන්ත‍්‍රීවරුන් දිනාගැනීම සඳහා වරදාන, වරප‍්‍රසාද ලබාදීමේ සංස්කෘතියක් ක්‍රියාත්මක කරන්‍නේ නැහැ. නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සදහා දැනටමත් අපට තුනෙන් දෙකක බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ තිබෙනවා. එමනිසා නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම සදහා වරදාන, වරප‍්‍රසාද, නිලතල ලබාදෙමින් මන්ත‍්‍රීවරුන් බා ගැනීමේ අවශ්‍යතාවයක් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා ප‍්‍රමුඛ යහපාලන රජයට නැහැ.

    බලය හිමි වුණා කියා අත්තනෝමතිකව පාලන තන්ත‍්‍රය දියත් කරමින් ජනතාව අපහසුතාවයට පත්කිරීමට අප කිසි විටක කටයුතු කරන්නේද නැහැ. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුව තුළ මන්ත‍්‍රීවරුන්ගේ තුනෙන් දෙකේ බහුතර කැමැත්ත ලබාගැනීමෙන් අනතුරුව ජනමත විචාරණයක් පවත්වා ජනතාවගේ කැමැත්තද විමසා බැලීමෙන් පසුවයි අප නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කරනු ලබන්නේ ජනවාරි 08 වැනිදායින් පසුව රටේ ජනතාවට උරුම වූ යහපාලනයේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිලාභය එයයි යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya