අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 20172.02.07

    පෙබරවාරි 08, 2017

    2017.02.07 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

     

    2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත සංශෝධනය කිරීම


    2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත, පාර්ලිමේන්තුව විසින් 2016 අගෝස්තු මස 23 දින අනුමත කරනු ලැබ ඇත. එම කාර්යාලය වෙත පැවරී ඇති කාර්යභාරය ඉටු කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් සමඟ ගිවිසුම්වලට එළඹීමට එකී කාර්යාලයට බලය පවරන ලද ඉහත සඳහන් පනතේ 11 වගන්තියේ (අ) ඡේදය ඉවත් කරන ලෙස යෝජනා ඉදිරිපත්ව ඇත. ඒ අනුව, එකී පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ද සොයිසා මාතෘ රෝහලෙහි ළදරු සහ ප්‍රසව විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය

     

    ද සොයිසා මාතෘ රෝහලෙහි ළදරු සහ ප්‍රසව විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ අරමුණින්, එම රෝහල වෙත අත්‍යවශ්‍ය යටිතල පහසුකම්, උපකරණ සහ එහි රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් කරනු ලැබ තිබේ. ස්ථාපිත කරනු ලැබීමට නියමිත මධ්‍යස්ථානය ළදරු සෞඛ්‍ය සම්බන්ධයෙන් වන ජාතික මට්ටමේ පුරෝගාමී මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ප්‍රංශයේ ක්‍රෙඩිට් ඇග්‍රිකෝල් කොපරේට් ඇන්ඩ් ඉන්වෙස්මන්ට් බැංකුව (Credit Agricole Corporate and Investment Bank of France) සහ ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුව සමඟ ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතියේ මූලික ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා ව්‍යාපෘති සැලසුම්කරණ අත්තිකාරම් ණය මුදලක් ලබාගැනීම


    පෝෂණ තත්ත්වය, ආහාර සුරක්ෂිතතාව සහ ධීවර නිෂ්පාදනය ඉහළ දැමීම මඟින් උතුරු පළාතේ වෙසෙන ධීවර ප්‍රජාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, යාපනය, මුලතිව් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල වෙරළාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි, 'උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. මෙමඟින් උතුරු පළාතේ ධීවර පවුල් 40,000කට පමණ ප්‍රතිලාභ හිමි වනු ඇත. මෙම ව්‍යාපෘතියේ මූලික ව්‍යාපෘති ක්‍රියාකාරකම් ආරම්භ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඇමරිකන් ඩොලර් මිලියන 1.3ක අත්තිකාරම් ණය මුදලක් ලබාගැනීම වෙනුවෙන් ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ග්‍රාමීය පාලම් ඉදි කිරීම


    ප්‍රවාහන සම්බන්ධතා ගොඩනැඟීම මඟින්, දුර බැහැර පිහිටි පසුගාමී ගම්මාන රැසක වෙසෙන ජනතාවට වෙළඳ පොළ, අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් වෙත ඇති ප්‍රවේශය ඉහළ නැංවීමේ අරමුණින් පාලම් 4,000ක් ඉදි කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීමට නෙදර්ලන්ත, බෙල්ජියම් සහ ඔස්ට්‍රියානු රජයන් එකඟ වී ඇති අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගනු ලබන එක්සත් රාජධානියේ සැපයුම්කරුවන් සඳහා කොන්ත්‍රාත් වටිනාකමින් 85%ක් දක්වා සෘජු මූල්‍ය පහසුකම් එරට භාණ්ඩාගාරය මඟින් සලසා දිය හැකි බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් දැනුම් දෙනු ලැබ තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය පවුම් මිලියන 50ක වටිනාකමකින් යුතු ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා, පාලම් ඉදි කරනු ලබන, එක්සත් රාජධානියේ සමාගම් වෙතින් මූල්‍ය යෝජනාද ඇතුළත්ව මිල ගණන් කැඳවීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ඇමරිකා එක්සත් ජනපදය සමඟ එළඹි සහයෝගිතා ගිවිසුම් සංශෝධනය කිරීම


    සමාජ ඒකාබද්ධතාව සහ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණය සඳහා වූ ශක්තිමත් හවුල්කාරිත්වය' (Strengthened Partnership for Democratic Reform & Social Integration) සහ 'ඉහළ නැංවුණු සමතුලිත ආර්ථික වර්ධනය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය (Increased Equitable Economic Growth and Public Financial Management)' යන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා, ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකා එක්සත් ජනපද රජය සමඟ 2011 වර්ෂයේදී එළඹෙන ලද ගිවිසුම් අනුව ලබා දීමට එකඟ වූ මූල්‍යමය දායකත්වය ඉහළ නැංවීමට ඇමරිකා එක්සත් ජනපද රජය එකඟ වී ඇති බැවින්, ඒ අනුව අදාළ ගිවිසුම් සඳහා වන සංශෝධනයන්ට අත්සන් තැබූ බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

     

    ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණය සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම


    'ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණ සහයෝගිතා වැඩසටහන' සහ 'ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැඩසටහන' ක්‍රියාත්මක කිරීම සඳහා පිළිවෙළින් යුරෝ මිලියන 30ක් සහ යුරෝ මිලියන 14.5ක ප්‍රදාන ආධාර ලබා දීමට යුරෝපා සංගමය එකඟ වී ඇති අතර, ඒ අනුව එම සංගමය සමඟ ඊට අදාළ මූල්‍ය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මල් වගාව තුළින් උසස් ජීවන තත්ත්වයක් ඇති කරගැනීම සඳහා වගාකරුවන් සවිබල ගැන්වීම


    කාන්තාවන් සහ තරුණයින් සඳහා ස්වයං රැකියාවන් ඇති කිරීම මඟින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමෙහි ලා මල්වගා ක්ෂේත්‍රයෙන් ඉමහත් දායකත්වයක් ලබාගත හැකිය. මල් වගාව මඟින් ශ්‍රී ලංකාව විසින් 2015 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 18කට වැඩි අපනයන ආදායමක් උපයාගනු ලැබ ඇති අතර, එය තවදුරටත් පුළුල් කිරීමේ හැකියාවක් පවතී. ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්ක මට්ටමින් මල්වගා සංවර්ධන ක්‍රියාකාරකම්වල දීර්ඝ කාලයක සිට යෙදී සිටින අතර, මේ වන විට දිස්ත්‍රික්ක 17ක 'සුවහස් මල් සමිති' 173ක් පිහිටුවනු ලැබ තිබේ. ඒ අනුව, උතුරු හා නැ‍ඟෙනහිර පළාත් ද මෙම වැඩසටහනට ඇතුළත් කරගනිමින්, මල්වගා ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, තාක්ෂණික තොරතුරු, උසස් රෝපණ ද්‍රව්‍ය, වගා පුහුණුව සහ අලෙවිකරණ සහාය ලබා දෙමින්, සුළු හා මධ්‍ය පරිමාණ මල්වගාකරුවන්, විශේෂයෙන්ම මල් වගාවේ නියුතු කාන්තාවන් සවිබල ගැන්වීම ඉලක්ක කරගත් මල්වගා ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්, රුපියල් මිලියන 228.5ක පිරිවැයකින්, 2017-2021 පස් අවරුදු කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය‍ වශයෙන් ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    උසස් අධ්‍යාපන ව්‍යාප්තිය සහ සංවර්ධනය කඩිනම් කිරීමේ (AHEAD) ව්‍යාපෘතිය


    නවීන සහ ගෝලීය දැනුම මුල් කරගත් ආර්ථිකයක් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියට සරිලන ලෙස ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කළ යුතුව තිබේ. උපාධිධාරින් අතර ඌන සේවා වියුක්තිය අවම කිරීමේදී, අධ්‍යයන වැඩසටහන්වල ගුණාත්මකභාවය සහ ශිෂ්‍යයන්ගේ රැකියා අභිමුඛ කුසලතා ඉහළ නැංවීමටත්, ඉ‍ගැන්වීම් හා ඉ‍ෙගනුම් ක්‍රම මෙන්ම ඇගයීම් ක්‍රම වැඩිදියුණු කිරීමටත් ප්‍රමුඛතාව දිය යුතුව තිබේ. එමෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාලනය සහ කළමනාකරණය, ආයෝජනය සහ මූල්‍යනය මෙන්ම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුවේ. මෙම ක්ෂේත්‍රයන්හි පවතින ගැටලු විසඳීම අරමුණු කරගනිමින් 'උසස් අධ්‍යාපන ව්‍යාප්තිය සංවර්ධනය කඩිනම් කිරීමේ ව්‍යාපෘතියක්' (AHEAD), ලෝක බැංකු ආධාර යටතේ, වසර 6ක කාල පරිච්ඡේදයක් තුළ ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකාවේ රෝහල්වල කිළිටි රෙදි සේදීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම


    ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමේදී, රෝගීන්ගේ සනීපාරක්ෂක කටයුතු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීමට සිදුවේ. එහිදී රෝගීන්ගේ කිළිටි රෙදි, ඇඳ ඇතිරිලි, ශල්‍ය කර්මවලට භාජනය කරනු ලබන රෝගීන්ගේ ඇඳුම් සහ ශල්‍යාගාර කාර්ය මණ්ඩලය විසින් භාවිත කරනු ලබන ඇඳුම් යනාදිය වර්ග කොට, ජීවානුහරණය කරමින් නියමිත පරිදි සෝදා වේලා ගැනීම අනිවාර්ය වේ. රෝහල්වල කිළිටි රෙදි සේදීම වර්තමානයේ බොහෝ දුරට පෞද්ගලික පාර්ශ්වයන් මඟින් සිදු කර ගනු ලබන අතර, එම ක්‍රියාවලිය එතරම් සතුටුදායක මට්ටමක නොපවතින බව නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව, බස්නාහිර පළාත තුළ පිහිටි රෝහල්වල කිළිටි රෙදි සේදීමේ කාර්යය සිදු කිරීම සඳහා යන්ත්‍රාගාරයක් ඉදි කර, පවත්වාගෙන යාමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කැලණිය, වෙදමුල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන දසසිල් මාතා ආරාමය පිහිටි ඉඩම් කොටස එකී දසසිල් මාතා ආරාමය වෙත නිරවුල් කොට පවරා දීම


    කැලණිය, වෙදමුල්ල ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු ඉඩම් කොටසක්, සුධර්මා දසසිල් මාතා ආරාමය වෙත ලබා දෙනු ලැබ ඇති අතර බෝධියක් රෝපණය කරනු ලැබ ඇති ඊට යාව පිහිටි ඉඩම් කොටසද එම ආරාමය විසින් භාවිත කරනු ලබයි. ඒ අනුව, එම දසසිල් මාතා ආරාමය විසින් භුක්ති විඳිනු ලබන, පර්චස් 7.56ක ප්‍රමාණයෙන් යුත් සම්පූර්ණ ඉඩම් කොටස, එම ආරාමය වෙත නිරවුල් කොට පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මහවැලි වම් ඉවුරු පහළ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය


    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා සහ කන්තලේ යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශද, පෙළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයද ඇතුළත් වන පරිදි, ඉඩම් අක්කර 4,000ක් සඳහා යල හා මහ යන දෙකන්නයේදීම වාරි ජලය සැපයීමේ අරමුණින්, රුපියල් මිලියන 6,250ක ඇස්තමේන්තුගත පිරිවැයකින් 'මහවැලි වම් ඉවුරු පහළ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    1961 අංක 29 දරන මහජන බැංකු පනත සංශෝධනය කිරීම


    මහජන බැංකුවේ මූල්‍යමය ස්ථාවරත්වය සහ මෙහෙයුම්වල ඵලදායීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රජය ඇපවීමකින් තොරව බලයලත් කොටස් ප්‍රාග්ධනය වැඩි කරගැනීමට හා ණයකර නිකුත් කිරීමට හැකිවන පරිදි විධිවිධාන ඇතුළත් කරමින්, 1961 අංක 29 දරන මහජන බැංකු පනතේ 12, 20, 21 හා 43 අදාළ වගන්ති සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පී පුහුණුව


    මහා පරිමාණ ඉදි කිරීම් ව්‍යාපෘතිවල දිනෙන් දින වැඩිවෙමින් පවතින අවශ්‍යතා ඉටු කිරීම සඳහා යොදා ගැනෙන ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීමට හා නඩත්තු කිරීමට පුහුණුව ලත්, දැනුමින් සන්නද්ධ කාර්මික ශිල්පීන්ගේ සහාය අවශ්‍ය වේ. මෙවැනි කාර්මික ශිල්පීන් සඳහා දේශීය හා විදේශීය රැකියා වෙළඳ පොළෙහි වැඩි ඉල්ලුමක් පවතින අතර, ඔවුන් පුහුණු කිරීම සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. ඒ අනුව, නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානය (CETRAC) මඟින් ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පීන් පුහුණු කිරීමේ තුන් අවුරුදු පූර්ණකාලීන පාඨමාලාවක් (NVQ 4 මට්ටමේ) පැවැත්වීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ගාල්ල වරායේ යොට් යාත්‍රා අංගණය සංවර්ධනය කිරීම


    ගාලු වරායේ රුවල් නැව් යාත්‍රා මධ්‍යස්ථානයක් සංවර්ධනය කර මෙහෙයුම් කිරීම සහ ඊට අදාළ ව්‍යාපාර සිදු කිරීම සඳහා කැමැත්තක් දක්වන සුදුසු සංවර්ධකයෙකු/ආයෝජකයෙකු හඳුනාගැනීම සඳහා ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි 'Swiss Challenge' ක්‍රමවේදය අනුගමනය කරමින් යෝජනා කැඳවීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    හිංසනයෙහි වින්දිතයන් බවට පත්වන කාන්තාවන් උදෙසා ආරක්ෂාව සැලසීම වෙනුවෙන් වූ තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය කිරීම


    විවිධ හිංසාකාරී සිදුවීම්වලට මුහුණපාන, ඉන් රැකවරණයක් ලැබීමේ අවශ්‍යතාව සහිත කාන්තාවන්ට නෛතික සහාය, උපදේශනය හෝ වෙනත් සේවාවන් ලබා දීමට අතිරේකව සහන මධ්‍යස්ථාන/තාවකාලික රැකවරණ මධ්‍යස්ථාන පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය බැඳී සිටියි. යාපනය, මඩකලපුව, මුලතිව් හා රත්නපුරය යන දිස්ත්‍රික්කයන්හි රජය විසින් තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කරනු ලැබ ඇති නමුත් සුදුසුකම්ලත් සම්පත්ධාරීන්ගේ ඌනතාව හේතුවෙන් ඒවායේ පරිපාලන කටයුතු මෙතෙක් ආරම්භ කරනු ලැබ නොමැත. ඒ අනුව මෙවැනි තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ අත්දැකීම් සහිත රාජ්‍ය නොවන සංවිධාන හවුල් කරගනිමින් යාපනය, මඩකලපුව, මුලතිව් හා රත්නපුරය යන දිස්ත්‍රික්කවල පිහිටි රජයේ තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන පවත්වාගෙන යාමටත්, රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පාලනය කරනු ලබන, කොළඹ හා මාතර දිස්ත්‍රික්කයන්හි පිහිටි තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන සඳහා රජයේ අනුග්‍රහය ලබා දීමටත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    සාර්ක් (SAARC) සංවිධානයට අයත් රටවල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ 08 වෙනි රැස්වීම සහ ලේකම්වරුන්ගේ හා ආගමන බලධාරින්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම


    සාර්ක් සංවිධානයට අයත් රටවල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ 08වෙනි රැස්වීම සහ එයට පූර්වගාමීව පැවැත්වෙන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රැස්වීම හා සාර්ක් රටවල්වල ආගමන බලධාරින්ගේ මීළඟ රැස්වීම, ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටත්, ඒ සඳහා සත්කාරකත්වය දැරීමටත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

     

    මහව සිට ඕමන්තෙයි දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා උපදේශක සේවා ප්‍රසම්පාදනය

     

    මහව සිට ඕමන්තෙයි දක්වා වූ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB)වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුප‍ළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම - දූරස්ථ නැවතුම් අංගණය සහ උපධාවන පථ ඉදි කිරීම


    - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුප‍ළ විසින් 2016 වර්ෂයේදී ගුවන් මගීන් මිලියන 9.5ක් හසුරුවන ලද අතර, 2020 වර්ෂය වන විට ගුවන් මගීන් මිලියන 14.5ක් පමණ හැසිරවීමට සිදුවනු ඇතැයි පුරෝකථනය කරනු ලැබ තිබේ. මෙම ගුවන්තොටුපළෙහි මගීන් හැසිරවීමේ ධාරිතාව වර්ෂයකට ගුවන් මගීන් මිලියන 15ක් දක්වා වැඩි කිරීමට සහ ගුවන්තොටුපළේ යටිතල පහසුකම් වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) ණය ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුප‍ළ සංවර්ධන ව්‍යාපෘතියේ (BIADP) දෙවන අදියර යටතේ, 'දූරස්ථ නැවතුම් අංගණය සහ උපධාවන පථ' ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කණු මත ඉදි කරනු ලබන, වරාය ප්‍රවේශ මහාමාර්ගය (Elevated Highway) ව්‍යාපෘති‍ෙය් උපදේශක සේවා සැපයී‍ෙම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම


    ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක කෙරෙන කණු මත ඉදි කරනු ලබන වරාය ප්‍රවේශ මහාමාර්ගය (Elevated Highway) ඉදිකිරීමේ ව්‍යාපෘති‍ය සඳහා උපදේශක සේවා සැපයී‍ෙම් කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    යාපනය - කිලිනොච්චිය ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය-උපදේශක කොන්ත්‍රාත්තුවේ පිරිවැය සංශෝධනය කිරීම


    - උතුරු පළාතේ නැවත පදිංචි කරවීම සඳහා සහාය සැලසීම හා යාපනය අර්ධද්වීපය තුළ වෙසෙන ජනතාවගේ ජීවන මට්ටම වැඩිදියුණු කිරීම යන අරමුණ පෙරදැරිව, ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ, 2011 වර්ෂයේදී ආරම්භ කරන ලද යාපනය - කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය මඟින් එම දිස්ත්‍රික්කවල වෙසෙන 300,000ක පමණ ජනතාවට සුරක්ෂිත පානීය ජලය සපයනු ලැබේ. එම ව්‍යාපෘතියේ කොන්ත්‍ර‍ාත්කරුගේ පාලනයෙන් පරිබාහිර හේතු මත සිදු වී ඇති කොන්ත්‍ර‍ාත් පිරිවැය විචල්‍ය වීම සැලකිල්ලට ගෙන ව්‍යාපෘතියේ කොන්ත්‍ර‍ාත් පිරිවැය සංශෝධනය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    රෝහල් සඳහා අවශ්‍ය ඩෙෆරසිරොක්ස් ඖෂධය මිල දී ගැනීම


    රුධිර පාරවිලයන්හිදී සිරුර තුළ යකඩ එකතු වීම සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන ඩෙෆරසිරොක්ස් ඖෂධය මිලිග්රෑම් 400 පෙති 1,250,000 ක් මිල දී ගැනීම සඳහා වන ටෙන්ඩරය, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පිළිකා රෝග සඳහා ප්‍රතිකාර කිරීම‍ට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම


    ඇතැම් පිළිකා වර්ග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන බෙවසිසුමැබ් ඉන්ජෙක්ෂන් 100mg /4ml වයල්ස් 3,750ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටු‍ෙව් නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කළුතර, රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම


    කළුතර දිස්ත්‍රික්කයේ, රයිගම ප්‍රදේශයේ කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමේ අරමුණින්, එම අධිකලාපයෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව, සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව, රජය සතු සමාගමක් වන, මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්ගලික) සමාගම (CECL) වෙත පිරිනැමීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමෙහි දත්ත මධ්‍යස්ථානය සඳහා වූ ආපදා ප්‍රතිසාධන විසඳුම (DRS - Disaster Recovery Solution) ක්‍රියාත්මක කිරීම


    - ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් ගබඩා කිරීම සහ බෙදාහැරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයනු ලබන සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමෙහි (CPSTL) දත්ත පද්ධතිය බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම තහවුරු කිරීම සඳහා ආපදා ප්‍රතිසාධන විසඳුමක් (DRS - Disaster Recovery Solution) ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    යුරෝපා සංගමයේ පොදු අයවැය මඟින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘති වෙත හවුල්කාර රට මඟින් අදාළ කරනු ලබන බදු සහ රේගු ගාස්තු පිළිබඳ කාර්යරාමු ගිවිසුම


    යුරෝපා සංගමය (EU) විසින් මේ දක්වා ශ්‍රී ලංකා රජය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 220කට අධික වටිනාකමකින් යුතු ප්‍රදාන ආධාර ද ඊට අමතරව විශාල ප්‍රමාණයක මානුෂීය ආධාරද සපයනු ලැබ තිබේ. 2014 - 2020 කාලසීමාව සඳහා යුරෝ මිලියන 210ක (රුපියල් බිලියන 34ක් පමණ) ආධාර ප්‍රමාණයක් ලබා දීමට ද එම සංගමය එකඟ වී ඇති අතර, එම මුදලින් යුරෝ මිලියන 72ක් මේ වන විටත් ව්‍යාපෘති 03ක් සඳහා වෙන් කරනු ලැබ තිබේ. යුරෝපා සංගමයේ මාර්ගෝපදේශයන් අනුව එම සංගමය විසින් ලබා දෙනු ලබන ප්‍රදාන ආධාර මුදල් අදාළ රජය විසින් පනවනු ලබන තීරුබදු, බදු හා වෙනත් මූල්‍ය බදු ගෙවීම සඳහා යොදා ගත නොහැකි වේ. ඒ අනුව යුරෝපා සංගමයේ පොදු අයවැය මඟින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් අදාළ කරගනු ලබන බදු සහ රේගු ගාස්තු පිළිබඳ කාර්යරාමු ගිවිසුමකට යුරෝපා සංගමය සමඟ එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සහල් මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු අත් හැරීම


    වෙළඳ පොළෙහි සහල් මිල ඉහළ යාම පාලනය කරමින්, දේශීය වෙළඳ පොළ වෙත ප්‍රමාණවත් පරිදි සහල් සැපයීම සහතික කිරීමේ අරමුණින්, ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සඳහා මේ දක්වා පනවනු ලැබ තිබූ රුපියල් 15/-ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, 2017 ජනවාරි මස 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 05/-ක් දක්වා අඩු කිරීම සඳහා 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති නියමය ඇතුළත්, 2003/43 අංක දරන 2017-01-27 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක් ඉදි කිරීම


    අස්වනු නෙළන සමයේ අතිරික්ත අස්වැන්නක් ලැබීම හේතුවෙන් සිදු වන වෙළඳ පොළ මිල පහත වැටීම මඟ හරවා ගනිමින්, තම කෘෂි අස්වැන්න ගබඩා කරගැනීම සඳහා උසස් තත්ත්වයේ ගබඩා පහසුකම් ගොවීන්ට සැලසීමේ අරමුණින්, කිලිනොච්චිය, රත්නපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ 03ක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඉන් කිලිනොච්චිය හා රත්නපුර ගබඩා සංකීර්ණ දෙකෙහි ඉදි කිරීම් කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ ඇති අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත වර්ග අඩි 28,500ක් පමණ වන ගබඩාව සහ අනෙකුත් යටිතල පහසුකම් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    විදුහල්පතිවරුන් සඳහා ලබා දෙනු ලබන විශේෂ දීමනාව සංශෝධනය කිරීම


    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කළමනාකරණයේ වැදගත් භූමිකාවක් විදුහල්පතිවරුන් විසින් ඉටු කරනු ලබන අතර කිසියම් පාසලක සාර්ථකත්වය එම පාසලේ විදුහල්පතිවරයාගේ කාර්යක්ෂම සහ විධිමත් කළමනාකරණ ශෛලීය මත රඳා පවතී. දිවයින පුරා විසිරී ඇති 10,162ක් වන ජාතික හා පළාත් පාසල්වල සේවය කරනු ලබන විදුහල්පතිවරුන් විසින් ඉටු කරනු ලබන සංකීර්ණ වූත්, වගකීම් සහිත වූත් කාර්යභාරය සැලකිල්ලට ගෙන ඔවුන් දිරිගැන්වීමේ අරමුණින්, විදුහල්පතිවරුන් සඳහා දැනට ගෙවනු ලබන විශේෂ දීමනාව ඉහළ නැංවීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරයවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගුරු උපදේශක සේවය ස්ථාපනය කිරීම


    ගුරු උපදේශක තනතුර 1962 වර්ෂයේ සිට මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන අතර පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීමෙහිලා ගුරු උපදේශකවරුන් විසින් කැපී පෙනෙන සේවයක් ඉටු කරනු ලබයි. මෙම ගුරු උපදේශකවරුන්ගේ සේවය විධිමත්ම ලබාගැනීමේ අරමුණින් 'ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය' යනුවෙන් නව සේවාවක් ස්ථාපිත කිරීමටත්, දැනට ගුරු උපදේශකවරුන් වශයෙන් සේවය කරනු ලබන ගුරුවරුන් නව සේවාවට අන්තර්ග්‍රහණය කිරීම පිණිස පියවර ගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරයවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

     

    ක්‍රීඩා අංශය තුළ දෙරට විසින් සුවිශේෂ ජයග්‍රහණ අත් කරගනු ලැබ ඇති කැපී පෙනෙන විෂය ක්ෂේත්‍ර හඳුනාගෙන, එතුළින් දෙරටෙහි ක්‍රීඩාවේ උන්නතිය සඳහා වන සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක්, ශ්‍රී ලංකා රජය හා ඕස්ට්‍රේලියානු රජය අතර අත්සන් තැබීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya