මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.04.06

    අප්‍රේල් 07, 2016

    2016-04-06 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් පරිදි වේ.

    සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම


    ආර්ථික සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකා - චීන ඒකාබද්ධ කමිටුවේ 7 වන රැස්වීමේදී යෝජනා වූ පරිදි, ශ්‍රී ලංකා ජනරජය හා මහජන චීන සමූහාණ්ඩුව අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ගරු අග්‍රාමාත්‍යතුමාගේ එළඹෙන චීන නිල සංචාරය අතරතුරදී අත්සන් තැබීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනයක් ප්‍රකාශයට පත් කිරීම

    යම් රටක් මධ්‍ය ආදායම් මට්ටමේ සිට ඉහළ ආදායම් මට්ටම දක්වා ගමන් කිරීමේදී ඊට මහෝපකාරී වන නව නිපැයුම් සහ නවෝත්පාදනයන් බිහි කිරීම උදෙසා වන සියලු පහසුකම් සහ දිරි ගැන්වීම් නව නිපයුම්කරුවන් වෙත සපයා දීම එම රටේ වගකීම වේ. ශ්‍රී ලාංකික නව නිපැයුම්කරුවන් වෙත නිසි පිළිගැනීමක් ලබා දීම, ඔවුන් දිරි ගැන්වීම සහ ඒකරාශි කිරීම සඳහා ලක්මව බිහි කළ විශිෂ්ට ගණයේ සිවිල් ඉංජිනේරුවරයකු, නව නිපැයුම්කරුවකු සහ නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ ප්‍රථම කොමසාරිස්වරයා වූ දේශබන්දු ආචාර්ය ඒ.එන්.එස්.කුලසිංහ මැතිතුමාගේ ජන්ම දිනය යෙදෙන ඔක්තෝබර් 26 දිනය, 'ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනය' ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සූර්ය පැනලයන්හි මූලාදර්ශක නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයෙන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අධ්‍යාපනික පුහුණු වැඩසටහන
    - 2020 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 20%ක ප්‍රතිශතයක් සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙතින් ලබාගැනීම රජයේ ප්‍රතිපත්තිය වේ. ඒ අනුව ශීඝ්‍රයෙන් වර්ධනය වන සූර්ය බලශක්තිය හා සම්බන්ධ කර්මාන්ත සඳහා සහාය ලබා දීමේ අරමුණින් විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්, වෘත්තීය පුහුණු විද්‍යායතනවල සිසුන්, හමුදා සේවයේ හිටපු නිලධාරින්, අ.පො.ස. (උ/පෙළ) සුදුසුකම්ලත් පාසල් අධ්‍යාපනය නිම කළ සිසුන් ඇතුළත් 2,000ක පමණ පිරිසක් සඳහා සූර්ය පැනල නිෂ්පාදනය හා සවි කිරීම, සූර්ය කෝෂ පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන කාර්යයන් සහ සූර්ය තාප බලාගාර පද්ධතීන්ගේ සේවා සැපයීම පිළිබඳ උසස් ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ඉලනොයි විශ්වවිද්‍යාලයේ සහ සිවනන්දන් ලැබෝරටරීස් සමාගමේ විශේෂඥ උපදෙස් සහ මාර්ගෝපදේශකත්වය ලබාගැනීම පිණිස අවබෝධතා ගිවිසුම්වලට එළඹීමටත්, පේරාදෙණිය, යාපනය, රුහුණ සහ කැලණිය විශ්වවිද්‍යාලයන්හි අදාළ පර්යේෂණ හා පුහුණු පහසුකම් ස්ථාපනය කිරීමටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.

    චීන සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය 3-II වන අදියර යටතේ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම

    චීන සංවර්ධන බැංකුවේ අරමුදල් මත ක්‍රියාත්මක වන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය 3-II වන අදියර යටතේ, මධ්‍යම හා සබරගමු පළාත්වල පිහිටි, කිලෝමීටර 128.85 ක සම්පූර්ණ දිගකින් යුත් මාර්ග 20ක් සංවර්ධනය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ හා පුහුණු ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම


    යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ හා පුහුණු ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම වෙනුවෙන් ජපන් යෙන් 1,667,00‍0,000ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,100ක්) ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත. උතුරු පළාතේ වියළි කලාපීය කෘෂිකාර්මික පර්යේෂණ සහ අධ්‍යාපනික හා ප්‍රවර්ධන වැඩසටහන් කාර්යක්ෂමව සිදු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වන අතර, සත්ත්ව පාලන විද්‍යාව, භෝග විද්‍යාව, කෘෂිකාර්මික රසායන විද්‍යාව, කෘෂිකාර්මික ජීව විද්‍යාව, කෘෂිකාර්මික ඉංජිනේරු විද්‍යාව, කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව වැනි අංශයන්හි අනාගත ඉල්ලුම සපුරාලීම සඳහා කෘෂිකර්ම පීඨයේ විශේෂඥ ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීමද මේ යටතේ සැලසුම් කොට ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සමඟ ප්‍රදාන ආධාර ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ආයෝජන, ආර්ථික හා තාක්ෂණය සම්බන්ධ විස්තීරණ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා චීන මහජන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම


    චීනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව නව මාවතකට යොමු කරමින් ප්‍රධාන ආර්ථික අංශයන්හි ආයෝජන සහයෝගිතාව වර්ධනය කරගැනීම සඳහා සාම්ප්‍රදායික නොවන මූල්‍යමය ක්‍රමවේද මඟින් ශ්‍රී ලංකාව තුළ ආයෝජන ප්‍රවර්ධනය කිරීම පිණිස චීන ව්‍යවසායකයින් දිරිගැන්වීමට රජය විසින් කටයුතු කරනු ලබයි. ඒ අනුව දෙරට අතර ආයෝජන, ආර්ථික සහ තාක්ෂණික ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට ගරු අග්‍රාමාත්‍යතුමාගේ චීන නිල සංචාරය අතරතුර අත්සන් තැබීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක් වන පුද්ගලයින්ට වන්දි ලබා දීම


    කොළඹ අගනගරය හා තදාසන්න ප්‍රදේශවල ගංවතුරෙන් වන බලපෑම පාලනය කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආයතනික සංවර්ධනය යන අරමුණු පදනම් කරගෙන උප ව්‍යාපෘති 56 ක් ඔස්සේ ක්‍රියාත්මක කරනු ලබන කොළඹ අගනගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියේ බොහෝ ඉදි කිරීම් සහ අලුත්වැඩියා කිරීම් ප්‍රධාන නගර හා ජනාකීර්ණ ප්‍රදේශ හරහා සිදු කිරීමට නියමිත අතර, යෝජිත ක්‍රියාකාරකම් සඳහා පෞද්ගලික ඉඩම් අත්පත් කරගැනීමට ද සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය අප්‍රමාදව සිදු කිරීමට සහ ඉඩම් අත්පත් කර ගැනීමේදී හා වන්දි ගෙවීමේදී අදාළ පාර්ශ්වයන්ට උපරිම සාධාරණයක් ඉටු වන පරිදි විශේෂ ව්‍යාපෘති සඳහා ඉඩම් පවරා ගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින්ට වන්දි ගෙවීම පිණිස අනුගමනය කළ යුතු ක්‍රමවේදය ඇතුළත් අංක 1864/54 හා 2014-05-30 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් පනවන ලද ඉඩම් අත්පත් කරගැනීමේ (වන්දි ගෙවීම්) නියෝග අදාළ කරගැනීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    "බෞද්ධ පුනරුද අරමුදල" පිහිටුවීම


    ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන 12,150ක් පමණ ඇති අතර, එයින් 750ක පමණ පිරිවෙන් පවත්වාගෙන යනු ලැබේ. එසේම ආරණ්‍ය සේනාසන 150ක් පමණද දිවයින පුරා ව්‍යාප්තව පවතී. බුදුදහම හා බැඳුණු සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරගැනීමටද පිරිවෙන් අධ්‍යාපනය මඟින් පැවිදි හා ගිහි දැනුම ප්‍රවර්ධනයටද මෙම විහාරස්ථාන මඟින් අමිල සේවයක් ඉටු වේ. විහාරස්ථාන හා පිරිවෙන් ආශ්‍රිතව පවතින ගැටලු හේතුවෙන් විහාරවාසී භික්ෂූන්වහන්සේලා සිය සමාජ මෙහෙවර ඉටු කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර, බොහෝ විට එම කටයුතුවලදී වර්තමානයේ දැරීමට සිදු වන ඇතැම් වියදම් විහාරස්ථානවලට දැරිය නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. විහාරස්ථාන හා පිරිවෙන්වල අවශ්‍යතා සපුරා දෙමින් භෞතික සම්පත් කළමනාකරණයට බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යාංශය සැලකිය යුතු දායකත්වයක් දැක්වුවද එය වාර්ෂික අයවැය ඇස්තමේන්තු ප්‍රතිපාදනවලට සීමා වේ. දුෂ්කර ප්‍රදේශවල ඇති බොහෝ විහාරස්ථානවලට දානපතීන්ගේ පරිත්‍යාග වැනි වරප්‍රසාද ලැබීමද විරලය. ඉහත ගැටලු විසඳීමට රජයෙන් ලබා දෙන සෘජු දායකත්වයට අමතරව ගරුතර සංඝයාවහන්සේ විසින් යෝජනා කර ඇති පරිදි විවිධ ආදායම් හා පරිත්‍යාග උපයෝගී කරගනිමින් 'බෞද්ධ පුනරුද අරමුදල' නමින් විධිමත් අරමුදලක් ස්ථාපනය කර එමඟින් පොදු ප්‍රතිපත්තියක් අනුව බෞද්ධ ආගමික සිද්ධස්ථාන තෝරා ගනිමින් පහසුකම් සැලසීම සඳහා ප්‍රතිපාදන ලබා දීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන (2016-2018) - 2016 වර්ෂයේ ක්‍රියාත්මක වැඩසටහන


    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන (2016 - 2018) වේගවත් කරමින් ඊට අදාළව 2016 වර්ෂයේදී සිදු කිරීමට යෝජිත, අතිරේක භෝග නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතභාවය ළඟා කරගැනීම සඳහා අවශ්‍ය බීජ හා ‍රෝපණ ද්‍රව්‍ය යල කන්නයේදී නොමිලේ ලබා දීම, 'වස විසෙන් තොර ගොවිතැන' ප්‍රවර්ධනය සඳහා වස විසෙන් තොරව වී වගා කරන ගොවීන් තවදුරටත් දිරි ගැන්වීම හා එම අස්වනු අලෙවි කරගැනීමට පහසුකම් සැලසීම, සමස්ත වැඩසටහන මෙහෙයවීම, අධීක්ෂණය, පසුවිපරම හා ප්‍රගති සමාලෝචනය පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමෙන් පැවැත්වීම ඇතුළු ක්‍රියාකාරකම් පිළිබඳ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා මහ බැංකුව හා චීන සංවර්ධන බැංකුව (China Development Bank) අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම


    දේශීය මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීම, දේශීය මුදලේ ස්ථායිතාව සහ ශ්‍රී ලංකා රුපියලේ ජාත්‍යන්තර ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම් දියුණු කිරීම යන අරමුණුවලට අදාලව පුළුල් සහයෝගී පදනමක් මත කටයුතු කිරීම පිණිස මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ බැංකුවක් වන චීන සංවර්ධන බැංකුව (China Development Bank) සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර වන අවබෝධතා ගිවිසුමට ගරු අග්‍රාමාත්‍යතුමාගේ චීන නිල සංචාරය අතරතුරදී අත්සන් තැබීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රාජ්‍ය ව්‍යවසාය ආයතනයන් සඳහා සභාපතිව‍රුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමේදී පාදක කරගත යුතු නිර්ණායක


    පැහැදිලිව හඳුනාගත් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් නොමැති වීම, ඉහළ කළමනාකාරිත්වය තුළ තීරණ ගැනීමේ දුර්වලතාව, වෙළෙඳපොළ තරගකාරිත්වයන් නොසලකා තීරණ ගැනීම, පත්කිරීම් සඳහා දේශපාලනඥයන් මැදිහත් වීම, දේශපාලන පක්ෂයන්හි අරමුණු ඉටු කිරීමට උත්සාහ කිරීම හා කළමනාකාරිත්වය සඳහා පුද්ගලයින් පත් කිරීමේදී විධිමත් මාර්ගෝපදේශ නොමැති වීම යන කරුණු රාජ්‍ය ව්‍යවසායන්හි කාර්යසාධනය අඩු වීමට හේතු වී ඇත. එබැවින් රාජ්‍ය ව්‍යවසායන්හි කළමනාකාරිත්වය හා මෙහෙයුම් නියමානුකූල කිරීම උදෙසා රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදී විධිමත් හා විනිවිද පෙනෙන ක්‍රමවේදයක් අනුගමනය කිරීම කාලීන අවශ්‍යතාවකි. ඒ අනුව, රාජ්‍ය ව්‍යවසායන් සහ වෙනත් විශේෂිත ආයතනයන්හි සභාපති/අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ ප්‍රධාන විධායක නිලධාරීන් පත් කිරීමේදී ඉදිරිපත් කරනු ලබන නාමයෝජනාවන්හි යෝග්‍යතාව පරීක්ෂා කර නිර්දේශ කිරීම සඳහා විශේෂ කමිටුවක් ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබ ඇති අතර, එකී කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති, එවැනි පත් කිරීම් සඳහා අදාළ කරගනු ලැබීමට යෝජිත වෘත්තීය හා කළමනාකරණ අත්දැකීම්, උපරිම වයස් සීමා, ධුර කාලය හා ධුරය දැරීමේ වාරයන්හි සීමා, බැඳියාවන් අතර ගැටුම් වැළැක්වීම සඳහා වූ විධිවිධාන, නුසුදුසුකම් ආදිය ඇතුළත් නිර්ණායක අදාළ කරගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට අත්සන් තැබීම


    දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය 2016 අප්‍රේල් මස 22 වන දින නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදු කිරීමට නියමිතය. ඊට අමතරව ලෝක මත්ද්‍රව්‍ය අර්බුදය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මහා සමුළුවද, තිරසර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කරගනු වස් ඉහළ මට්ටමේ තේමාත්මක විවාදය ද ඒ ආසන්න දිනයන්හිදී පැවැත්වේ. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබීම පිණිස හා ඒ හා සමගාමීව පැවැත්වෙන අනෙකුත් වැඩසටහන්වලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාට බලය පැවරීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya