මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්ෂේත‍්‍ර නිලධාරිනියන්ට ප‍්‍රවාහන පහසුකම් කඩිනමින් ලබාදීමට පියවර

    දෙසැම්බර් 30, 2015

    තවමත් යතුරු පැදි ලබා දී නොමැති ක්ෂේත‍්‍ර නිලධාරිනියන්ට ප‍්‍රවාහන පහසුකම් ලබාදීම සඳහා කඩිනමින් කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ඊයේ (29) පැවති සුවනාරි සෞඛ්‍ය සායන විශිෂ්ටයින් ඇගයීමේ උත්සවයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    මෙහිදී ජාතික මට්ටමේ හොඳම සුවනාරි සේවා පවත්වාගෙන ගිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට ත්‍යාග සම්මාන පිරිනැමීම, ක්ෂේත‍්‍ර කටයුතු වලදී ජාතික මට්ටමේ හොඳම ආවරණයක් ලබාගත් දිස්ත‍්‍රික්ක සඳහා ත්‍යාග සම්මාන පිරිනැමීම හා හොඳම මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව ප‍්‍රචලිත කිරීමට කැප වූ වෛද්‍ය නිලධාරින් ඇගයීමට ලක් කිරීම සිදු විය.

     

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ග‍්‍රාමීය ප‍්‍රදේශවල සෞඛ්‍ය සේවාව නංවාලීම ඉතාම වැදගත් වන බවත් ඒ සඳහා ක්ෂේත‍්‍ර නිලධාරීන්ට සායනවලට මව්වරුන් ගෙන්වා ගැනීමට අපමන උත්සාහයක් දැරීමට සිදුවන බවත් පෙන්වා දුනි. සායනවලට ජනතාවගේ සහභාගීත්වය 80%ක් දක්වා වර්ධනය කරගැනීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් කඩිනමින් ලබාදීම සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

     

    2016 වසරේ දී නිදහස් සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමට අද්වීතීය සේවාවක් ඉටු කළ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නියැළෙන්නන් සඳහා ඔවුන්ගේ සේවාව අගය කරමින් විශිෂ්ටතා සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කිරීමට නියමිතය. උසස්වීම් ලබාදීමේ දී ඔවුන්ට වෙනම ලකුණු ලබාදීමක් ද සිදු වේ. පෞද්ගලික අංශයේ දී මෙන් උසස්වීම් ලබාදීමේ දී කාර්යක්ෂමතාව, කැපවීම වැනි කරුණු කෙරෙහි ද අවධානය යොමු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    එමෙන්ම බෝ නොවන රෝග පාලනය පිළිබඳ ව ද අවධානය යොමු කිරීමේ දී විශේෂයෙන්ම ගැබ්ගෙල හා පියයුරු පිළිකා අප රටින් තුරන් කිරීමට ජනතාවගේ දායකත්වය ද ඉතාම වැදගත් වැදගත් වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා 1987 වසරේ දී මව්වරුන්ගේ ගැබිගෙල පිළිකා පරීක්ෂා කිරීම ආරම්භ කෙරුන බවත්, පසුව පියයුරු පිළිකා හා බෝ නොවන රෝග පිළිබඳව පරික්ෂාව ආරම්භ කෙරුණු බවත් සඳහන් කළේය. මේ වන විට ශ‍්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ඇගයීමට ලක්ව තිබේ.

     

    ශ‍්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ඇගයීමට ලක් වුයේ ක්ෂේත‍්‍ර කාර්ය මණ්ඩලවල කැපවීම නිසා බවත්, ප‍්‍රවාහන පහසුකම් නොලැබුන ද විවිධ දුෂ්කරතා මධ්‍යයේ පයින් ගමන් කරමින් ක්ෂේත‍්‍රයේ වැඩකරන පවුල් සෞඛ්‍ය නිලධාරීන් සෞඛ්‍ය සේවාවට විශාල ගෞරවයක් බවත් ඒ මහතා පැවසීය.

     

    එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වැඩසටහන් නිලධාරීනි අචිනි විඡේසිංහ මහත්මිය විසින් රචිත සුවනාරි සෞඛ්‍ය සේවාව ප‍්‍රචලිත කිරීමේ ක‍්‍රමෝපායන් ඇතුළත් කෘතියක් අමාත්‍යවරයාට පිරිනැමීම ද මෙහිදී සිදුවිය.

     

    මෙම අවස්ථාවට පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා, විශේෂඥ වෛද්‍යවරු ඇතුළු දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya