අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලපු සංවර්ධනයට පියවර ගැනේ

    දෙසැම්බර් 21, 2015
    ශ්‍රී ලංකාවේ පිහිටා ඇති කලපු 116 සංවර්ධනය කිරීම තුළින් ධීවර ප්‍රජාවට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවටත් විශාල වශයෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
    ඔහු මේ බව පැවසුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කලපු කළමනාකරණ ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
     
    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අප රටේ සංචාරක ව්‍යාපාරය ශක්තිමත්වීම ඉදිරි කාල පරිච්ඡේදයේ රටේ බලාපොරොත්තුව බවත්, ඒ සඳහා විශාල සංචාරකයින් ප්‍රමාණයකගේ පැමිණීම බලාපොරොත්තු වන බවත්, සඳහන් කරන අමාත්‍යවරයා කියා සිටියේ, නවීන තාක්ෂණය යොදාගෙන මුහුදේ මසුන් ඇල්ලීම සඳහා විශාල තරඟයක් මේ වන විට රටවල් අතර, මෙන්ම ධීවර ප්‍රජාව අතර ඇති අතර, කලපු වැනි ස්ථානවල මසුන් ඇතිකිරීමෙන් ආදායම් මාර්ග මෙන්ම නව රැකියා උත්පාදනයක්ද සිදුවන බවයි.
     
    බොහෝ පිරිස් කලපුවලට කුණුරොඩු ආදිය එකතු කිරීමට පුරුදු වී සිටින අතර, එය වළක්වා ගැනීමට නම් ප්‍රජාව දැනුවත් කිරීම ඉතා වැදගත් බවත් කලපු ආරක්ෂා කර ගැනීමට ඉදිරියේදී අවශ්‍ය නීති පද්ධතිය සකස් කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.
     
    කලපු කළමනාකරණ ඒකකයේ අරමුණ වන්නේ කලපු කලමනාකරණයේදී අවශ්‍ය වන තාක්ෂණික සම්බන්ධීකරණ නියාමන සහ පහසුකාරක සහායන් දෙපාර්තමේන්තුව තුළින් සහ ඊට බාහිරින් ලබාදීමයි.
     
    මෙම ඒකකය මගින් සෑම කලපුවකටම කලපු කළමනාකරණ කමිටුවක් පිහිටුවීමට නියමිත අතර,එවැනි කමිටු 12 ක් සකස් 
    කර දිස්ත්‍රික් කමිටුවක් සැකසීමටද නියමිතව ඇත. එහි සභාපතිවරයා වන්නේ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වන අතර, සම සභාපති ලෙස දිස්ත්‍රික් ලේකම් පත් කර ඇත. දැනට කලපු 5ක (මීගමුව, හලාවත, මලල-ඇඹිලිකල, කොග්ගල, කෝකිලායී යන කලපු) මෙම කමිටු සකස් කර එම කලපුවල සීමා නිර්ණය කිරීමේ කටයුතු සිදුකර ඇත. ඉදිරි වර්ෂයේදී කලපු 30ක සීමා නිර්ණ කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.
     
    කලපු සංරක්ෂණය කිරීමේ ක්‍රියාකාරී සැලැස්මක් මේ වන විට සකස් කරමින් පවතින අතර, එහි පළමු අදියර ලෙස එම කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමත් ඉදිරියේදී ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සහාය ඇතිව කලපු ආශ්‍රිතව මත්ස්‍යයන් ඇති කිරීමට කටයුතු කිරීමත් සිදුකිරීමට නියමිතව ඇති බවත් ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටිලාල් මහතා සඳහන් කළේය.
     
    මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.එම්.ආර්.අදිකාරී මහත්මිය, ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න හා යූඑන්ඩීපී ආයතනයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Mr.Joren Sorensen යන මහත්වරුන් ද සහභාගී විය.
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya