අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2018.02.20

    පෙබරවාරි 21, 2018

    2018.02.20 වැනි දින පැවති අමත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

     'අපේ සුවය - රටේ සවිය' ජාතික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන


    බෝ නොවන රෝග වළක්වා ගැනීම සඳහා ප්‍රජා සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් ග්‍රාමීය මට්ටමින් ආරම්භ කර ක්‍රියාත්මක කිරීම තුළින්, බෝ නොවන රෝග හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව පත්ව ඇති අවදානම් තත්ත්වයෙන් ඔවුන් මුදවා ගනිමින් නිරෝගිමත් කිරීම තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් නිර්මාණය කිරීමේ අරමුණින්, 'අපේ සුවය - රටේ සවිය' නමින් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය. ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවනු ලබන විශේෂ මෙහෙයුම් ඒකකයක සම්බන්ධීකරණය යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශ හා ආයතන සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට පොළොන්නරුව, කළුතර, මොනරාගල, බදුල්ල, මඩකළපුව හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල මෙය නියමු ව්‍යාපෘතියක් වශයෙන් ආරම්භ කර ක්‍රියාත්මක කිරීමටත්, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ජලනළ පද්ධතිය වැඩිදියුණු කිරීම

    ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගය පුළුල් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කරනු ලැබ තිබේ. කොළඹ නගරයට ජලය සැපයෙන වසර 100කට වඩා පැරණි ප්‍රධාන නළ පද්ධතියද එම මාර්ගය ඔස්සේ වැටී ඇති බැවින්, එකී මාර්ග සංවර්ධන කටයුතුවලට සමගාමීව ජලනළ පද්ධතිය නැවත එළීමේ කටයුතු ආරම්භ කළ යුතු වේ.

    ඒ අනුව, මෙම ජලනළ ඇතිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සපයා ගැනීමේ අරමුණින්, දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති පරිදි ඔස්ට්‍රියානු යුනික්‍රෙඩිට් බැංකුව (Unicredit Bank Austria AG) සහ මහජන බැංකුව සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ග්‍රාමීය පාලම් ඉදි කිරීම


    ප්‍රවාහන සම්බන්ධතා ගොඩනැඟීම මඟින්, දුර බැහැර පිහිටි පසුගාමී ගම්මාන රැසක වෙසෙන ජනතාවට වෙළඳ පොළ, අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් වෙත ඇති ප්‍රවේශය ඉහළ නැංවීමේ අරමුණින් පාලම් 4,000ක් ඉදි කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. එක්සත් රාජධානියේ ඍජු ණය දීමේ පහසුකම (Direct Lending Facility) මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් ලබාගැනීමට හිතකර ණය මූලාශ්‍රයක් ලෙස හඳුනාගනු ලැබ තිබේ.

    ඒ අනුව, බ්‍රිතාන්‍ය පවුම් මිලියන 50ක පිරිවැයක් යටතේ ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් රාජධානියේ ඉදි කිරීම් ආයතනයන්ගෙන් යෝජනා කැඳවීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත බලය පැවරීමටත්, එහිදී ඉදිරිපත් වන යෝජනා හා මිල ගණන් ඇගයීමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ තාක්ෂණ ඇගයීම් කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව වෙත බලය පැවරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (General Education Modernization - GEM) සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම


    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් මෑත දශකය තුළ දක්නට ලැබෙන නමුත්, ප්‍රධාන විෂයන්හි ඉගෙනුම් ප්‍රතිඵලවල ප්‍රගතිය රටේ විවිධ පළාත් අනුව විෂමතාවක් පෙන්වයි. එමෙන්ම, පාසල් දරුවන් යහපත් පුරවැසියන් බවට පත් කරන සහ වර්තමාන ගෝලීය ආර්ථිකය තුළ ඵලදායී තැනැත්තන් බවට පත් කරන පරිදි, ගැටලු විසඳීම, ඉලක්ක ළඟා කරගැනීම සඳහා වන අභිප්‍රේරණය, නියාමනය, විශ්වාසය, කණ්ඩායම් ක්‍රියාකාරකම් හා ආචාර ධර්ම වර්ධනය වැනි සමාජ-භාවමය නිපුණතාවන් වර්ධනය වන ආකාරයෙන් සමාන්‍ය අධ්‍යාපන පද්ධතිය වැඩිදියුණු කිරීම කෙරෙහි තවදුරටත් අවධානය යොමු කළ යුතු බව හඳුනාගෙන තිබේ.

    ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන 'දැනුම කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයකට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියේ' අත්දැකීම් මත පදනම්ව සහ දියුණු රටවල අධ්‍යාපන පද්ධතීන් හා සමගාමීව සාමාන්‍ය අධ්‍යාපන අංශය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා 'පාසල් අධ්‍යාපනය පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය' නමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන සමායතනය මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් සලසා ගැනීම සඳහා ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත

    ජාත්‍යන්තර වශයෙන් සිදු කෙරෙන මගී, ගමන්මලු සහ ගුවන් බඩු ප්‍රවාහනයට අදාළ වන රීති සඳහා අවශ්‍ය ඒකාකාරීභාවය සහ පූර්වේක්ෂණය කළ හැකි බව ලබා දීම 'ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහනය සඳහා වන යම් යම් රීති එක් කිරීම සඳහා වන සම්මුතියෙහි' පරමාර්ථය වේ. 1998 වර්ෂයේදී මොන්ට්‍රියල්හිදී ඇති කර ගෙන ඇති එම සම්මුතියට ශ්‍රී ලංකාව පාර්ශ්ව රාජ්‍යයක් වේ.

    එම සම්මුතියට මෙරට තුළ බලාත්මක භාවයක් ලබා දීම සඳහා වන පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලය වෙත මී‍ට පෙර ඉදිරිපත් කරන ලදුව, එය ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත යොමු කරන ලදී. ඒ අනුව, එම අනුකමිටුව විසින් ලබා දී ඇති නිර්දේශද ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් පිළියෙල කරන ලද 'ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත' රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මීතොටමුල්ල ඝන අපද්‍රව්‍ය බහාලුම් ස්ථානය නායයෑම හේතුවෙන් ඉවත් කළ නිවාස හිමියන් සඳහා රු.50,000/- දීමනාව ලබා දීම


    මීතොටමුල්ල ඝන අපද්‍රව්‍ය බහාලුම් ස්ථානය නායයෑම හේතුවෙන් හානියට පත් හා අවදානම් කලාපයෙන් ඉවත් කරන ලද පවුල් සඳහා විකල්ප නිවාස හෝ නිවාස වන්දි ලබා දෙන තෙක් කුලී දීමනා ගෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් දැනටමත් ගනු ලැබ තිබේ. එසේම එම ප්‍රදේශයේ අවදානම් කලාපය තුළ තිබෙන නිවාස පිහිටි ඉඩම් සහ නායයාමෙන් හානියට පත් නිවාස පිහිටි ඉඩම් රජයට පවරා ගැනීමටත්, හානියට පත් ප්‍රදේශයේ පිහිටා තිබූ පෞද්ගලික ඉඩම් සඳහා වන්දි ගෙවීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත.

    එසේ විකල්ප නිවාස ලබා නොගත්, ආපදාව හේතුවෙන් හානියට පත් වූ හෝ අවදානම් කලාපයේ නිවාස පිහිටි මෙතෙක් නිවාස තක්සේරු වන්දි ලබා දී නොමැති පෞද්ගලික ඉඩම් හිමියන් සඳහා ඔවුන්ගේ ඉඩම්වල වටිනාකම තක්සේරු කිරීමේ කාර්යය අවසන් කර වන්දි ලබා දෙන තෙක් නිවාස කුලී දීමනාව තවදුරටත් ලබා දීම අවශ්‍ය බව පෙනී ගොස් ඇත. ඒ අනුව, එසේ හඳුනා ගනු ලැබ ඇති පවුල් 60ක් සඳහා මසකට රුපියල් 50,000/- බැගින් තවදුරටත් ගෙවල් කුලී දීමනාව ලබා දීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර විද්‍යාත්මක හා පර්යේෂණ අධ්‍යයනයන් පිළිබඳ සහයෝගිතාව වර්ධනය කරගැනීම


    ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර විද්‍යාත්මක හා පර්යේෂණ අධ්‍යයනයන් පිළිබඳ සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම සහ ජර්මනියේ ජර්මානු විද්වතුන් හුවමාරු කරගැනීමේ සේවාව (German Academic Exchange Service - DAAD) අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මධ්‍යම ආදායම්ලාභී නිවාස ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම


    මුල් වරට නිවසක් මිල දී ගනු ලබන මධ්‍යම ආදායම්ලාභීන්ට, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස සංවර්ධන ව්‍යාපෘති වෙතින් නිවසක් මිල දී ගැනීම සඳහා සහන පොලියක් යටතේ මූල්‍ය පහසුකම් සැපයීමට 2018 අයවැය මඟින් යෝජනා කර තිබේ.

    ඒ අනුව, ණය ආපසු ගෙවීමේ උපරිම කාල සීමාව වසර 25ක් සහිතව, උපරිමය රුපියල් මිලියන 5ක් දක්වා ඉතිරි කිරීමේ බැංකුව මඟින් ණය ලබා දීමට සැලසුම් කර තිබේ. එහිදී පළමු වසර 5 සඳහා 7%ක සහන පොලී අනුපාතිකයක් යටතේ එම ණය නිකුත් කිරීමට යෝජිතය. එහිදී එම බැංකුවට අය විය යුතු ඉතිරි පොළිය වන 5% රජය විසින් දරනු ලැබේ. මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමඟ අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම


    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර, ගාල්ල, යාපනය, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකළපුව, බදුල්ල, රත්නපුරය, මාතර, කුරුණෑගල, නුවරඑළිය සහ දඹුල්ල යන නගර 13 'උපායමාර්ගික නගර' ලෙස සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන තිබේ. ඒ යටතේ ක්‍රියාත්මක කෙරෙන 'තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය' මඟින් රට පුරා විහිදී ඇති ඉහළ සංවර්ධන විභවතාවයක් සහිත ආර්ථික ජාලයන්ට (Corridors) අයත් වන, කොළඹින් බැහැර පිහිටි නාගරික කේන්ද්‍රස්ථාන සංවර්ධනය කෙරෙනු ඇත.

    එහිදී නගර අතර මූලික සේවා වැඩිදියුණු කිරීම මඟින් විශාල යටිතල පහසුකම්වල පවතින පරතරයන් අවම කිරීම, නාගරික කේන්ද්‍රස්ථාන අතර සංචලතාව හා සම්බන්ධතාව වැඩිදියුණු කිරීම, නාගරික පහසුකම් දියුණු කිරීම, දේශීය උරුමයන් සංරක්ෂණය කිරීම, වැසි ජල අපවහන කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, සනීපාරක්ෂාව හා බැඳුණු කාර්යයන් වැනි පාරිසරික සංරක්ෂණය වැඩිදියුණු කිරීම සහ එම නගරවල ජීවත්වීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම යනාදිය කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත. ඒ අනුව, යෝජිත තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පාර්ලිමේන්තුවේ කාර්යාල, ජාතික කොමිෂන් සභා කාර්යාල, අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ වෙනත් අදාළ රජයේ කාර්යාල සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම


    පාර්ලිමේන්තුවේ කටයුතුවලට අදාළ කාර්යාල, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ස්ථාපනය කරනු ලැබ ඇති ජාතික කොමිෂන් සභා කාර්යාල, අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ වෙනත් යම් අදාළ රජයේ කාර්යාල සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ ජපන් මිත්‍රත්ව මාර්ගය ආශ්‍රිත භූමිභාගයක ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. වර්ග මීටර 35,000ක ගොඩනැඟිලි පහසුකම් ද, වර්ග මීටර 15,000ක පොදු අවකාශ ද, වාහන නැවැත්වීමේ පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම්වලින් ද සමන්විතව වසර තුනක (03) කාලසීමාවක් තුළ මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමට සැලැසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතියට අදාළ කටයුතු සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

     

    සංවිධානාත්මක අපරාධ පිළිබඳ කටයුතු කිරීම පිණිස වන දකුණු ආසියානු කලාපීය බුද්ධි සේවා හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම


    දකුණු ආසියානු කලාපයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය උවදුර මැඬ පැවැත්වීමේ අරමුණින්, එම කලාපයේ රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේ හා සම්බන්ධීකරණය කිරීමේ කලාපීය මධ්‍යස්ථානය (South Asian Regional Intelligence and Coordination Centre - SARICC) ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමටත්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල පරිශ්‍රය තුළ එය තාවකාලික වශයෙන් ස්ථාපිත කිරීමටත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනත සංශෝධනය කිරීම


    කාලානුරූපී අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන, 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනත සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වය හා ඒවායේ බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනය කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු අදාළ පාර්ශ්වවල අදහස්ද සැලකිල්ලට ගනිමින්, ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) සංශෝධන පනත් කෙටුම්පත සකස් කරනු ලැබ තිබේ.

    සියලු රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම, රාජ්‍ය නොවන සංවිධාන නියාමනය හා අධීක්ෂණය සඳහා බලයලත් ආයතනය වන රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලය ව්‍යවස්ථාපිත ආයතනයක් වශයෙන් ස්ථාපනය කිරීම, රාජ්‍ය නොවන සංවිධාන හා රජය අතර, අන්‍යෝන්‍ය සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම, රටේ පොදු සංවර්ධන අවශ්‍යතා සපුරාලීමේ ප්‍රයත්නයේදී රාජ්‍ය නොවන සංවිධාන පිළිගැනීම, සිවිල් සමාජය ශක්තිමත් කිරීම හා සවිබල ගැන්වීම, රාජ්‍ය නොවන සංවිධානවල ඵලදායි ක්‍රියාකාරිත්වය සඳහා පහසුකම් සැලැසීම සහ ඒවායේ මුදල්, ප්‍රතිපත්ති හා කළමනාකරණය සම්බන්ධයෙන් විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීම යෝජිත සංශෝධනය සිදු කිරීමේ පරමාර්ථ වේ. ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ම‍නෝ ගනේෂන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය යටතේ ගල්කිස්ස සිට අඟුලාන දක්වා වෙරළ තීරණය සකස් කිරීම


    බස්නාහිර වෙරළ තීරයේ වෙරළ ඛාදනයට ලක් වන ස්ථාන වශයෙන් හඳුනාගෙන ඇති ගල්කිස්ස, දෙහිවල, රත්මලාන වෙඩිකන්ද සහ මොරටුව යන වෙරළ තීර ආවරණය වන පරිදි, කොල්ලුපිටියේ සිට ගල්කිස්ස දක්වා වන වෙරළ තීරයේ යාන්ත්‍රික වැලි පෝෂණ විධි ක්‍රමය (Sand Engine Methodology) මඟින් වෙරළ තීරය ස්ථායි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ.

    මේ සඳහා ක්‍රියාත්මක කරනු ලබන දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය සඳහා 2018 අයවැය මඟින් වෙන් වී ඇති රුපියල් මිලියන 800ක ප්‍රතිපාදන උපයෝජනය කරමින් ගල්කිස්ස සිට අඟුලාන දක්වා කිලෝමීටර 5.5ක පමණ වන දිගින් යුතු වෙරළ තීරය වැලි පෝෂණය මඟින් ස්ථායී කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරි මිල ගණන් කැඳවීමේ ක්‍රියාවලිය යටතේ සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

     

    මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන කොටස ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම


    මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන කොටස වන පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක් දිගැති මාර්ග කොටස ඉදි කිරීම සඳහා ජපන් යෙන් බිලියන 100ක අරමුදල් සැපයීමට ජපානයේ ටෝකියෝ මිට්සුබිෂි බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව, එම මාර්ග කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, ජපානයේ M/s Taisei Corporation ආයතනය වෙත පිරිනැමීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    කොළඹ වරාය නගර භූමිය සඳහා අපජල බැහැර කිරීමේ පහසුකම් සැලසීම


    දැනට ඉදි කෙරෙමින් පවතින කොළඹ වරාය නගරය සඳහා අවශ්‍ය උපයෝගිතා යටිතල පහසුකම් සම්පාදනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා රජය වෙත පැවරී තිබේ. ඒ අනුව, අපජලවහන පහසුකම් සැලසීම පිණිස කොළඹ වරාය නරගයේ සිට මාදම්පිටිය පොම්පාගාරය දක්වා මිලිමීටර 900ක විෂ්කම්භයකින් යුතු කිලෝමීටර 5.5ක් දිගැති ප්‍රධාන අපජල නළයක් යෙදීමට සැලසුම් කර තිබේ. මෙම ප්‍රධාන අපජල නළ මාර්ගය එළීමට යෝජිත මාර්ගයේ මැකලම් ඇළ (බේරේ මෝය) හරහා වන කොටසේ ඒ සඳහා සීමිත අවකාශයක් පවතින බැවින්, දැනට එම ස්ථානයේ ඇති අප ජල නළ මාර්ග 02 සඳහා පොදු නළ මාර්ගයක් යොදා ගැනීමට සැලසුම් කර ඇත.

    ඒ අනුව, එම කොටස සඳහා පොදු නළ මාර්ගයක් යෙදීම සඳහා ටැඹ අත්තිවාරම් යෙදීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 48ක මුදලකට, දැනට එම ස්ථානයේ විදුලිබල මණ්ඩලයේ භූගත රැහැන් නළයට ටැඹ අත්තිවාරම් යෙදීමේ නිරතව සිටින M/s ELS Construction (Pvt) Ltd ආයතනය වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

     

    'හරිත බලශක්ති සැංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන' යටතේ ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම


    ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන' යටතේ ඉතිරි වී ඇති අරමුදල් භාවිත කරමින් පන්නල ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීමටත්, පන්නිපිටිය සහ වේයන්ගොඩ ග්‍රිඩ් උපපොළවල් සඳහා විදුලි ට්‍රාන්ස්ෆෝමර දෙකක් මිලදී ගැනීමටත්, කළුතර, කැස්බෑව, පරණ අනුරාධපුරය, කප්පල්තුරෙයි හා කෙරවලපිටිය යන ග්‍රිඩ් උපපොළවල් සඳහා 36kV GIS සම්බන්ධ කිරීමේ පැනල පහක් මිල දී ගැනීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කොළඹ මහ නගර සභාව සඳහා අවශ්‍ය ගිනි නිවීමේ වාහන/උපකරණ සැපයීම


    කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල සිදු කෙරෙන සංවර්ධන කටයුතුවලට සමගාමීව, විශේෂයෙන්ම බහු මහල් ගොඩනැඟිලිවල නිවැසියන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාව තහවුරු කිරීමේදී කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, දැනට විශාල වියදමක් දරමින් නඩත්තු කරනු ලබන එම දෙපාර්තමේන්තුව සතු ගිනි නිවීම් වාහන සංචිතය සඳහා නව ගිනි නිවීම් රථ හා උපකරණ සැපයීමට යෝජනා වී තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි, යුරෝ මිලියන 10.3ක මුදලකට ඔස්ට්‍රියාවේ M/s Rosenbauer International AG ආයතනය වෙත පිරිනැමීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම


    කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි සහ විශ්වවිද්‍යාලයේ සහ නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන පහත සඳහන් කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි, ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    (i) කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය සඳහා ශිෂ්‍ය සේවා මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 381.49ක මුදලකට, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පිරිනැමීම.

    (ii) ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා හැකියා සංවර්ධන මධ්‍යස්ථානයක් සහ විභාග ශාලාවක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 215.42ක මුදලකට, මධ්‍යම ඉංජිනේරු සේවා පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම.

    (iii) නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපය සඳහා බහු කාර්ය ශ්‍රවනාගාරයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 674.47ක මුදලකට M/s Link Engineering (Pvt) Ltd. වෙත පිරිනැමීම.

    (iv) නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 701.18ක මුදලකට M/s Edward and Christie (Pvt) Ltd. වෙත පිරිනැමීම.

     

    කෘෂිකාර්මික කටයුතු සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබා දෙන ඉඩම් සඳහා බදු සහන ලබා දීම


    1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනත යටතේ නිවාස ඉදි කිරීමට හා වාණිජ කටයුතු සඳහා බදු පදනම මත ඉඩම් බැහැර කිරීමේදී බදු කරුවන් වෙත බදු සහන ලබා දෙනු ලැබ තිබේ. එහෙත් වාණිජ පදනමින් සිදු කෙරෙන කෘෂිකාර්මික කටයුතු සඳහා එම ආඥාපනත යටතේ රජයේ ඉඩම් ලබා දීමේදී වාණිජ පදනමින් ඉඩම් බැහැර කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කෙරෙන බැවින් මහා පරිමාණ කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සඳහා රජයේ ඉඩම් නිකුත් කිරීම සීමා වී තිබේ.

    ඒ අනුව, රටේ ‍කෘෂි ක්ෂේත්‍රයේ සංවර්ධනය ඉලක්ක කරගනිමින් කෘෂිකර්ම කටයුතු සඳහා රජයේ ඉඩම් ආඥාපනත යටතේ දීර්ඝකාලීන බදු පදනම මත ඉදිරියේදී ඉඩම් ලබා දීමේදී පහත සඳහන් බදු සහන ලබා දීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    (i) වාර්ෂික බදු මුදල මෙන් තුන්ගුණයක් ලෙස එක් වරක් පමණක් අය කරනු ලබන වාර මුදල අය නොකිරීම.

    (ii) සෑම වර්ෂ 05කට වරක් 50%කින් වැඩි වන පරිදි සිදු කරනු ලබන බදු මුදල් ප්‍රතිශෝධනය වෙනුවට, බදු ප්‍රතිශෝධනය කරනු ලබන වර්ෂයට පෙර වර්ෂයේ පැවති බදු මුදලට 20%ක ප්‍රමාණයක් පමණක් එකතු කිරීමෙන් ප්‍රතිශෝධනය කිරීම.

    (iii) පළමු බදු කාලය අවසන් වීමෙන් පසු බදු කාලය නැවත දීර්ඝ කිරීමේදී, මුල් බදු කාලය අවසානයේ අය කළ බදු මුදලට 20%ක ප්‍රමාණයක් එකතු කර ලබා ගන්නා අගය දෙවන බදු කාලයේ ආරම්භක බදු මුදල ලෙස සැලකීම.

    ශ්‍රී ලංකා කඩිනම් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව මඟින් අරමුදල් සලසා ගැනීම
    - ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවට තිරසර විසඳුම් ලබා දීමේ අරමුණින් පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පරිශ්‍රයක් ඉදි කිරීම ඇතුළු විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා කඩිනම් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබ තිබේ. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 274ක් වේ.

    එම පිරිවැයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 115ක මුදලක් ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික බැංකුව මඟින් ලබා ‍ගැනෙන අතර, ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 115ක මුදලක් සැපයීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවද කැමැත්ත පළ කර තිබේ. ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 44ක මුදල ශ්‍රී ලංකා රජය විසින් දරනු ලැබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වෙතින් ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 115ක ණය මුදල ලබාගැනීම සම්බන්ධයෙන් එම බැංකුව සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya