මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2018.05.16

    මැයි 16, 2018
    2018.05.15 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තිරණ පහත සඳහන්  වේ.
     
    කොළඹ මහනගර සභාව සඳහා ගිනි නි‍වීමේ වාහන/උපකරණ ලබා දීම
     
    ජනගහන වර්ධනය හා භූමි ප්‍රමාණයේ සීමිත භාවය හේතු කොට ගෙන විශාල මහල් ප්‍රමාණයකින් යුත් ගොඩනැඟිලි සංකීර්ණ කොළඹ නගරය හා ආසන්න ප්‍රදේශයන්හි ඉදි වෙමින් පවතියි. මෙම දේපළවල හා ඒවා භාවිත කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් ගිනි නිවීමේ උපකරණ හා වාහන සැපයීමට යෝජනා වී තිබේ. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම වෙනුවෙන් යුරෝ මිලියන 10.5ක පොළී රහිත ණය මුදලක් ලබා දීමට ඕස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුව එකඟ වී තිබේ. එම ණය මුදල ලබාගැනීම සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුමට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් 
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රජරට හා නැගෙනහිර විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට අ‍වශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා අරමුදල් සලසා ගැනීම
     
    ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය, කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ තත්ත්වයක පවතියි. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය මෙම තත්ත්වය කෙරෙහි බෙහෙවින් බලපා ඇති අතර, නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය වඩාත් ගුණාත්මක ලෙස ලබා දීම රජයේ අරමුණ වේ. ඒ යටතේ, රජරට හා නැගෙනහිර විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට අ‍වශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීමට යෝජනා වී තිබේ. ඒ සඳහා අවශ්‍ය පිරිවැය දැරීම සඳහා යුරෝ මිලියන 4.9ක ණය මුදලක් ලබා දීමට ඕස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව, ඊට අදාළ ණය ගිවිසුමට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් 
     අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
     
    මෙරට සෞඛ්‍ය පද්ධතියේ ඇති ඉහළ ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව හේතුකොට ගෙන විවිධ සෞඛ්‍ය දර්ශකයන්හි යහපත් ස්ථානයක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. එසේ වුවද, බෝ නොවන රෝගවලින් සිදු වන මරණ සංඛ්‍යාවෙහි ඉහළ යාමක් මෙන්ම වසංගත රෝග පැතිර යාමේ නව ප්‍රවනතාවන්ද ඇති වී තිබේ. ක්‍රමයෙන් වැඩි වන වියපත් ජනගහනය සඳහා සෞඛ්‍ය පහසුකම් සැලසීමේ අවශ්‍යතාවද මතු වී තිබේ. එබැවින් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය සවිමත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වී ඇත. ඒ අනුව, මෙරට ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 200ක පමණ මුදලක් ලබාදීමට ලෝක බැංකුවට අනුබද්ධ ආයතනයක් වන ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව විසින් එකඟ වී තිබේ. එම ණය මුදල ලබාගැනීම සඳහා එම බැංකුව සමඟ මූල්‍ය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මන්නාරම, මඩු දේවස්ථානය අවට නිවාස 300 ක් ඉදි කිරීම
     
    ශ්‍රී ලංකාවේ පවතින පූජනීය ස්ථාන අතුරින් මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මඩු දේවස්ථානයට සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර, එය දේශීය හා විදේශීය කිතුණු බැතිමතුන්ගේ මෙන්ම අනෙකුත් බැතිමතුන්ගේද ගෞරවයට හා වන්දනාවට පාත්‍ර වී ඇත. වන්දනා සමයන්හිදී මෙහි පවතින නවාතැන් පහසුකම් ප්‍රමාණවත් නොවීම සැලකිල්ලට ගෙන මඩු දේවස්ථානයට පැමිණෙන සංචාරකයින් හා බැතිමතුන්ගේ පරිහරණය සඳහා නිවාස ඒකක 300ක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 300ක මූල්‍ය අනුග්‍රහයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟ වී තිබේ. ඒ අනුව, එම මූල්‍යාධාරය ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය ස්ථාපිත කිරීම
     
    හෙළයේ මහා ගාන්ධර්වයානන් ලෙස හඳුන්වනු ලැබූ නැසී ගිය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ට කෘතගුණ සැලකීමට හා එතුමා විසින් හඳුන්වා දෙන ලද සංගීත ආභාසය අනාගත පරපුර උදෙසා ජාතික උරුමයක් කොට සලකා සුරක්ෂිත කර දීම පිණිස 'අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය' නමින් ආයතනයක් පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවට නව සාමාජිකයන් පත් කිරීම
     
    ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය මුදල් අමාත්‍යාංශය යටතේ 2006 වර්ෂයේදී ස්ථාපිත කරන ලද අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමේ ජාතික ප්‍රතිපත්තිය හඳුන්වා දීමත් සමඟ එය 'මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුව' නමින් නැවත නම් කරන ලදී. තාක්ෂණික දියුණුවත් සමඟ මූල්‍ය අපරාධ දිනෙන් දින සංකීර්ණ වී ඇති අතර, මීට සාර්ථකව මුහුණ දීම සඳහා විවිධ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනර‍ාල්, සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනර‍ාල්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් හා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින්ද ඇතුළත් වන පරිදි 'මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ' සංයුතිය පුළුල් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මහනුවර දිස්ත්‍රික්කයේ සිදු වූ ගැටලුකාරී සිදුවීම් හේතුවෙන් හානි වූ ව්‍යාපාරික දේපළ සඳහා සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය ලබා දීම
     
    2018 මාර්තු මස මුල් සතියේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය මූලික කරගනිමින් ඇති වූ ගැටලුකාරී සිදුවීම් හේතුවෙන් හානියට පත්ව ඇති ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා 'අත්වැල ණය යෝජනා ක්‍රමය' මඟින් අදාළ කොන්දේසි හා නියමයන්ට යටත්ව, 2%ක සහනදායී පොලී අනුපාතයක් යටතේ ණය ලබා දීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2018 03 20 දින අනුමැතිය දෙන ලදී. එහෙත් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දිය හැකි උපරිම ණය මුදල රුපියල් 500,000/-ක් පමණක් වේ. ව්‍යාපාරික ස්ථාන සඳහා සිදු වී ඇති හානි සැලකිල්ලට ගැනීමේදී මෙම උපරිම ණය මුදල ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කය තුළ එලෙස හානි වූ ව්‍යාපාර දේපළ සඳහා 2%ක සහනදායී පොලී අනුපාතය යටතේ අත්වැල ණය යෝජනා ක්‍රමය මඟින් ලබා දෙනු ලබන උපරිම ණය මුදල රුපියල් මිලියනයක් දක්වා වැඩි කිරීම පිණිස රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වතු අංශයේ සෞඛ්‍ය පහසුකම් නඟාසිටුවීම
     
    පවුල් 220,000කට අධික සංඛ්‍යාවක් මෙරට වතුකරයේ පදිංචිව සිටිති. වතුකරයේ ශ්‍රම බලකායෙන් 90%ක්ම කාන්තාවන් වන අතර, එම ප්‍රදේශවල ළමුන්ගේ සහ ගැබිනි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය රටේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව දුර්වල මට්ටමක පවතියි. එබැවින් වතු අංශයේ සෞඛ්‍ය පහසුකම් නඟා සිටුවීමට ප්‍රමුඛතාව ලබා දීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. දැනට වතුකරයේ වතු ඩිස්පෙන්සරි හෙවත් බෙහෙත් ශාලා 450ක් පමණ වතු කළමනාකාරිත්වය යටතේ ක්‍රියාත්මක වන අතර, මෙම බෙහෙත් ශාලා වැඩිදියුණු කිරීම මඟින් වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීමට වැඩපිළිවෙලක් යෙදීමට යෝජනා වී තිබේ. ඒ අනුව, රටේ වෙනත් ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල ජනතාව හා සමානව රජය විසින් සලසනු ලබන සෞඛ්‍ය සේවාවන් පහසුවෙන් ලබාගැනීමට වතුකර ප්‍රදේශවල ජනතාවටද ඉඩ සලසමින් වතු සෞඛ්‍ය පද්ධතිය රජයේ සෞඛ්‍ය පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීමටත්, ඒ යටතේ දැනට වතු කළමනාකාරිත්වය මඟින් ක්‍රියාත්මක වන සියලුම වතු සෞඛ්‍ය ආයතන අදියර වශයෙන් රජයට පවරා ගැනීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    බෝ නොවන රෝග සඳහා හේතු ‍වන අවදානම් සාධක පියවර වශයෙන් හඳුනා ගැනීමේ ජාතික සමීක්ෂණය - 2018
     
    මෙරට බෝ නොවන රෝග ව්‍යාප්තිය තීරණය කිරීම සහ බෝ නොවන රෝග වැළැක්වීම හා පාලනය කිරීම පිණිස සැලසුම් සකස් කිරීමට අවශ්‍ය දත්ත රැස් කිරීම අරමුණු කරගනිමින්, බෝ නොවන රෝග සඳහා හේතු ‍වන අවදානම් සාධක පියවර වශයෙන් හඳුනා ගැනීමේ ජාතික සමීක්ෂණය (STEPS) පවත්වනු ලැබේ. 2003 වර්ෂයේ සිට සෑම අවුරුදු 05කටම වරක් බැගින් මෙම ජාතික සමීක්ෂණය සිදු කෙරෙන අතර, 2018 වර්ෂයේදී එම සමීක්ෂණය නැවත සිදු කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 50ක ඇස්තමේන්තුගත පිරිවැයක් දරමින් STEPS ජාතික සමීක්ෂණය 2018 වර්ෂයේ අගෝස්තු මාසයේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාව සඳහා හදිසි ගුවන් සහ තාක්ෂණික මුදවාගැනීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය
     
    හදිසි අනතුරක් සිදු වූ අවස්ථාවකදී අනතුරට මුහුණ දුන් පුද්ගලයින් අනතුර සිදු වූ ස්ථානයේ සිට ආසන්නතම රෝහල වෙත ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් ගෙන යාම පිණිස කඩිනමින් ප්‍රතිචාර දක්වන හදිසි ගුවන් හා තාක්ෂණික මුදවා ගැනීමේ පද්ධතියක් මෙරට ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. Bijorn Steiger Stiftung නම් ජර්මනියේ ස්ථාපිත ලාභ නොලබන සංවිධානයක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනාව අනුව හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දක්වන හෙලිකොප්ටර් 08ක් සහ තාක්ෂණික මුදවා ගැනීමේ වාහන 25ක් මඟින් අවශ්‍ය සේවාවන් සැපයීමට සැලසුම් කර තිබේ. මේ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 190ක් වන අතර, එම ණය මුදල දීර්ඝකාලීන සහන ණයක් වශයෙන් ලබා දීමට යෝජනා කර තිබේ. යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීම සඳහා ව්‍යාපෘති කමිටුවක් හා සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    නාවික ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව හා කොරියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
     
    නාවික ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා තාක්ෂණික තොරතුරු දෙරට අතර හුවමාරු කරගැනීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය හා කොරියානු ජනරජයේ සාගර හා ධීවර කර්මාන්ත අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    දෘශ්‍යාබාධිත හෝ යම්කිසි දුබලතාවක් හේතුවෙන් මුද්‍රිත මාධ්‍ය පරිශීලනය කළ නොහැකි (print disabled) පුද්ගලයින් වෙනුවෙන් මුද්‍රිත මාධ්‍ය නැවත නිෂ්පාදනය කිරීමට හා බෙදා හැරීමට හැකි වන පරිදි, ප්‍රකාශන හිමිකම් අයිතිය (Copy Right) සම්බන්ධ ව්‍යතිරේක හඳුන්වා දීම සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම
     
    මුද්‍රිත මාධ්‍ය පරිශීලනය කිරීමේ දුබලතාවක් සහිත පුද්ගලයින්ට, ප්‍රකාශයට පත් කළ කෘතීන් පරිශීලනය කිරීමට හැකියාව ලැබෙන පරිදි, ඒවා නැවත නිෂ්පාදනය කිරීමට හා බෙදාහැරීමට අදාළව ප්‍රකාශන හිමිකම් අයිතිය (Copy Right) සම්බන්ධයෙන් පනවා ඇති සීමා කිරීම් ලිහිල් කිරීම පිණිස ව්‍යතිරේක මාලාවක් හඳුන්වා දීම සඳහා ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පරිපාලනය කෙරෙන 'මරකේෂ් ගිවිසුම' (Marrakesh Treaty) මඟින්, සාමාජික රාජ්‍යයන් වෙත මඟපෙන්වනු ලැබ තිබේ. ශ්‍රී ලංකාව විසින් මරකේෂ් ගිවිසුම අපරානුමත කිරීමට පෙර දැනට පවතින ප්‍රකාශන හිමිකම් නීතීන් හා සම්බන්ධයෙන් වූ ව්‍යතිරේක මාලාවක් ඇතුළත් කරමින් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට 2016 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, සකස් කරනු ලැබ ඇති 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    හොරණ 'සොරණවත්ත' ඉඩම මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීම
     
    වැලිකඩ බන්ධනාගාර හා ඊට අදාළ ආයතන ප්‍රතිස්ථාපනය කිරීම සඳහා හොරණ ප්‍රදේශයේ පිහිටි 'සොරණවත්ත' නම් ඉඩම යොදා ගැනීමට සැලසුම් කර තිබුණද, ප්‍රදේශයේ ජනතාවගේ හා දේශපාලන නායකයින්ගේ ඉල්ලීම හමුවේ එම කටයුතු අත්හිටුවනු ලැබ තිබේ. ඒ අනුව, වැලිකඩ බන්ධනාගාරය ප්‍රතිස්ථාපනය සඳහා වෙනත් සුදුසු ඉඩමක් හඳුනාගැනීමට කටයුතු කෙරෙමින් පවතියි. එබැවින්, හොරණ 'සොරණවත්ත' ඉඩම මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් හා ඒ ආශ්‍රිත පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යොදා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මන්නාරම සුළං බලාගාරය ඉදි කිරීමේ ව්‍යාපෘතිය
     
    වර්තමානය වන විට විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා විකල්ප ප්‍රභවයන් කෙරෙහි ගෝලීය අවධානය යොමු වී ඇති අතර, පොසිල ඉන්ධන මඟින් විදුලිය නිෂ්පාදනය මිල අධික හා පාරිසරික වශයෙන් අහිතකර කටයුත්තක් බවට පත්ව ඇත. සුළං මඟින් විදුලිය නිෂ්පාදනය හා සූර්යය ශක්තිය මඟින් විදුලිය නිෂ්පාදනය මේ හේතුවෙන් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතියි. ඉන්දියන් සාගරයෙන් වට වූ දූපතක් වීම හේතුවෙන් හා සුළං හමා යන කලාපයක පිහිටා තිබීම හේතුවෙන් විදුලි බලය නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් සුළං ශ්‍රී ලංකාවේ සුලබ වේ. මහා පරිමාණ සුළං බලාගාර ක්‍රියාත්මක කිරීමේදී සුළං බල උද්‍යාන ලෙස සංවර්ධනය කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර එහි ප්‍රථම පියවර ලෙස මන්නාරම දූපතේ මෙගා වොට් 100ක ධාරිතාවකින් යුත් සුළං බල උද්‍යානයක් ඉදි කිරීමට අවශ්‍ය මූලික ක්‍රියා මාර්ග මේ වන විට ගෙන තිබේ. මේ සඳහා අවශ්‍ය අරමුදල් ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දීමට නියමිතය. ඒ අනුව, අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම්ද සහිතව මන්නාරම දූපතේ මෙගා වොට් 100ක ධාරිතාවකින් යුත් සුළං බල උද්‍යානයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම
     
    බුදු දහමේ උන්නතිය උදෙසා භික්ෂූන් වහන්සේලා දැනුමින් පෝෂණය කිරීම සඳහා පිහිටුවන ලද ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය වර්තමානය වන විට ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් මෙහෙවරක් ඉටු කරමින් සිටියි. භික්ෂූන්වහන්සේලා තුළ පමණක් නොව ගිහියන් අතරද බෞද්ධ අධ්‍යාපනය සම්බන්ධයෙන් වර්තමානයේ පවතින විශාල උනන්දුව සැලකිල්ලට ගෙන, ගිහි ශිෂ්‍යන් සඳහාද පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දීම ඇතුළු කාලීන වශයෙන් වැදගත් සංශෝධන කිහිපයක් ඇතුළත් කරමින් එම විශ්වවිද්‍යාලය ස්ථාපිත කරනු ලැබ ඇති 1996 අංක 26 දරන බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග හිටපු අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව ඒ සම්බන්ධයෙන් වත්මන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ලබා දෙන ලද එකඟතාවද සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස්වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම
     
    පාලි ධර්ම ග්‍රන්ථයන්හි ලේඛනගත කොට ඇති බෞද්ධ ධර්මය අවබෝධ කරගැනීම හා අනුගමනය කිරීම පිණිස ශිෂ්‍ය ප්‍රජාවට අධ්‍යාපනය ලබා දෙන සෑම උසස් අධ්‍යාපන ආයතනයක්ම සම්බන්ධ කරන ජාත්‍යන්තර එකමුතුවක් වශයෙන් ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමය ක්‍රියාත්මක වේ. එම සංගමයේ 5 වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2018 නොවැම්බර් 27, 28 හා 29 යන දිනයන්හිදී කොළඹ හා අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව, ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සහයෝගිත්වය යටතේ එම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පිණිස සත්කාරකත්වය දැරීම සඳහා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සඳහා ශ්‍රවණාගාරයක් ඉදි කිරීම
     
    රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප්ලාභී නොවන සියලු දෙනා වෙත විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ක්‍රියාත්මක වේ. මෙම ආයතනයේ කටයුතු ප්‍රවර්ධනය කිරීමේදී ප්‍රාදේශීය නිලධාරින් පුහුණු කිරීම්, සම්මන්ත්‍රණ පැවැත්වීම් ආදී කටයුතු සඳහා ශ්‍රවණාගාරයක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයෙහි ප්‍රධාන කාර්යාල ගොඩනැඟිල්ලේ ඉහළ මහල ශ්‍රවණාගාරයක් වශයෙන් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා දීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
     
     
    ජාතික සමාජ සංවර්ධන ආයතනයෙහි නාමය 'ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය' ලෙස සංශෝධනය කිරීම
     
    සමාජ වැඩ (Social Work) සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා දෙනු ලබන ශ්‍රී ලංකාවේ ඇති එකම රාජ්‍ය ආයතනය ජාතික සමාජ සංවර්ධන ආයතනය වේ. 1952 දී 'සමාජ වැඩ අභ්‍යාස ආයතනය' නමින් ස්ථාපිත කරන ලද එම ආයතනයේ නාමය පසුකාලීනව ලංකා සමාජ සේවා විද්‍යාලය හා ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය ලෙස වෙනස් වී ඇත. 1992 අංක 41 දරන පනත මඟින් ජාතික සමාජ සේවා සංවර්ධන ආයතනය නමින් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස එම ආයතනය ස්ථාපිත කරනු ලැබ තිබේ. ඒ අනුව, සමාජ වැඩ පිළිබඳ මෙන්ම උපදේශනය, ළමා රැකවරණය, වැඩිහිටි රැකවරණය, ප්‍රජාපාදක විශෝධනය, ගැටුම් කළමනාකරණය, නායකත්වය, සන්නිවේදන කුසලතා, ව්‍යාපෘති කළමනාකරණය ආදී විවිධ විෂයයන්ට අදාළ උසස් අධ්‍යාපන පාඨමාලා එම ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. විශ්වවිද්‍යාල නියෝජනය කරන විද්වතුන්ගේ මෙන්ම, සමාජ වැඩ පිළිබඳ විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන්හි නියුතු බොහෝ දෙනෙකුගේ යෝජනාව වී ඇත්තේ මෙම ආයතනය මඟින් පවත්වාගෙන යනු ලබන වැඩසටහන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මෙන්ම ප්‍රජාව අතරට ගෙනයාමේදී 'ජාතික සමාජ සංවර්ධන ආයතනය' යන නාමයට වඩා 'ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය' යන නාමය වඩාත් වෘත්තීය පිළිගැනීමක් සහිත වන බවයි. මෙම කරුණු සැලකිල්ලට ගෙන 'ජාතික සමාජ සංවර්ධන ආයතනය' යන නම වෙනස් කර 'ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය' යන නමින් මෙම ආයතනය නැවත නම් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
     
     
    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්, බාහිර පුද්ගලයන් හා ආයතන වෙත බදු පදනම මත බැහැර කිරීම
     
    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් වාණිජ හා කෘෂිකාර්මික කටයුතු සඳහා බැහැර කිරීම 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ විධිවිධාන අනුව අදාළ අමාත්‍යවරයාගේ අනුමැතිය මත සිදු කළ යුතු වේ. නමුත් සීමිත අවස්ථාවන්හිදි හැර අන් සෑම අස්ථාවකදීම මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු බවට 2011 වර්ෂයේදී තීරණය කරනු ලැබ තිබේ. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී වඩාත් විනිවිද භාවයකින් යුක්තව නිවැරදි පුද්ගලයින් තෝරා ගැනීම සඳහා ක්‍රමවේදයක් යෙදීමට යටත්ව, ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුවක නිර්දේශ පදනම් කරගෙන, උපරිම අක්කර 5ක් දක්වා ඉඩම් බැහැර කිරීම පනතේ විධිවිධානවලට අනුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විෂය භාර අමාත්‍යවරයා විසින් සිදු කළ හැකි බව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
     
     
    රජයේ ආධාර නොලබන පෞද්ගලික පාසල් 13ක් සඳහා රජයේ අනුග්‍රහය ලබා දීම
     
    නාගරීකරණය හා ජනගහනය ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික හා පළාත් පාසල්වලට දරුවන් ඇතුළත් කරගැනීමට විශාල තරගයක් පවතින අතර, රජය මැදිහත්වී අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම මඟින් මෙම සමාජ ගැටලුව නිරාකරණය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. එබැවින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික විෂයමාලාව ක්‍රියාත්මක කරනු ලබන රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට පහසුකම් සැලසීම තුළින් ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කළ හැකි වන අතර, දෙමාපියන්ට දරුවන් පාසලකට ඇතුළත් කිරීමේදී විශ්වසනීය විකල්පයක් එමඟින් ඇති කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී ඇති රජයේ අනුමත පෞද්ගලික පාසල් 80ක් දැනට පවතින අතර, මෙම සියලුම පාසල් සඳහා පාසල් නිල ඇඳුම් සහ පෙළපොත් ආදී ප්‍රතිලාභ රජය විසින් නොමිලේ ලබා දෙනු ලැබේ. ඉන් පාසල් 36කට ගුරු වැටුප් දැරීම සඳහාද රජය විසින් ආධාර ‍කරනු ලැබේ. මෙම අනුග්‍රහයන් තවත් පුළුල් කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්ණායක පදනම් කරගනිමින් තෝරා ගනු ලැබ ඇති, දරුවන්ට ගුණාත්මක හා තරගකාරි අධ්‍යාපනයක් ලබා දීමට හැකියාව ඇති දැනට රජයේ ආධාර නොලබන පෞද්ගලික පාසල් 13ක් රජයේ අනුග්‍රහය ලබන පාසල් ලෙස සලකා කටයුතු කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    2018 මිලාදුන් නබි උත්සවයට සමගාමීව මන්නාරම දිස්ත්‍රික්කය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
     
    2018 වසරේ ජාතික මිලාදුන් නබි උත්සවයේ ප්‍රධාන සැමරුම් උළෙල පැවැත්වීම සඳහා මන්නාරම දිස්ත්‍රික්කය තෝරා ගෙන ඇති අතර, එහි ප්‍රධාන උත්සවය මුස්ලිම් ජාතික පාසලේදී පැවැත්විමට නියමිතය. දීර්ඝ කාලයක් සුබසාධන කඳවුරුවල අවතැන්ව සිට නැවත තම ගම්බිම්වල පදිංචි කරවන ලද මුස්ලිම් ජනතාවගේ පොදු අවශ්‍යතා සහ මූලික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම උත්සවයට සමගාමීව සිදු කිරීමට යෝජනා කර ඇති සංවර්ධන කාර්යයන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මධ්‍යම රජයේ, උතුරු පළාත් සභාවේ සහ අනෙකුත් ආයතනවල සක්‍රීය දායකත්වය ලබාගැනීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි, පැමිණීමේ පර්යන්තය තුළ මුදල් හුවමාරු කවුළු පවත්වාගෙන යාම සඳහා අවසරය ලබා දීම
     
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි, ශ්‍රී ලංකා රේගුව පවත්වාගෙන යනු ලබන ප්‍රදේශයට එපිටින් පිහිටා ඇති පැමිණීමේ පර්යන්තය තුළ මුදල් හුවමාරු කවුළු පවත්වාගෙන යාම සඳහා වන අවසරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී, සම්පත් බැංකුව පීඑල්සී, තොමස් කුක් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන මූල්‍ය ආයතන වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මුලන්කාවිල් ජල සම්පාදන ක්‍රමය ඉදි කිරීම
     
    මුලන්කාවිල් ජල සම්පාදන ක්‍රමය මඟින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මුලන්කාවිල් ප්‍රදේශයේ පදිංචි දසදහසකට ආසන්න ජනතාවකට සුරක්ෂිත පානීය ජලය සැපයීමට අපේක්ෂා කෙරේ. එම ජල යෝජනා ක්‍රමය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 608.49ක මුදලකට M/s. Ceylex Engineering (Pvt) Ltd. සහ Prathibha Industries Limited ඒකාබද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    හම්බන්තොට 220/132 kV ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ දැනට පවතින ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම
     
    හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ, හම්බන්තොට 220/132 kV ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ දැනට පවතින හම්බන්තොට 132/33 kV ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,866.31ක මුදලකට M/s. Chint Electric Co. Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වෙල්ලමන්කර ධීවර වරාය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
     
    ධීවර කර්මාන්තයේ යෙදෙන අඩි 40 - 60 ප්‍රමාණයේ ධීවර යාත්‍රා සඳහා අවශ්‍ය සියලුම සේවාවන් සහ පහසුකම් සැපයීම පිණිස මීටර 4ක ගැඹුරකින් යුක්තව සහ මීටර් 700ක් පමණ දිගින් යුත් දියකඩන දෙකක් සහිතව වෙල්ලමන්කර ධීවර වරාය ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම ධීවර වරාය ඉදි කිරීමේ ‍කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,862.25ක මුදලකට M/s. R.R. Construction (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස එවකට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව ඒ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ වත්මන් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා විසින් ලබා දෙන ලද එකඟතාවද සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පොළොන්නරුව, කදුරුවෙල පුලතිසි වෙළඳ සංකීර්ණය සහ කෘෂි ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම
     
    පොළොන්නරුව ගොවි ජනතාවගේ කෘෂි නිෂ්පාදන අලෙවි කරගැනීම සහ ප්‍රදේශයේ ජනතාවට එම නිෂ්පාදන මිල දී ගැනීම සඳහා පහසුකම් සලසනු පිණිස අක්කර 08ක භූමිභාගයක් පුරා විහිදුනු වෙළඳ කුටි 58කින්ද සමන්විත වෙළඳ සංකීර්ණයක් 'පිබිදෙමු පොළොන්නරුව' ජාතික වැඩසටහන යටතේ 2019 වසර වන විට ඉදි කිරීමට යෝජනා වී තිබේ. කෘෂි ආර්ථික මධ්‍යස්ථානයක්, විවෘත අවන්හලක්, ළමා උද්‍යානයක්, වාහන ගාල් කිරීමේ හා අනෙක්තු පොදු පහසුකම්ද සහිතව මෙම වෙළඳ සංකීර්ණය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 623.2ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනයේ (South Asian Institute of Technology and Medicine - SAITM) වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගැටලු නිරාකරණය කිරීම
     
    දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනයේ (South Asian Institute of Technology and Medicine - SAITM) වෛද්‍ය අධ්‍යාපනයේ නිරත සිසුන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අනුව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස 2018 03 06 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය ලබා දෙන ලදී. එහිදී අනුමැතිය ලබා දෙන ලද ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී මතු වී ඇති නීතිමය හා ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන්, 2018 05 09 දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ 2018 05 10 දින උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් සාකච්ඡා පවත්වනු ලැබ තිබේ. එම සාච්ඡාවලදී තීරණය කරනු ලැබ ඇති පරිදි, SAITM ආයතනයේ වෛද්‍ය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන සැකසීමට නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: 
     
    • 2009 සැප්තැම්බර් මස 15 දින සිට 2017 මැයි මස 15 දින දක්වා වෛද්‍ය විද්‍යාව හැදෑරීමට SAITM ආයතනය යටතේ ලියාපදිංචි කර ඇති සිසුන් අතුරින්, රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයන්ට ඇතුළත් කරගැනීමේ මූලික සුදුසුකම් සපුරා ඇති සිසුන් පමණක් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම. 
    • එම සිසුන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් වන අවශ්‍යතා සහ කොන්දේසි නිර්ණය කිරීමට එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලය වෙත බලය ලබා දීම. 
    • ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කරනු ලබන SAITM ආයතනයේ සිසුන් අතුරින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අදාළ විභාග සමත් වන සිසුන්ට එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිරිනැමීම.
     
     
    රාමලාන් උත්සව සමයේ මුස්ලිම් බැතිමතුන් සඳහා බෙදා හැරීමට අවශ්‍ය රට ඉඳි මිල දී ගැනීම
     
    රාමලාන් උපවාසය අත්හැරීම සඳහා රට ඉඳි භාවිත කිරීම ඉස්ලාම් බැතිමතුන් විසින් අනුගමනය කරනු ලබන ආගමික සිරිතක් වේ. එබැවින් රාමලාන් කාලසීමාව තුළ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය රට ඉඳි අවශ්‍යතාව සවුදි අරාබි රජය විසින් ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත ලබා දීම සාමාන්‍යයෙන් සිදු වේ. එහෙත් මෙම වසරේදී එම රජය විසින් ශ්‍රී ලංකාව වෙත රට ඉඳි ප්‍රදානය කිරීම සිදු කරනු ලැබ නොමැති අතර, පෞද්ගලික පරිත්‍යාගකරුවන් තිදෙනෙකු විසින් පරිත්‍යාග කරන ලද මෙට්‍රික් ටොන් 03ක රට ඉඳි තොගයක් පමණක් ලැබී තිබේ. එබැවින්, විශේෂයෙන් ආර්ථික අපහසුතා ඇති මුස්ලිම් පවුල් කේන්ද්‍ර කරගෙන අදාළ මුස්ලිම් පල්ලි හරහා ඉස්ලාම් බැතිමතුන් අතර බෙදා හැරීම පිණිස රාමලාන් සමයේදී අවශ්‍ය වන අතිරේක රට ඉඳි මෙට්‍රික් ටොන් 250ක ප්‍රමාණය සතොස ආයතනය මඟින් මිල දී ගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    භූමිතෙල් සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙල
     
    2018 05 09 දින අමාත්‍ය මණ්ඩලය විසින් ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අනුමත කරන ලද අතර, ඒ හේතුවෙන් සිදු වන ඉන්ධන මිල ඉහළ යාම මඟින් බලපෑමට ලක් වන විදුලිය නොමැති අඩු ආදායම්ලාභී පවුල්වලට සහ කුඩා පරිමාණ යාන්ත්‍රික බෝට්ටු භාවිත කරන ධීවර ප්‍රජාවට භූමිතෙල් සහනාධාරයක් ලබා දීම සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අදාළ ආයතනවලට උපදෙස් දෙන ලදී. ඒ අනුව, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, භූමිතෙල් මිල වැඩි වූ ප්‍රමාණය අනුව, මෙතෙක් ක්‍රියාත්මක වූ පරිදි භූමිතෙල් සඳහා සහනාධාරයක් ඉදිරියටත් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.
     
    ඉන්ධන මිල වැඩිවීමට සමගාමීව බස් ගාස්තු සංශෝධනය කිරීම
     
    2018 05 11 දින සිට සිදු කරන ලද ඉන්ධන මිල වැඩි වීමට අනුව බස් ගාස්තු සංශෝධනය කරන ලෙස බස් සංගම් විසින් ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබ තිබේ. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන ලද බස් ගාස්තු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම පිළිබඳ කටයුතු කරන නිලධාරි කමිටුව විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිර්දේශද සෑම වසරකම ජූලි මස බස් ගාස්තු සංශෝධනය කෙරෙන බවද සැලකිල්ලට ගෙන, බස් ගාස්තු වැය විය යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අනුව, 2018 05 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවම බස් ගාස්තුව රුපියල් 10/-ක් වන පරිදි, අනෙකුත් බස් ගාස්තු 6.56%කින් වැඩි කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya