මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2018.02.27

    පෙබරවාරි 28, 2018

    2018.02.27 වැනි දින පවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් වේ.

    පරීක්ෂණ කොමිෂන් සභා මඟින් අනාවරණය කරගනු ලබන කරුණු පදනම් කරගනිමින් නඩු පැවරීමේ බලය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවරීම

     

    1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ ස්ථාපිත කරනු ලබන පරීක්ෂණ කොමිෂන් සභා මඟින් අනාවරණය කරගනු ලබන කරුණු පදනම් කරගනිමින්, අල්ලස් පනත යටතේ හෝ වත්කම් හා බැරකම් නීතිය යටතේ නඩු පැවරීමේ බලය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබා දීමට හැකි වන පරිදි නීතිමය විධිවිධාන සැලැස්වීමේ අවශ්‍යතාව මතු වී තිබේ.

    මේ සඳහා 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම පිණිස වන අදාළ සංශෝධන නීති කෙටුම්පත් සම්පාදක විසින් ව්‍යවස්ථා කෙටුම්පත් කරනු ලැබ තිබේ. එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3ට නොඅඩු විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බව නීතිපතිවරයා විසින් දැනුම් දෙනු ලැබ ඇත. ඒ අනුව, පරීක්ෂණ කොමිෂන් සභා(සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පොකුරු බෝම්බ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියට (ඔස්ලෝ සම්මුතියට) ශ්‍රී ලංකාව ප්‍රවේශ වීම


    සන්නද්ධ ගැටුම් පැවති අවධියේදී ශ්‍රී ලංකාව විසින් පොකුරු බෝම්බ භාවිත කළ බවට ඇතැම් පාර්ශ්ව විසින් විවිධ චෝදනා එල්ල කළද, ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් පොකුරු බෝම්බ භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, 'ශ්‍රී ලංකාව කිසි දිනෙක පොකුරු බෝම්බ භාවිත කර නොමැති බව සහ ඉදිරියේදීද භාවිත නොකරන බව' ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය වේ.

    පොකුරු බෝම්බ භාවිත නොකිරීම සඳහා වන ශ්‍රී ලංකා රජයේ කැපවීම සහ මානුෂවාදී නිරායුධකරණය මඟින් තිරසර සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇති කැපවීම විදහා දක්වමින්, මේ වන විට රටවල් 102ක් විසින් අපරානුමත කරනු ලැබ ඇති 'පොකුරු බෝම්බ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට' (ඔස්ලෝ සම්මුතියට) ශ්‍රී ලංකාවේ එකඟත්වය පළ කිරීම (to accede) පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    1956 අංක 21 දරන පුපුරන ද්‍රව්‍ය ආඥාපනත සංශෝධනය කිරීම


    ශ්‍රී ලංකාවට පුපුරන ද්‍රව්‍ය ආනයනය සහ ඒ හා සම්බන්ධ නියාමන කටයුතු පුපුරන ද්‍රව්‍ය ආඥාපනත මඟින් සිදු කෙරේ. කාලානුරූපී අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම ආඥාපනත සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පුපුරන ද්‍රව්‍ය හෝ ඒ ආශ්‍රිත භාණ්ඩ රැගත් විදේශීය නෞකා හෝ ගුවන්යානා ශ්‍රී ලංකාවේ සාගර කලාපය හෝ ගුවන් කලාපය හරහා ගමන් කිරීමේදී ඒ සඳහා අවසර ප්‍රදානය කිරීම, 'පුපුරන ද්‍රව්‍ය පාලක' යන තනතුර, 'පුපුරන ද්‍රව්‍ය පාලක ජනරාල්' වශයෙන් පනතෙහි දැක්වීම, වර්තමානයට ගැළපෙන අයුරින් වඩා යහපත් ක්‍රමවේද අනුගමනය කරමින් එම ආඥාපනත ක්‍රියාත්මක කිරීම ඇතුළු සංශෝධන ඇතුළත් කරමින් 1956 අංක 21 දරන පුපුරන ද්‍රව්‍ය ආඥාපනත සංශෝධනය කිරීමට අවධානය යොමු වී තිබේ. ඒ සම්බන්ධයෙන් යෝජනා ලබාගැනීම සඳහා අදාළ ආයතන නියෝජනය වන පරිදි නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    දේශගුණ විපර්යාස අභියෝග හමුවේ ජල සම්පත ඵලදායි අයුරින් කළමනාකරණය


    ශ්‍රී ලංකාව‍ට වාර්ෂිකව මිලිමීටර 2,000කට වැඩි වර්ෂාපතනයක් ලැබෙන අතර, ඉන් පෝෂණය වන ගංගාවන් 103කට ආසන්න ප්‍රමාණයක් රටේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ගලා ගොස් මුහුදට එකතු වේ. එහෙත්, මෙම වර්ෂාපතනය සිදුවන කාලයන්හි හා ස්ථානයන්හි ඇති වෙනස්කම් සහ ජලවහන රටාවේ පැතිර යාමේ වෙනස්කම් හේතුවෙන් දිවයිනේ 65%ක භූමි ප්‍රමාණයක් වියළි කලාපය ලෙස හඳුන්වන අතර, එම කලාපය නිරන්තර ජල හිඟයන්ට හා නියඟයන්ට භාජනය වේ. දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම්වලට ශ්‍රී ලංකාව ලක්වීමේ අවදානම ද ඉහළ ගොස් ඇති අතර, කෙටි කාලසීමාවක් තුළ ඇති වන තීව්ර වර්ෂාපතනය ආදී වර්ෂාපතන රටාවේ වෙනස්කම් මෙන්ම වර්ෂයක් තුළ වියළි කාලගුණයක් පවතින දින ගණන ඉහළ යාම ද පසුගිය කාලසීමාව තුළ නිරීක්ෂණය කරනු ලැබ තිබේ.

    මෙම දේශගුණික විපර්යාසවල ප්‍රතිවිපාක හේතුවෙන් ඇති වන, පුරෝකථනය කළ නොහැකි ගංවතුර, නායයාම්, නියඟය වැනි ආපදා තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ කෘෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතතාව, වාරි ජල සැපයුම, පානීය ජල සැපයුම, ජල විදුලිබල නිෂ්පාදනය සහ ජනතාවගේ ජීවන තත්ත්වයට දැඩි බලපෑම් එල්ල වේ. මෙම අභියෝග ජයගැනීම සඳහා මෙරට ජලසම්පත සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය සඳහා පුළුල් හා ඒකාබද්ධ ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ.

    ඒ අනුව, අදාළ සියලු ආයතන සම්බන්ධ කරගනිමින්, ප්‍රශස්ත ජලසම්පත් කළමනාකරණයක් වෙනුවෙන් ඒකාබද්ධ කළමනාකරණ යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ නිර්දේශ, මාස තුනක් තුළ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ මූලිකත්වයෙන් යුතු ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපනය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා විදේශීය සතුන් ලබාගැනීම


    දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය නිසි සත්ත්ව සුබසාධන විධිවිධාන අනුගමනය කරමින් නවීකරණය කෙරෙමින් පවතින අතර, එහි ප්‍රදර්ශනය සඳහා සතුන් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. ලොව පුරා ඇති අනෙකුත් සත්ත්වෝද්‍යාන සමඟ වන සත්ත්ව හුවමාරු වැඩසටහන් හරහා සහ විදේශ රටවල සත්ත්වෝද්‍යාන විසින් නොමිලේ ලබා දෙනු ලබන අතිරික්ත සතුන් ලබාගැනීම මේ සඳහා අනුගමනය කරන ප්‍රධාන ක්‍රියාමාර්ග වේ. එමෙන්ම ශ්‍රී ලංකාවට සතුන් ගෙන්වා ඇති කරනු ලබන පුද්ගලයින් සහ ආයතන වෙතින් සතුන් මිල දී ගැනීමට ඇති හැකියාවද අවධානය ලක් වී තිබේ.

    ඒ අනුව, සත්ත්ව හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 1982 අංක 41 දරන ජාතික සත්ත්වෝද්‍යාන පනතේ විධිවිධාන සංශෝධනය කරනු ලබන තෙක්, සත්ත්ව හුවමාරු වැඩසටහන් හා සත්ත්ව ප්‍රදානයන් මඟින් අවශ්‍ය සතුන් ලබාගැනීමට සහ ශ්‍රී ලංකාවට විදේශීය පක්ෂීන් හා ගෘහස්ථ සතුන් ගෙන්වා ඇති කරනු ලබන පුද්ගලයින් හා ආයතන වෙතින් නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයන් යටතේ සතුන් මිල දී ගැනීමට ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත බලය පැවරීම පිණිස හිටපු තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනා, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මැතිතුමාගේද එකඟතාවද සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මධ්‍යම අධිවේගී මාර්ගය සමඟ සම්බන්ධ වන, මහනුවර සහ ඒ අවට ප්‍රදේශවල පිහිටි මාර්ග වැඩිදියුණු කිරීම


    මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට කුරුණෑගල දක්වා වන 1 කොටසෙහි සහ 2 කොටසෙහි ඉදි කිරීම් කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. පොතුහැර සිට ගලගෙදර දක්වා වන එහි 3 කොටස ඉදි කිරීමට නියමිතව ඇති අතර, එමඟින් මහනුවර නගරය සහ මධ්‍යම පළාතේ අනෙකුත් නගර, යෝජිත ගලගෙදර අන්තර් හුවමාරුව ඔස්සේ අධිවේගී මාර්ගජාලය හා සම්බන්ධ කෙරෙනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගලගෙදර සිට මහනුවර දක්වා වන මහාමාර්ග කොටසෙහි වාහන ගමනාගමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් කටුගස්තොට සිට ගලගෙදර දක්වා වන මාර්ග කොටස මංතීරු 4ක මාර්ගයක් ලෙස වැඩිදියුණු කිරීමටත්, කටුගස්තොට නගරයේ මංතීරු 4කින් යුත් නව අතුරු මාර්ගයක් ඉදි කිරීමටත් යෝජනා වී තිබේ.

    මේ සඳහා අරමුදල් සැපයීමට ඉන්දියාවේ අපනයන ආනයන බැංකුව (EXIM Bank of India) එකඟ වී තිබේ. ඒ අනුව, එම මාර්ග සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් සැකසීම සඳහා උපදේශක සේවා සැපයීම පිණිස ඉන්දියාවේ RITES Ltd. සමාගම පත් කිරිම පිණිස හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමාගේ එකඟතාවද සැලකිල්ලට ගනිමින්, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වඳුරපීනු ඇල්ල ජලාශය ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් හා පාරිසරික බලපෑම් තත්ත්වයන් සිදු කිරීම


    කුරුණෑගල නගරය හා ඒ අවට ප්‍රදේශවලට පානීය ජලය සැපයීමේදී, ප්‍රධාන ජල මූලාශ්‍රය වන දැදුරු ඔයෙහි ජල ප්‍රවාහය වියළි කාලවලදී සැලකිය යුතු ලෙස පහළ යාම අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීමේදී ප්‍රධාන බාධාවක්ව පවතියි. මෙයට පිළියමක් ලෙස දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශයේ ජලාශයක් ඉදි කිරීම සිදු කළ යුතු බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ජලය ඝන මීටර මිලියන 3.6ක ධාරිතාවක් සහිතව වඳුරපීනු ඇල්ල ජලාශය ඉදි කිරීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් හා පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදු කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දකුණු ආසියාතික කලාපයේ ප්‍රාදේශීය ඒකාබද්ධිත බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ (RIMES) උප කලාපීය කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ පිහිටුවීම


    ස්වාභාවික උපද්‍රවවලින් ඇතිවන අවදානම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමට අදාළ විද්‍යාත්මක තොරතුරු උත්පාදනය හා ප්‍රයෝජනයට ගැනීම සඳහා සාමාජික රටවල්වල ධාරිතාව ගොඩනැංවීම සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ජාත්‍යන්තර ආයතනයක් වන 'දකුණු ආසියාතික කලාපයේ ප්‍රාදේශීය ඒකාබද්ධිත බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ' (RIMES) උප කලාපීය කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජනා වී තිබේ.

    ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හැකියාව සහ ධාරිතාව ශක්තිමත් කිරීමෙහි ලා මෙමඟින් ලැබෙන දායකත්වය සැලකිල්ලට ගෙන, එම උප කලාපීය කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2017/18 මහ කන්නය සඳහා රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම


    රජය විසින් පසුගිය කාලයේදී ක්‍රියාත්මක කරන ලද වී මිල දී ගැනීමේ වැඩසටහන් සමාලෝචනය කිරීමෙන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු අදාළ අනෙකුත් නිලධාරින් සමඟ මේ පිළිබඳව මෑතකදී පවත්වන ලද රැස්වීමේදී ඉදිරිපත් වී ඇති කරුණු සැලකිල්ලට ගනිමින්, රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන මෙම මහ කන්නයේදී වඩාත් ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී ඇත.

    ඒ අනුව, මේ සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගනිමින්, වී මිල දී ගැනීමේ සහතික මිල තහවුරු කිරීම සඳහා රජයේ මැදිහත්වීමක් අවශ්‍ය වන දිස්ත්‍රික්කවල, නාඩු වී කිලෝ එකක් රුපියල් 38/- බැගින්ද, සම්බා/කීරි සම්බා වී කිලෝ එකක් රුපියල් 41/- බැගින්ද, වී අලෙවි මණ්ඩලය හා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මැදිහත්වීම මත රජය විසින් මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

     

    පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ ඉදි කිරීම හා කළමනාකරණය කිරීම


    වියළි කලාපයේ ගොවීන්ගේ අස්වනු ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් සැලසීමේ අරමුණින්, අනුරාධපුර, මොනරාගල හා මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි ඉදි කරනු ලැබ ඇති ගබඩා සංකීර්ණ, එම දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විට ක්‍රියාත්මක වේ. දැනට වැඩ නිම කෙරෙමින් පවතින පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ 2018 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන අතර, එම ගබඩා සංකීර්ණයන්හි මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ කළමනාකරණ කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළඹීමේ බලය අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමටත්, එම කටයුතු නියාමනය හා අධීක්ෂණය කිරීම එකී දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    බහුදින ධීවර කාර්මිකයින් විසින් භාවිත කරනු ලබන මරුවැල් පන්න ක්‍රමයේදී ඇම වශයෙන් යොදා ගැනෙන දැල්ලන් හා වේක්කයන් ආනයනය සඳහා බදු සහන ලබා දීම


    බහුදින ධීවර කාර්මිකයින් විසින් ටූනා මත්ස්‍ය සම්පත් ‍ෙනළා ගැනීම සඳහා භාවිත කරනු ලබන මරුවැල් පන්න ක්‍රමයේදී ඇම වශයෙන් දැල්ලන්, වේක්කයන්, සාලයන් හා පියාමැස්සන් යන මසුන් යොදා ගනු ලැබේ. ඒ සඳහා වාර්ෂිකව මෙට්‍රික් ටොන් 7,000ක පමණ මසුන් ප්‍රමාණයක් අවශ්‍ය වුවත්, එයින් දේශීයව සපයාගත හැක්කේ මෙට්‍රික් ටොන් 3,000ක් පමණි. එබැවින්, ඇම සඳහා දැල්ලන්, වේක්කයන් වැනි මසුන් ආනයනය කර ධීවර සංගම් අතර බෙදා හැරීම සිදු කෙරෙන අතර, මනුෂ්‍ය පරිභෝජනයට යොදාගත හැකි මත්ස්‍ය විශේෂ වීම හේතුවෙන් එම මසුන් ආනයනයේදී සාමාන්‍ය ඇම ආනයනය සඳහා ලබා දෙනු ලබන ආනයනික බදු සහන හිමි නොවේ.

    ඇම සඳහා ආනයනය කරනු ලබන මසුන්ගේ මිල අධික වීම මෙරට ටූනා මත්ස්‍ය කර්මාන්තයට අහිතකර ලෙස බලපා තිබේ. එබැවින්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිර්දේශය මත, ධීවර සමිති අතර බෙදා දීම සඳහාම පමණක් ආනයනය කෙරෙන දැල්ලන්, වේක්කයින් වැනි ඇම වශයෙන් භාවිත කෙරෙන මසුන් සඳහා ආනයනික බදු සහන ලබාදීමටත්, ඒ යටතේ ආනයනය කෙරෙන, මාළු ඇම දේශීය පරිභෝජනය සඳහා යොමු නොකිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ඉන්දියානු රජයේ ප්‍රදාන වැඩසටහන යටතේ වැවිලි ප්‍රජාවට නිවාස 10,000ක් ඉදි කර දීම


    නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල වාසය කරන වතුකර ප්‍රජාවට නිවාස 4,000ක් ඉදි කර දීම සඳහා ඉන්දියානු රජය විසින් දැනටමත් අරමුදල් ප්‍රදානය කරනු ලැබ ඇති අතර, ඉන් නිවාස 1,136ක ඉදි කිරීම් කටයුතු අවසන් වීමට ආසන්නව පවතී. ඉතිරි නිවාස 2,836හි ඉදි කිරීම් කටයුතු 2018 ජනවාරි මාසයේදී ආරම්භ කරනු ලැබ තිබේ. ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා විසින් 2017 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද සංචාරයේදී වතු ප්‍රජාව සඳහා තවත් නිවාස 10,000ක් ඉදි කිරීමට අරමුදල් සැපයීමට එකඟ වී තිබේ.

    නායයෑම් ආපදාවලින් බලපෑමට ලක්වූ පවුල් වෙත ප්‍රමුඛතාව ලබා දෙමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ඉඩම් හඳුනාගැනීමේ කටයුතු 2018 මාර්තු මාසයේ සිට සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක පිරිවැයක් යටතේ, වැවිලි ප්‍රජාව සඳහා නිවාස 10,000ක් ඉදි කිරීමේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කටාන, ජාතික පොලිස් විද්‍යාපීඨයේ නේවාසික ගොඩනැඟිල්ල සහ පරිපාලන ගොඩනැඟිල්ල ඉදි කිරීම

    ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වැඩිදියුණු කිරීමේ අරමුණින් ස්ථාපිත කරනු ලැබ ඇති, කටාන ප්‍රදේශයේ පිහිටි ජාතික පොලිස් විද්‍යාපීඨ‍යේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ එහි නේවාසික ගොඩනැඟිල්ල හා පරිපාලන‍ ගොඩනැඟිල්ල ඉදි කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 836.28ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ, එම ගොඩනැඟිලි ඉදි කිරීමේ ව්‍යාපෘතිය 2018 - 2020 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස හිටපු නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරින්ගේ නවාතැන් පහසුකම්, භෝජනාගාරය හා රථගාල කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ ඉදි කිරීම


    විශේෂ රජකාරි කටයුතු සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණෙන සහ කැඳවනු ලබන පරීක්ෂක ශ්‍රේණියේ පොලිස් නිලධාරින් හට අවශ්‍ය නවාතැන්, භෝජනාගාර හා රථ වාහන ගාල් කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නොවීම ගැටලුවක්ව තිබේ. එබැවින්, මෙයට පිළියමක් වශයෙන් කොළඹ, කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ මහල් 6කින් යුත් නව ගොඩනැගිල්ලක් එකී පහසුකම් සහිතව ඉදි කිරීමට යෝජනා වී ති‍ෙබ්.

    ඒ අනුව, රුපියල් මිලියන 468.27ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ, එම ගොඩනැඟිල්ල ඉදි කිරීමේ ව්‍යාපෘතිය 2018 - 2020 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස හිටපු නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ද්‍රවීකරණය කරන ලද ස්වාභාවික වායු පර්යන්තයක් (LNG) සහ පාවෙන ස්වාභාවික වායු පර්යන්තයක් (FSRU) ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා, ඉන්දියනු සහ ජපන් ආයතන අතර ත්‍රෛපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම


    ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සහ ජපාන රජය සමඟ ඒකාබද්ධව කොළඹ, කෙරවළපිටිය ප්‍රදේශයේ ද්‍රවීකරණය කරන ලද ස්වාභාවික වායු පර්යන්තයක් සහ පාවෙන ස්වාභාවික වායු පර්යන්තයක් ස්ථාපිත කිරීමටත්, විදුලි ජනන කටයුතු සඳහා එම ස්වාභාවික වායු බෙදා හැරීමේ යටිතල පහසුකම් ස්ථාපනය කිරීමටත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලබන හවුල් ව්‍යාපාරයෙහි 15%ක කොටස් හිමිකාරිත්වයක් ශ්‍රී ලංකා රජයට අයත් සීමාසහිත ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගම වෙතද, 47.5%ක කොටස් හිමිකාරිත්වයක් ඉන්දියානු රජය විසින් නම් කරනු ලැබ ඇති පෙට්ට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Ltd) වෙතද, 37.5%ක කොටස් හිමිකාරිත්වයක් ජපන් රජය විසින් නම් කර ඇති සොජිට්ස් සමාගම (Sojitz Corporation) සහ මිට්සුබිෂි සමාගම අතර වන හවුල්කාරිත්වය වෙතද පිරිනැමීමට යෝජනා වී තිබේ.

    ඒ අනුව, මූලිකව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අරමුණින් අදාළ පාර්ශ්ව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටත්, යෝජිත හවුල් ව්‍යාපාරය ස්ථාපිත කිරීම සඳහා ඉන්දියානු සහ ජපාන පාර්ශ්ව සමඟ ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගමට බලය පැවරීමටත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා; සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෞතුකාගාර‍යේ පර්යේෂණ කාර්යයන් සඳහා අනුග්‍රහය ලබා දීම


    පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වසර 75ක් සම්පූර්ණ වීමට සමගාමීව එම විශ්වවිද්‍යාලයේ ඉතිහාසයට අයත් කලා නිර්මාණ එකතු කර අනාගත පරපුර සඳහා ප්‍රයෝජනයට ගැනීමට හැකිවන පරිදි සංරක්ෂණය කිරීමේ අරමුණින් ආරම්භ කරනු ලැබ ඇති කෞතුකාගාර ව්‍යාපෘතියේ පර්යේෂණ හා ගවේෂණ කටයුතු සඳහා විශේෂ කාර්යභාර අමාත්‍යාංශය වෙත 2018 වර්ෂය සඳහා වෙන් කරනු ලැබ ඇති අරමුදල්වලින් රුපියල් මිලියන 10ක් ලබා දීම පිණිස විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මත දිවෙන මහා මාර්ගයක් (Elevated Highway) ඉදි කිරීමේ ව්‍යා‍පෘතියේ, රාජගිරිය සිට අතුරුගිරිය දක්වා වන කොටස ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
    බත්තරමුල්ල, මාලබේ, අතුරුගිරිය යන ප්‍රදේශවලට සහ පිටත වටරවුම් මහාමාර්ගයට සම්බන්ධතාව සපයමින් නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන මංතීරු හතරකින් සමන්විත කණු මත ඉදි කරනු ලබන මහාමාර්ගයක් (Elevated Highway) ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා‍ දෙනු ලැබ තිබේ.

    මෙම ව්‍යාපෘතියේ II අදියර වශයෙන් රාජගිරිය සිට අතුරුගිරිය දක්වා වන කොටස ඉදි කිරීම සඳහා‍ වන ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 98.73ක මුදලකට M/s Resource Development Consultants (Pvt.) Ltd. සහ M/s SMEC International Pty වෙත පිරිනැමීම පිණිස හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමාගේ එකඟතාවද සැලකිල්ලට ගනිමින්, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    යාපනය ශික්ෂණ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම


    මෙරට රෝහල්වල සිදුවන මරණ සඳහා බලපාන හතරවන ප්‍රධානතම හේතුව ආඝාතය වේ. එබැවින්, ආඝාතය රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ පහසුකම් දිවයිනේ ප්‍රධාන රෝහල්වල ඇති කිරීමට රජය කටයුතු කරමින් සිටියි. ඒ යටතේ, යාපනය ශික්ෂණ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 633.97ක මුදලකට M/s Link Engineering (Pvt.) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය වන ප්‍රතිජීවක ඖෂධ මිල දී ගැනීම


    උග්‍ර ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමේ දී භාවිත කරනු ලබන ප්‍රතිජීවක ඖෂධයක් වන මෙරපෙනම් ග්රෑම් 1 ප්‍රමාණයේ (1g) එන්නත් 750,000ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන 1.08ක මුදලකට ඉන්දියාවේ M/s Scott Edil-Advance Research Laboratories & Education Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    රතිශක්තීකරණ ඌනතා සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය එන්නත් මිල දී ගැනීම


    ප්‍රතිශක්තීකරණ ඌනතා සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය වන අන්ත:ශෛරික භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනෝගොබියුලින් ග්රෑම් 5-6 ප්‍රමාණයේ එන්නත් 33,000ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන 3.06ක මුදලකට ඉන්දියාවේ M/s Reliance Life Science (Pvt.) Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහා කාර්යාලයීය ඉඩපහසුකම් ලබාගැනීම


    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ස්ථාපනය කර ඇති ගොඩනැගිල්ලේ ඉඩකඩ සීමිත වීම හේතුවෙන්, එම අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කොටසක්, නිදන්ගත වකුගඩු රෝග නිවාරණ වැඩසටහන සහ අමාත්‍යාංශයේ විමර්ශන, ප්‍රසම්පාදන, අභ්‍යන්තර විගණන සහ දේශීය වෛද්‍ය යන අංශ කුලී පදනම මත ලබාගත් ගොඩනැඟිල්ලක ස්ථාපනය කරනු ලැබ තිබේ. අදාළ කුලී ගිවිසුමේ කාලසීමාව අවසන් වීමට ආසන්නව ඇති අතර, දැනට ආරම්භ කරනු ලැබ ඇති, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහා නව කාර්යාලයීය ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කටයුතු අවසන් කෙරෙන තෙක් තවදුරටත් කුලී පදනම මත කාර්යලයීය ඉඩ පහසුකම් ලබාගැනීම අවශ්‍ය වේ.

    ඒ අනුව, අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, මාසික කුලිය රුපියල් මිලියන 9.07ක් බැගින්, අවුරුදු 2ක කාලසීමාවක් සඳහා කොළඹ 10, ශ්‍රී සංඝරාජ මාවතේ අංක 26 දරන ස්ථානයේ පිහිටි වර්ගඅඩි 55,000ක ඉඩකඩ සහිත Medi House (Pvt.) Ltd. ආයතනයට අයත් ගොඩනැඟිල්ල කුලී පදනම මත ලබා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    රජයේ රෝහල්වල භාවිතය සඳහා ගිලන් රථ 250ක් මිල දී ගැනීම


    රජයේ රෝහල් සඳහා ප්‍රමාණවත් පරිදි ගිලන් රථ සපයා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව පරිදි ගිලන් රථ 250ක් අදියර කිහිපයක් යටතේ මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

     

    ත්‍රිකුණාමලය කර්මාන්තපුරයේ III වන අදියර ස්ථාපිත කිරීම


    ත්‍රිකුණාමලය කර්මාන්තපුරයේ I සහ II අදියර මේ වන විට ආරම්භ කර ඇති අතර, එහි යෝජිත III වන අදියර ස්ථාපිත කිරීම සඳහා සිදු කළ යුතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යයන් ආරම්භ කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පොල්පිටිය - හම්බන්තොට 220kV සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම


    හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන, පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා වන කිලෝමීටර 150ක් දිගැති 220kV සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම සදහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 5,794.32ක මුදලකට M/s China National Cable Engineering Corporation ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    සයිබර් ආරක්ෂාව පිළිබඳ අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණදීම සඳහා පියවර ගැනීම


    සයිබර් අපරාධ හා සයිබර් තර්ජන වැඩිවීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ අන්තර්ජාලයේ ප්‍රවර්ධනයට සෘණාත්මකව බලපා තිබේ. ශ්‍රී ලංකාව මෙම ගැටලුව සම්බන්ධයෙන් දැනටමත් අවධානය යොමු කර ඇති අතර සයිබර් ආරක්ෂාව පිළිබඳ කටයුතු කරනු ලබන ජාතික මධ්‍යස්ථානය ලෙස 'ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය' (Sri Lanka Computer Emergency Readiness Team - Sri Lanka CERT/CC) පිහිටුවීමට කටයුතු කරනු ලැබ තිබේ. 2005 වර්ෂයේදී ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නි‍යෝජිතායතනයට (ICTA) අයත් පරිපාලිත ආයතනයකි. අන්තර් ජාතික පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම් හා සයිබර් ආරක්ෂාව පිළිබඳ අනිකුත් ආයතන සමඟ සමීපව ක්‍රියා කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, නීති බලාත්මක කිරීමේ ආයතන, අධිකරණ, ආරක්ෂක, බැංකු හා මූල්‍ය සේවා අංශය හා පුද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අදාළ ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් ජාතික මට්ටමේ සේවාවක් එම ආයතනය මඟින් සපයනු ලබයි.

     

    සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන හා පොදු මහජනතාවගේ ඉල්ලුම ඉහළ යමින් පවතින හෙයින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ කාර්යභාරයේ හා ක්‍රියාකාරකම්වල වැදගත්කම වැඩි වී තිබේ. එහි මෙහෙයුම් නොකඩවා පවත්වාගෙන යාම සඳහා සහ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම සඳහා එම සංසදය විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතට පවරා ගැනීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ජාතික විගණන පනත


    ජාතික විගණන පනත් කෙටුම්පත 2018-02-20 දින අමාත්‍ය මණ්ඩල ‍රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලද අවස්ථාවේදී, ඒ සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය ඇමතිතුමා; සහ පළාත් සභා හා පළාත් පාලන ඇමතිතුමා විසින් ඉදිරිපත් කර තිබූ නිරීක්ෂණ පරීක්ෂා කර බලා යෝජිත පනත් කෙටුම්පත තවදුරටත් සංශෝධනය කළ යුතු වන්නේ නම් ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමු කරන ලදී.

    ඒ අනුව, එම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලද අතර, එම නිර්දේශයන්හි යෝජනා කර ඇති සංශෝධන ඇතුළත් කිරීමට යටත්ව, ජාතික විගණන පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.

    සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

    මෙරට ජනතාව අතර හෘද රෝග, ආඝාතය වැනි බෝ නොවන රෝග ව්‍යාප්ත වීමේ ශීඝ්‍ර වර්ධනයක් පසුගිය කාලසීමාව තුළ පෙන්නුම් කරනු ලබයි. මෙරට සිදු වන මරණවලින් 75%ක්ම බෝ නොවන රෝග හේතුවෙන් ඇති වන අතර, ඉන් 40%කට පමණ ප්‍රධානතම හේතුව හෘද රෝග වේ. එබැවින් බෝ නොවන රෝග, විශේෂයෙන්ම හෘද රෝග නිවාරණය කිරීමට සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන සෞඛ්‍ය හා වෛද්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

    මේ යටතේ අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන මහ රෝහල්වල එම ප්‍රතිකාර සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිත වී ඇති අතර, ඒ සඳහා අරමුදල් සැපයීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය එකඟ වී තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන යෙන් මිලියන 10,639ක ණය මුදලක් ලබාගැනීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2018 යල කන්නයේ වී වගාව සඳහා රසායනික පොහොර සැපයීම

    2018 යල කන්නයේ වී වගා කිරීම සඳහා අපේක්ෂිත හෙක්ටයාර 500,000 ක පමණ කුඹුරු ප්‍රමාණයකට එළඹෙන අප්‍රේල් මස මුල් සතියේ සිට පොහොර සැපයීම සිදු කළ යුතු වේ. සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් පොහොර මිල දී ගැනීමේදී මෙම කාලසීමාවට ප්‍රථම පොහොර ආනයනය කර බෙදා හැරීම දුෂ්කර වන බැවින්, කඩිනම් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කර තරගකාරි මිල ගණන් කැඳවීම මඟින්, සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගෙන පොහොර සපයා ගැනීමටත්, ඒ සඳහා රජයේ පොහොර සමාගම් දෙක වන සීමාසහිත ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා භාණ්ඩාගාර සුරැකුම් නිකුත් කිරීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya