යුද්ධ හමුදා කාන්තා බලකායේ භාවිතය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානය, බොරැල්ල, කින්සි පාරේ, පර්චස් 92 ක භූමියක පිහිටි පැරණි ගොඩනැඟිල්ලක පවත්වාගෙන යනු ලබන අතර, ඒ වෙනුවට ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහිත නව ගොඩනැඟිල්ලක් එම භූමියෙහිම, රුපියල් මිලියන 94ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ප්‍රධාන මලාපවහන පද්ධතිය ඉදි කිරීම
1952 වසරේදී පිහිටුවන ලද, පනාගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජනපදය, ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන 07 කින්, මූලික රෝහලකින්, නිලධාරි හා සෙසු නිල නිවාසවලින් සමන්විත වේ. මෙම ජනපදය තුළ පවතින ප්‍රධාන මලාපවහන පද්ධතිය අබලන් තත්ත්වයක පවතින අතර, එය අලුත්වැඩියා කිරීම ඵලදායක නොවන බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, පනාගොඩ යුද්ධ හමුදා ජනපදය සඳහා නව මලාපවහන පද්ධතියක් රුපියල් මිලියන 80ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙසු නිලයන් සඳහා නේවාසික පහසුකම් සැලසීම
යුද්ධ හමුදා මූලස්ථානය හා ඊට අනුබද්ධිත ආයතනවල සහ යුද්ධ හමුදා රෝහල් කාර්ය මණ්ඩලය වශයෙන් කොළඹ ප්‍රදේශයේ ස්ථානගත කරනු ලැබ ඇති සෙසු නිලයන් සඳහා ප්‍රමාණවත් ස්ථිර නේවාසික පහසුකම් නොමැති වීම ගැටලුවක් වී තිබේ. මෙම තත්ත්වය මඟහරවා ගැනීමේ අරමුණින්, සෙසු නිලයන් සඳහා ස්ථිර නේවාසික පහසුකම් සහිත නව ගොඩනැඟිල්ලක්, රුපියල් මිලියන 239.12ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, නාරාහේන්පිට, මැනිං ටවුන්හි පිහිටි, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් භූමියෙහි ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඉදිරි සංවර්ධන/සැලසුම් සඳහා යොදාගත හැකි වේලි ආරක්ෂණ හා ජල සම්පත් සංවර්ධන සැලසුම්
ශ්‍රී ලංකාව සඳහා, යාවත්කාලීන කරන ලද ජාතික ජලසම්පත් සංවර්ධන හා කළමනාකරණ සැලැස්මක අවශ්‍යතාව මතුවී තිබේ. මහවැලි සංවර්ධන සැලැස්ම (Mahaweli Master Plan) ද 1978 වර්ෂයෙන් පසු යාවත්කාලීන කරනු ලැබ නොමැත. ඒ අනුව, ඉදිරි වසර 30 ක කාලය තුළ ජල අවශ්‍යතාව සහ ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය සැලකිල්ලට ගෙන, 'ජල භාවිතය පිළිබඳ ජාතික සැලැස්ම', 'යාවත්කාලීන කරන ලද මහවැලි ජල සම්පත් සංවර්ධන සැලැස්ම', 'මුන්දෙනි ආරු ද්‍රෝණියේ ඒකාබද්ධ ජලසම්පත් සංවර්ධන සැලැස්ම' යනුවෙන් ජල සම්පත් සැලසුම් 03ක්, 2007 වසරේදී ඇරඹි වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතිය යටතේ සකස් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ ජල සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධන කාර්යයන්වල යෙදෙන ඕනෑම ආයතනයකට මාර්ගෝපදේශ ලෙස සලකා පරිහරණය කිරීමට හැකිවන පරිදි, එම සැලසුම් තුන (03) ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව භාරයේ තැබීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත නිපුණතා සංවර්ධන පුහුණු ව්‍යාපෘතිය
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පර්යේෂණ හා පුහුණු කටයුතු පුළුල් කිරීම තුළින් එම කර්මාන්තය මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ලබා දෙනු ලබන දායකත්වය තවදුරටත් ඉහළ නැංවීම මැණික් හා ස්වරණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනයේ පරමාර්ථය වේ. උසස් කුසලතාවකින් හෙබි ශ්‍රී ලාංකික ශිල්පීන් හට විදේශ රැකියා අවස්ථා උදා කරගැනීමට අවකාශ සැලසීමත්, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපන ආයතනයක් බවට මැණික් හා ස්වරණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනය පත් කිරීමත් අරමුණු කරගනිමින්, එම ආයතනය මඟින් ලබා දෙනු ලබන පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීම සඳහා නිපුණතා සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාව සහ තජිකිස්තානය අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ තජිකිස්තානු ජනරජය අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමක්, 2016 දෙසැම්බර් 13 - 15 දින දක්වා යෙදෙන, තජිකිස්තානු ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අත්සන් කිරීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
තජිකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
ශ්‍රී ලංකාව හා තජිකිස්තානය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ දේශපාලන මෙන්ම ආර්ථික, වෙළඳ, විද්‍යාත්මක, තාක්ෂණික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, තජිකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන පිළිබඳ සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුමකට, 2016 දෙසැම්බර් 13‑15 දින දක්වා යෙදෙන, තජිකිස්තානු ජනාධිපති එමෝමාලි රහ්මන් මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අත්සන් කිරීම පිණිස වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය (ආචාර්ය) හර්ෂ ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාව හා තජිකිස්ථානය අතර ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
දෙරට තුළ ක්‍රීඩා අංශයෙන් අත්පත් කරගෙන ඇති කැපී පෙනෙන විෂය ක්ෂේත්‍ර හඳුනාගෙන ඒ තුළින් දෙරටෙහි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා තජිකිස්ථාන් ජනරජය අතර ක්‍රීඩාවේ උන්නතිය සඳහා වන අවබෝධතා ගිවිසුමකට 2016 දෙසැම්බර් 13 - 15 දින දක්වා යෙදෙන, තජිකිස්තානු ජනාධිපති එමෝමාලි රහ්මන් මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අත්සන් තැබීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය පිටු දැකීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය
ළමා ශ්‍රමය යොදාගැනීම මුළුමනින්ම තුරන් කර දැමීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2010 වසරේදී නෙදර්ලන්තයේ, හේග් නුවරදී පැවති ගෝලීය ළමා ශ්‍රම සමුළුවේදී එකඟ වී තිබේ. 2008/2009 වර්ෂයට සාපේක්ෂව 2015/2016 වර්ෂය වනවිට ශ්‍රී ලංකාව තුළ ළමා ශ්‍රමිකයින් සංඛ්‍යාව 50% කින් පමණ අඩුවී ඇති බව ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තා මඟින් පෙන්නුම් කරනු ලබයි. ඒ අනුව, ළමා ශ්‍රමය මුළුමනින්ම තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හැකියාව පවතී. තවද, යුරෝපා සංගමයේ පොදු වරණාත්මක තීරුබදු වැඩපිළිවෙළ (GSP+) යටතේ තීරුබදු සහන නැවත ලංකාවට ලබාගැනීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම යටතේද ළමා ශ්‍රමය පිටුදැකීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ඇති කරගැනීම අවශ්‍ය වේ. ඒ අනුව සකස් කරනු ලැබ ඇති, ළමයින් ශ්‍රමිකයන් වශයෙන් යොදාගැනීම ශ්‍රී ලංකාවෙන් මුළුමනින්ම තුරන් කිරීම පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය පිළිගැනීමට හා එය ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත්වූවන් සඳහා තාවකාලිකව ලැගුම්ගත හැකි සුරක්ෂිත මධ්‍යස්ථානයක් ඉදි කිරීම
අධික වර්ෂාව නිසා නිරතුරුවම නායයෑම් ආපදාවන්ට ගොදුරුවන දිස්ත්‍රික්කයක් බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල දිස්ත්‍රික්කය හඳුනාගනු ලැබ තිබේ. මෙම දිස්ත්‍රික්කයේ හදිසි ආපදාවන්ට ලක්විය හැකි ප්‍රදේශවල ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරවීම සඳහා සුරක්ෂිත මධ්‍යස්ථානයක් ඉදි කිරීමේ අවශ්‍යතාව ඇති වී තිබේ. ඒ අනුව, හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත්වූවන්ට තාවකාලිකව ලැගුම්ගත හැකි සුරක්ෂිත මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි, බලංගොඩ වතු සමාගමට අයත් අක්කර භාගයක ඉඩම් කොටසක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත ලබාගැනීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
කොළඹ ප්‍රදේශයේ අක්කර 32ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති, ඇඳන් 3,300කින් සමන්විත ශ්‍රී ලංකා ජාතික රෝහල, අග්නිදිග ආසියාවේ විශාලතම රෝහල වේ. මෙම රෝහලේ බාහිර රෝගී අංශය, 1948 දී එය ස්ථාපිත කරන ලද මුල් ගොඩනැගිල්ලේම තවමත් පවත්වා ගෙන යනු ලබන අතර, එම අංශය වෙත දිනපතා පැමිණෙන රෝගීන් 5,000 කට අධික ප්‍රමාණයකට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා එහි පවතින යටිතල පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. ඒ අනුව, චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නව බාහිර රෝගී අංශ සංකීර්ණයක් ශ්‍රී ලංකා ජාතික රෝහලේ ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන මහජන සමූහාණ්ඩුව සමඟ ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.