මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2018.03.20

    මාර්තු 21, 2018
     
    2018.03.21 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.
     
    එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනෙහි ශ්‍රී ලංකාවට අදාළ උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම
     
    ශ්‍රී ලංකා රජය, ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ 1968 වර්ෂයේ සිට විවිධ වැඩසටහන් රාශියක් සාර්ථකව ක්‍රියාවට නංවනු ලැබ තිබේ. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන රාමුවට අනුකූල වන පරිදි, ලෝක ආහාර වැඩසටහන සමඟ ඒකාබද්ධව, 2018 - 2022 කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇති උපාය මාර්ගික සැලැස්ම මඟින් පහත අරමුණු මුදුන් පත් කරගැනීමට අපේක්ෂා කෙරේ. 
     
    අර්බුදකාරී තත්ත්වයන් නිසා බලපෑමට ලක් වූ පුද්ගලයින්ට වර්ෂය පුරා ආහාර සැපයීම
     
    ආහාර සුරක්ෂිතතාව අඩු ප්‍රදේශවල සිටින පාසල් යන වයසේ පසු වන දරුවන් සඳහා වසර පුරා ආහාර සැපයීම. 
     
    2025 වර්ෂය වන විට, වයස අවුරුදු 5ට අඩු දරුවන්, නව යෞවන වියේ පසු වන දැරියන් හා ප්‍රජනන වයසේ පසුවන කාන්තාවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම.
     
    පහසුවෙන් අවදානමට ලක්වන කණ්ඩායම්වල සහ කුඩා පරිමාණ ගොවීන්ගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීම සහ අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම.
     
    එම උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 46.8ක් ලබා දීමට ලෝක ආහාර සංවිධානය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. ඒ අනුව, එම ප්‍රද‍ාන ආධාර පිළිගැනීම පිණිස ලෝක ආහාර සංවිධානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්, එකී උපායමාර්ගික සැලැස්ම අදාළ රේඛීය අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරවීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.
     
     
    ද සොයිසා මාතෘ රෝහලෙහි නවජ ළදරු සහ ප්‍රසව විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
     
    ද සොයිසා කාන්තා රෝහලේ නවජ ළදරු සත්කාර සහ විශේෂඥ ළදරු සත්කාරක සේවාවන්ගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා නවජ ළදරු හා ප්‍රසව විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, ඒ සඳහා අරමුදල් සලසා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මෙම කාර්යය සඳහා ප්‍රංශ රජය වෙතින් අරමුදල් සලසා ගැනීමට සාකච්ඡා සම්මුති පවත්වනු ලැබ ඇති අතර, ඒ සඳහා ඇති බාධාවන් හා ප්‍රමාදයන් සැලකිල්ලට ගනිමින් විකල්ප ණය මූලාශ්‍ර වෙත යොමු වීමට තීරණය කරනු ලැබ තිබේ. 
     
    ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව වෙතින් යුරෝ මිලියන 17.99ක ණය මුදලක් සහ සම්පත් බැංකුව වෙතින් යුරෝ මිලියන 8.45ක ණය මුදලක් ලබාගැනීමටත්, ඊට ණය අදාළ ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය ඇගයුම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
     
    ශ්‍රී ලංකාව විසින් ජාතික සංක්‍රමණ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් 2013 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලද අතර, ඒ අනුව, සංක්‍රමණ හේතුවෙන් රට තුළට පැමිණිය හැකි රෝග හේතුවෙන් මෙරට මහජන සෞඛ්‍යයට එල්ල වන තර්ජනයන් වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු වේ. දිගුකාලීන හෝ නේවාසික වීසා අයදුම්පත් ආසන්න වශයෙන් 40,000ක් පමණ ශ්‍රී ලංකාව වෙත වාර්ෂිකව ඉදිරිපත් වන අතර, ඉන් 60%ක් පමණ ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය තත්ත්වයට සාපේක්ෂව වැඩි අවදානමක් සහිත රටවල්වලින් පැමිණෙන සංක්‍රමණික ශ්‍රමිකයින් විසින් ඉදිරිපත් කරනු ලබන බව හඳුනාගෙන තිබේ. එසේ පැමිණෙන සංක්‍රමණිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙලක් මෙතෙක් ස්ථාපිත කර නොමැති අතර, ඔවුන් මෙරට ජීවත් වන කාලසීමාව තුළ සෞඛ්‍ය වියදම් පියවා ගැනීම සඳහා සෞඛ්‍ය රක්ෂණයක් ලබාගැනීමට ඔවුන් දිරි ගැන්වීමේ ක්‍රමවේදයක්ද නොපවතියි. 
     
    එබැවින්, මේ සම්බන්ධයෙන් යම් කඩිනම් පියවරක් ගැනීම අවශ්‍ය වී තිබේ. ඒ අනුව, නේවාසික වීසා අයදුම්කරුවන්ගේ සෞඛ්‍ය ඇගයීමේ වැඩසටහනක් මෙරට ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    විකල්ප අරමුදල් මූල්‍යයන මූලාශ්‍ර 2018
     
    2018 අයවැය මඟින් යෝජනා කරන ලද පරිදි, 2018 වර්ෂය සඳහා රජයේ උපරිම ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 1,895කි. විදේශ ණය ආපසු ගෙවීම සහ ණය සේවාකරණය සඳහා වසරේ මුල් කාර්තුව තුළ ඇමරිකානු ඩොලර් මිලියන 732ක් පමණ අවශ්‍ය වන බව ඇස්තමේන්තුගත කර තිබේ. දැනට පවතින ගෝලීය තත්ත්වයන් අනුව ඉදිරියේදී අඩු පිරිවැයක් සහිත අරමුදල් සම්පාදනය කිරීමේදී ඇති විය හැකි අපහසුතා හේතුවෙන් දැනට පවතින ස්ථාවර පොලී අනුපාත යටතේ කඩිනමින් අරමුදල් සලසා ගැනීම මඟින් 2018 වසරේ කල් පිරීමට නියමිත, සාපේක්ෂව ඉහළ පිරිවැයක් සහිත ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ගෙවා නිදහස් කිරීම වාසිදායක බව නිරීක්ෂණය වී තිබේ. ඒ සඳහා ලංකා බැංකුව හා මහජන බැංකුවේ විදේශ විනිමය බැංකු ඒකක හෝ අක්වෙරළ බැංකු ඒකක තුළින් ඇමරිකානු ඩොලර් මිලියන 300ක උපරිමයක් දක්වා අරමුදල් සම්පාදනය කිරීම පිණිස වැඩබලන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මුලතිව් ජල සම්පාදන යෝජනා ක්‍රමය
     
    මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 09ක් ආවරණය වන පරිදි, මුලතිව් නගරය හා තදාසන්න ප්‍රදේශවල වෙසෙන 7,430ක පමණ ජනගහනයකට (පවුල් 1,500කට පමණ) සුරක්ෂිත පානීය ජලය සැපයීම අරමුණු කරගනිමින් මුලතිව් ජල සම්පාදන යෝජනා ක්‍රමය සැලසුම් කරනු ලැබ තිබේ. එම ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 894.74ක මුදලකට, M/s. Ceylex Engineering (Pvt) Ltd. සහ ඉන්දියාවේ Pratibha Industries Ltd. අතර ඇති කරගනු ලැබ ඇති හවුල් ව්‍යාපාරය (JV) වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    අක්ෂි ශල්‍යකර්ම සඳහා යොදාගන්නා අක්ෂි කාච ප්‍රසම්පාදනය
     
    ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මවලදී ඇසට බද්ධ කිරීම සඳහා භාවිත කරනු ලබන හයිඩ්‍රොෆෝබික් අන්තඃඅක්ෂි කාච 18,600ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 322.84ක මුදලකට, M/s. Vision 2000 (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    තාක්ෂණික වෘත්තිය අධ්‍යාපන හා පුහුණු අංශය සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක් හඳුන්වා දීම
     
    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ වෘත්තීය පුහුණුව හා කාර්මික අධ්‍යාපනය ලබා දෙනු ලබන ආයතන 07ක් ක්‍රියාත්මක වන අතර, එම ආයතනයන්හි විෂය මාලාවල ප්‍රමිතිය තහවුරු කිරීමේ කාර්යය තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබේ. මෙම ආයතන සියල්ල හා පෞද්ගලික අංශයේ පුහුණු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරගැනීමට සහ කාලීන අවශ්‍යතා අනුව පුහුණු වැඩසටහන් පෙළගැස්වීම අරමුණු කරගනිමින් එම ආයතන සඳහා නවීන තොරතුරු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීමට යෝජනා වී තිබේ. එම කාර්යය 2018 වර්ෂය තුළ ආරම්භ කර කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පේරාදෙනිය විශ්වවිද්‍යාලය සහ නෝර්වේ රාජධානියේ අග්නිදිග සරසවිය අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
     
    උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමීප සහයෝගිතාවයක් වර්ධනය කරගැනීමේ අරමුණින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නෝර්වේ රාජධානියේ අග්නිදිග සරසවිය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ. ඒකාබද්ධ පර්යේෂණ හා අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම, අධ්‍යයන කාර්ය මණ්ඩල හා ශිෂ්‍යයින් හුවමාරු කරගැනීම, පාඨමාලා සංවර්ධනය ආදි ක්‍රියාකාරකම් යෝජිත අව‍බෝධතා ගිවිසුම මඟින් ආවරණය වේ. එම විශ්වවිද්‍යාල දෙක අතර අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය කබිර් හෂිම් මහතාගේ එකඟතාවද සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    70 වන ලෝක සෞඛ්‍ය දින සමාරම්භක උත්සවය කොළඹදී පැවැත්වීම
     
    2018 වර්ෂයට යෙදී ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70වන සංවත්සරය 'සැමතැනම සැමටම විශ්ව සෞඛ්‍ය ආවරණය' යන තේමාව යටතේ සැමරීම සඳහා කටයුතු යොදා තිබේ. සංවර්ධිත රටවල පවතින සෞඛ්‍ය දර්ශකවල මට්ටමට ළඟා වී ඇති රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ මෙම සංවත්සර සැමරුම පැවැත්වීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ. මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින්, රටවල් 12ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, සාමාජික රටවල් 11ක නියෝජිතයින් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරනු ලබන ඉහළ මට්ටමේ නිලධාරින් සහභාගි වීමට නියමිතය. 
     
    ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සැමරුම නිමිත්තෙන් පැවැත්වෙන ලෝක සෞඛ්‍ය දින සමාරම්භක උත්සවය 2018 අප්‍රේල් මස 07 වන දින කොළඹදී පැවැත්වීම වෙනුවෙන් සත්කාරකත්වය දැරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වෙත කසළ එකතු කිරීමේ යන්ත්‍ර සැපයීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම
     
    අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා යෝග්‍ය තාක්ෂණය සහිත මනා කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයන් පළාත් පාලන ආයතන සතුව නොතිබීම හේතුවෙන් නාගරික ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය අභියෝගාත්මක කාර්යයක් බවට පත්ව තිබේ. එබැවින්, පළාත් පාලන ආයතන 84ක කසළ එකතු කිරීමේ හා ප්‍රවාහනය කිරීමේ ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින්, එම පළාත් පාලන ආයතන වෙත කසළ ප්‍රවාහන රථ 190ක් ලබා දීමට සැලසුම් කර තිබේ. 
     
    මේ සඳහා වැය වන පිරිවැය ආවරණය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 14ක් නොඉක්මවන ණය මුදලක්, කොරියානු අපනයන - ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලෙන් ලබාගැනීම සඳහා අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ පාකිස්තානයේ විදේශ සේවා ඇකඩමිය (FSA) අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම
     
    ශ්‍රී ලංකාවේ හා පාකිස්තානයේ රාජ්‍යතාන්ත්‍රික සේවාවන් අතර පුහුණුව හා වෘත්තීය සංවර්ධනය සම්බන්ධයෙන් සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) හා පාකිස්තානයේ විදේශ සේවා ඇකඩමිය (FSA) අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී තිබේ. දෙරටේ විදේශ සේවයේ නිලධාරින් අතර සබඳතා වර්ධනය කිරීමට මෙන්ම විදේශ ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සබඳතා, ජාත්‍යන්තර නීතිය, රාජ්‍යතාන්ත්‍රික කටයුතු ආදි ක්ෂේත්‍රයන්හි දැනුම හුවමාරු කරගැනීමටද මෙමඟින් අවස්ථාව සැලසේ. අතිගරු ජනාධිපතිතුමා විසින් පාකිස්තානයේ සිදු කිරීමට නියමිත නිල සංචාරය අතරතුරදී යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ පාකිස්තානයේ රසායනික සහ ජෛව විද්‍යා ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICCBS) අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
     
    රසායනික හා ජෛව විද්‍යා ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සහයෝගිතාව ඇති කරගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ පාකිස්තානයේ රසායනික සහ ජෛව විද්‍යා ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICCBS) අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ. අතිගරු ජනාධිපතිතුමා විසින් පාකිස්තානයේ සිදු කිරීමට නියමිත නිල සංචාරය අතරතුරදී යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සහ පාකිස්තානයේ, රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ජාතික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
     
    මෙරට රාජ්‍ය අංශයේ නිලධාරින්ගේ හැකියා වර්ධනය කිරීමේ වගකීම උසුළනු ලබන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) සහ පාකිස්තානයේ, රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ජාතික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී තිබේ. ඒකාබද්ධ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විද්වතුන්, ශිෂ්‍යයින් හා ශාස්ත්‍රීය කටයුතු හුවමාරුව, කළමනාකරණ උපදේශක කටයුතු සහ ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීම ආදි ක්ෂේත්‍ර මෙමඟින් ආවරණය වේ. රාජ්‍ය අංශයේ ධාරිතා වර්ධනය තුළින් රාජ්‍ය සේවා සැපයීම වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සඳහා විධිවිධාන සැලසීම පිණිස 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීම
     
    ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය (Money Laundering) වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ශක්තිමත් නොවන ක්‍රමෝපායන් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමට 'මූල්‍ය ක්‍රියාකාරකම් කාර්යසාධක බලකාය' (Financial Action Task Force - FATF) විසින් කටයුතු කරනු ලැබ තිබේ. ඒ අනුව යමින් 2018 පෙබරවාරි මාසයේදී, යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් අසාධු ලේඛනගත කරනු ලැබ තිබේ. මෙමඟින් මෙරට ආර්ථිකයට හා මූල්‍ය පද්ධතිය මත ඇති කරනු ලැබිය හැකි බරපතළ අහිතකර ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින්, මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා තවදුරටත් සිදු කළ යුතු නීතිමය සංශෝධන කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. 
     
    ඉන් වැදගත් සංශෝධනයක් වනුයේ, සීමාසහිත පොදු සමාගමක් හැරනු විට අනෙක් සෑම සමාගමක් විසින්ම තම සමාගමේ අයිතියෙන් 25%ක් හෝ ඊට වඩා දරනු ලබන කොටස් හිමිකම් සතු තැනැත්තන් හෝ; එවැනි සමාගමක මෙහෙයවීම සම්බන්ධයෙන් සක්‍රීය පාලනයක් හිමි අර්ථලාභී තැනැත්තන් පිළිබඳ තොරතුරු අඩංගු ලේඛනයක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව හඳුන්වා දීමයි. තවද එම තොරතුරු සමාගම් රෙජිස්ට්‍රාර් සහ අනෙකුත් අදාළ බලධාරින් වෙත ලබා දීම සඳහාද විධිවිධාන සැලසිය යුතු වේ. ඒ අනුව, 2007 අංක 7 දරන සමාගම් පනතට සිදු කළ යුතු සංශෝධන සිදු කිරීමටත්, ඒ සඳහා සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීමටත් වැඩබලන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ඒ.ඩී.චම්පික ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    2018 යල කන්නයේ වී වගාව සඳහා රසායනික පොහොර සැපයීම
     
    2018 යල කන්නයේ වී වගාව සඳහා, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) මඟින් බෙදා හැරීමට අවශ්‍ය රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන් වෙතින් මිල ගණන් කැඳවනු ලැබ තිබේ. 
     
    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි, යූරියා - ග්‍රැනියුලා පොහොර මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 307.18 බැගින් මෙට්‍රික් ටොන් 24,000ක් M/s. Ameropa Asia (Pvt) Ltd. වෙතින්ද, ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 333.5 බැගින් මෙට්‍රික් ටොන් 18,000ක් M/s. Agri Commodities & Finance FZE වෙතින්ද මිලදී ගැනීමටත්, මියු‍රියේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 315.85 බැගින් මෙට්‍රික් ටොන් 18,000ක් M/s. Agricultural Resources and Investment (Pte) Ltd. වෙතින් මිල දී ගැනීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය සහ ඉස්ලාමාබාද් උපායමාර්ගික අධ්‍යයන ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
     
    ජාතික ආරක්ෂක අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය සහ පාකිස්තානයේ, ඉස්ලාමාබාද් උපායමාර්ගික අධ්‍යාපන ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya