අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ -2016.03.16

    මාර්තු 17, 2016

    2016-03-16 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් පරිදි වේ.

     

    ගෝලීය දේශගුණික විපර්යාස පිළිබඳ ගිවිසුම හා දේශීය උපායමාර්ගික සම්මුතිය (ගෝලීය උණුසුම අවම කිරීම සඳහා දේශීය දායකත්වය)

    අධික ලෙස ෆොසිල ඉන්ධන දහනය, කාර්මීකරණය, නාගරීකරණය, වනාන්තර විනාශය හා පරිසර දූෂණය හේතු කොට ගෙන ගෝලීය උණුසුම ඉහළ යමින් තිබෙන අතර, මෙම සියවස අවසන් වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බව පුරෝකථනය කර ඇත. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් සිදු වන දේශගුණික විපර්යාස මනුෂ්‍ය සංහතියේ පැවැත්ම කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇත. 2015 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 11 දින දක්වා ප්‍රංශයේ පැරිස් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියෙහි (UNFCCC) 21 වැනි සැසිවාරයේදී එළඹෙන ලද පැරිස් ගිවිසුම් ප්‍රකාශයට අනුව 2100 වසර වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම දැනට පවතින උෂ්ණත්ව මට්ටමේ සිට තවත් සෙල්සියස් අංශක 2ක් නොඉක්මවීමටද, එම මට්ටම සෙල්සියස් අංශක 1.5ට අඩුවෙන් පවත්වාගෙන යාමට සෑම උත්සාහයක්ම දැරීමටද එකඟවී ඇත. ශ්‍රී ලංකාවද මේ සඳහා එකඟතාව පළ කරමින් එම පැරිස් ගිවිසුමට (Paris Agreement) අත්සන් තැබීමටත්, එකී ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ දායකත්වය වෙනුවෙන් සැලසුම් කර ඇති හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා වූ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය කිරීමටත්, 'ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස පිළිබඳ කොමිෂන් සභාවක්' (Climate Change Commission of Sri Lanka) ස්ථාපිත කිරීම පිණිස නීති සම්පාදනය කිරීමටත්, පරිසර හිතකාමී 'හරිත - සුහුරු ගම්මාන' (Green Smart Villages) ඇති කිරීම අරමුණු කරගනිමින් ප්‍රජා සංවිධාන සමඟ එක්ව "නීල හරිත ලස්සන ලංකා" වැඩසටහන 2016-2020 කාල පරිච්ඡේදය තුළ ගම්මාන 10,000ක ක්‍රියාත්මක කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

     

    වනජීවී පාලන ඒකක ස්ථාපිත කිරීම

    අලි - මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් ජීවිත 50කට අධික සංඛ්‍යාවක් සහ වන අලි 200කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව ශ්‍රී ලංකාවට අහිමි වන අතර, අලින්ට අමතරව දිවියන්, කිඹුලන්, වඳුරන් වැනි වෙනත් සතුන්ද මිනිසුන් සමඟ ගැටුම් ඇති කරගැනීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතී. මෙම තත්ත්වය පාලනය කිරීමෙහි ලා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැලැසුම් දියත් කෙරෙමින් පවතින අතර, වනජීවීන් හා මිනිසුන් අතර ගැටුම් පිළිබඳ යම් සිදුවීමක් වාර්තා වූ සැණින් අදාළ ස්ථාන වෙත ගොස් අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා එවැනි ගැටුම් බහුලව වාර්තා වන වනජීවී කලාප ආවරණය වන පරිදි, වනජීවී පාලන ඒකක ස්ථාපිත කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.

     

    නාය යාම් සිදුවීමේ ඉහළ අවදානමක් පවතින ප්‍රදේශවල ජීවත් වන පවුල් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව

    නාය යාම සිදු වීමට ඉහළ අවදානමක් පවතින ප්‍රදේශවල ජීවත් වන පවුල් නැවත පදිංචි කිරීම සහ නායයාම හේතුවෙන් විපතට පත් වූවන් සඳහා නිවාස ඉදි කිරීම් කඩිනම් කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමාගේ සභාපතිත්වයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් පත් කරන ලදී. ඒ අනුව, නායයාමේ අවදානමක් සහිත ස්ථානවල පදිංචි වී සිටින පවුල් සංඛ්‍යාව හඳුනාගැනීම, ඔවුන් වෙනත් ස්ථානවල පදිංචි කරවීම, ආපදාවලට පත් වූවන් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා පහසුකම් සැලසීම, දැඩි අවදානමක් සහිත ස්ථානවල පවතින පාසල් වැනි පොදු ස්ථාන නැවත ස්ථාපිත කිරීම යනාදි කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරිපත් කළ තිබූ නිර්දේශ ප්‍රමුඛතා පදනමින් අදියරගතව ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2017 වර්ල්ඩ් එක්ස්පෝ (World EXPO) ප්‍රදර්ශනය - අස්ථානා, කසකස්ථානය

    'වර්ල්ඩ් එක්ස්පෝ' ප්‍රදර්ශනය වර්ෂ 2කට වරක් ලොව ප්‍රධාන නගරවල විවිධ තේමාවන් යටතේ පැවැත්වෙන අතර, මෙවර එම ප්‍රදර්ශනය 'අනාගත බලශක්තිය' (Future Energy) යන තේමාව යටතේ 2017 ජුනි 10 දින සිට සැප්තැම්බර් 10 දින දක්වා කසකස්ථානයේ අස්ථානා නගරයෙහි පැවැත්වීමට නියමිතය. එම ප්‍රදර්ශනයට සහභාගි වන ලෙස කසකස්ථාන ජනරජය විසින් ශ්‍රී ලංකාවට ආරාධනා කරනු ලැබ ඇත. ඒ අනුව, මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සංවිධානය කිරීම පිණිස කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ විසිතුරු මල් හා පැළ වගාකරුවන් හා අදාළ නිෂ්පාදන සකස් කරන්‍නන්ගේ භාණ්ඩ පිළිගත් ක්‍රමවේදයකට අනුව මෙහි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

     

    ලංකා සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම

    ලංකා සතොස ආයතනය රුපියල් මිලියන 14,078 ක බැංකු ණයක් මඟින් 2014 අගෝස්තු මාසයේදී සහල් මෙට්‍රික් ටොන් 257,853 ආනයනය කරන ලද අතර අපේක්ෂිත පරිදි අලෙවි කරගැනීමට නොහැකි වීම නිසා ලබාගත් ණය මුදල පියවීමට නොහැකි තත්ත්වයකට පත් වී ඇත. මේ වන විට එයින් රුපියල් මිලියන 5,742 ක් පමණ පියවා ඇති අතර හිඟ පොලිය ද සමඟ තවත් රුපියල් මිලයන 8,754ක මුදලක් ගෙවීමට නියමිතව ඇත. මෙම සහල් තොගය ආනයනය කිරීම සඳහා වරාය ගාස්තු, ප්‍රමාද ගාස්තු, ප්‍රවාහන හා ගබඩා කිරීමේ වියදම්ද සහිතව රුපියල් මිලියන 17,000ක් පමණ වැය කරනු ලැබ ඇත. දැනට ඉතිරිව තිබෙන සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 3,048ක් මිනිස් පරිභෝජනයට සුදුසු නොවන බවට හඳුනාගෙන ඇත. ඉතිරි සහල් තොගය විකිණීමෙන් අපේක්ෂිත ආදායම, ගෙවිය යුතුව ඇති හිඟ ණය මුදල පියවීමට හා ලංකා සතොස ආයතන‍ෙය් එදිනෙදා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන කාරක ප්‍රාග්ධනය සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත.

    ඒ අනුව, මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා රාජ්‍ය බැංකු වෙත ලංකා සතොස ආයතනය විසින් ගෙවීමට ඇති හිඟ ණය මුදල් ගෙවීමට සහ හදිසි කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා අවශ්‍ය අරමුදල් භාණ්ඩාගාරය මඟින් සලසා දීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

     

    උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය - යාපනය නගරය වැඩිදියුණු කිරීම

    පාරිසරික වශයෙන් තිරසර සහ මනා සම්බන්ධතාවකින් යුත් නගර පද්ධතියක් සංවර්ධනය කිරීම උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණ වේ. එම ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකු ණය පහසුකම් මඟින් මහනුවර හා ගාල්ල යන නගර උපායමාර්ගික නගර වශයෙන් අදාළ පහසුකම් සහිතව සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම සඳහා යෝග්‍ය නගරයක් වශයෙන් යාපනය නගරයද හඳුනාගෙන ඇති අතර, ඒ අනුව ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

     

    සුනාමි නිවාස සංකීර්ණයක් ලෙස සංවර්ධනය කරන ලද, කල්මුණේ නගරයේ පිහිටි ඉඩම් කොටසක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පැවරීම

    - 2004 වසරේදී සිදුවූ සුනාමි ව්‍යසනයෙන් විශාල වශයෙන් හානියට පත් නගර අතරින් එකක් ලෙස කල්මුණේ නගරය හැඳින්විය හැකිය. එහිදී නිවාස අහිමි වූ පවුල් නැවත පදිංචි කරවීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් මිල දී ගන්නා ලද ඉඩමක පෞද්ගලික ධන පරිත්‍යාගයක ආධාරයෙන් නිවාස ඒකක 174කින් සමන්විත තෙමහල් නිවාස සංකීර්ණයක් ඉදි කර අවතැන් වූ පවුල් පදිංචි කරනු ලැබ ‍ඇත. මෙම නිවාස සංකීර්ණය නඩත්තු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොතිබීම හේතුවෙන් එහි නිවැසියන්ට මුහුණ පෑමට සිදුව ඇති විවිධ ගැටලුවලට පිළියම් සපයමින් එකී නිවාස සංකීර්ණ‍යේ පොදු පහසුකම් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට හැකි වන පරිදි සහ එම නිවාස ඒකකවල පදිංචිකරුවන් වෙත ඔප්පු ලබාදීම මඟින් එම නිවාස ඒකක ඔවුන් වෙත නීත්‍යනුකූලව පවරාදීමට හැකි වන පරිදි අදාළ ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත නිදහස් දීමනාවක් ලෙස පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

     

    ගර්භිණි මාතාවන්ට පෝෂ්‍යදායී ආහාර ලබාගැනීම සඳහා රු.20,000/-ක් ලබා දීමේ වැඩසටහන

    අඩු බර දරු උපත් ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා සහ කායික හා මානසික වශයෙන් නිරෝගීමත් දරුවකු බිහි කිරීම සඳහා ගර්භිණි සමයේ අවසාන මාස 06ත් කිරි දෙන සමයේ මුල් මාස 04ත් ඇතුළත් වන පරිදි මාස 10ක කාලයක් සඳහා රුපියල් 20,000/-ක වටිනාකමකින් යුතුව පෝෂණීය ආහාර ලබා දීමේ වැඩසටහන 2015 මාර්තු මාසයේ සිට රජය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මව්වරුන්ගේ රුචිකත්වය අනුව ආහාර වර්ග තෝරාගැනීමට ඉඩකඩ සැලසෙන පරිදි හා දැනට ක්‍රියාත්මක වන ක්‍ර‍මවේදය තවදුරටත් පහසු කිරීම පිණිස නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට නිර්දේශ කරනු ලැබ ඇත. එමඟින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙළඳ ආයතන අතුරින් තමාට පහසු වෙළඳ ආයතනයකින් මාසයකට රුපියල් 2,000/-ක උපරිමයකට යට‍ත්ව අදාළ මාස 10 පුරා ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට ප්‍රතිලාභී ගැබිණි මව්වරුන්ට අවස්ථාව ලැබෙනු ඇත. ඒ අනුව, යෝජිත නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

     

    මොරගහකන්ද ජලාශයේ මූලස්ථායී වැඩ ඉදි කිරීම් කොන්ත්‍රාත්තුවට අදාළ සැලසුම් (Design) ඇගයීම් කර අනුමත කිරීම සහ ඉදි කිරීම් වැඩ අධීක්ෂණය සඳහා වූ උපදේශක කොන්ත්‍රාත්තුව

    කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයීම, විදුලිය ලබා දීම සහ ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ප්‍රබල පිටිවහලක් සපයන ව්‍යාපෘති ලෙස මොරගහකන්ද හා කළු ගඟ ව්‍යාපෘති හඳුනාගෙන ඇති අතර, මේ වන විට එහි වැඩ කටයුතුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් නිම වී තිබේ. මොරගහකන්ද ව්‍යාපෘතියේ මූලස්ථායි වැඩ ඉදි කිරීම්වලින් 60%ක ප්‍රමාණයක් අවසන් වී ඇති අතර, 2017 මාර්තු මාසය වන විට මෙම ඉදි කිරීම් නිම කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ මූලස්ථායි වැඩවල සැලසුම් ඇගයීම් කර අනුමත කිරීම සහ ඉදි කිරීම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා වන උපදේශක සේවා කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මහවැලි උපදේශක ‍කාර්යාංශය වෙත පිරිනැමීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කැලණිය, සෞන්දර්ය කල‍ා, මොරටුව, රජරට, ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ යන විශ්වවිද්‍යාලවල සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනයෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

    රටේ ආර්ථිකය තුළ පවතින සංවර්ධන අවශ්‍යතාවන්ට සහ ජාත්‍යන්තර රැකියා වෙළඳපොළට උචිත වෘත්තීයමය හා දක්ෂ උපාධිධාරීන් පිරිසක් බිහි කිරීම සඳහා විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ අනුව කැලණිය, සෞන්දර්ය කලා, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර, රජරට හා කොළඹ යන විශ්වවිද්‍යාලයන්හි සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනයෙහි යෝජිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති 09 ක් රුපියල් මිලියන 1706.9ක ආයෝජනයකින් 2016 - 2019 කාලපරිච්ජේදය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

     

    උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා පරිපාලන ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

    උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනට පවත්වා ගෙන යනු ලබන කොළඹ 07, වෝඩ් පෙදෙසෙහි පිහිටි රජයට අයත් ඉඩම තුළ පිහිටි ගොඩනැඟිලි පහසුකම් වර්තමානයේ සේවා අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බැවින් වසර 25කට වඩා පැරණි එක් ගොඩනැඟිල්ලක් ඉවත් කර එම භූමි පරිශ්‍රය ඵලදායී ලෙස උපයෝජනය කරමින් මහල් 08කින් සහ වර්ග අඩි 64,255කින් සමන්විත නව පරිපාලන ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කටයුතු කර ගෙන යාම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

     

    ශ්‍රී ලංකා ජාතික රෝහල සඳහා MRI ස්කෑනර් යන්ත්‍රයක් සැපයීම, ස්ථාපනය කිරීම හා අලෙවියෙන් පසු සේවාව ලබාගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය

    ජාතික රෝහලේ දැනට ස්ථාපිත කර ඇති MRI ස්කෑනර් යන්ත්‍රය වසර 15 ක් පමණ පැරණි වන අතර, එම රෝහල සඳහා නව MRI ස්කෑනර් යන්ත්‍රයක් මිල දී ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ශ්‍රී ලංකා ජාතික රෝහල සඳහා MRI ස්කෑනර් යන්ත්‍රයක් සැපයීම, ස්ථාපනය කිරීම හා නඩත්තු කිරීමේ සේවාව ලබාගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත ප්‍රදානය කිරීම පිණිස වැඩ බලන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

     

    හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

    කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 අතුරින් විශාලතම වපසරියක පැතිරුණු මෙන්ම ග්‍රාම සේවා වසම් වැඩිම සංඛ්‍යාවකින් සමන්විත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වනුයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි. එහි බල ප්‍රදේශයේ විශාලත්වය හෙක්ටයාර 11,815.5 ක් වන අතර, පදිංචි පවුල් සංඛ්‍යාව 60,425 ක් පමණ වේ. මෙම කොට්ඨාසය තුළ වෙසෙන විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 10,000 කට ආසන්න වන අතර, සමස්ත ජනගහනය 250,000 ක් පමණ වේ. මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනට පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිල්ලෙහි ප්‍රමාණවත් ඉඩපහසුකම් නොමැති අතර, මහජනතාවට වඩා කාර්යක්ෂම හා ඵලදායී සේවයක් සලසා දීමේ අරමුණින් රුපියල් මිලියන 286.66ක ඇස්තමේන්තුගත පිරිවැයකින් එම කාර්යාලය සඳහා මහල් 3 කින් සමන්විත නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

     


    මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදි කිරීම II අදියර

    - උතුරු පළාතට අයත් මුලතිව් දිස්ත්‍රික්කය සුනාමි ව්‍යසනය නිසා මෙන්ම දිගු කලක් පැවැති ගැටුම් හේතුවෙන් ජන ජීවිතයට දැඩි ලෙස බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කයකි. එම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනැංවීම පිණිස දිස්ත්‍රික් ලේකම්ගේ අධීක්ෂණය යටතේ සංවර්ධන කටයුතු විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කෙරෙන මුත් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ පවතින සීමිත ඉඩ පහසුකම් එම සංවර්ධන කටයුතු කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීම පිණිස බාධාවක්ව පවතියි. ඒ අනුව, දිස්ත්‍රික්කයේ ජනතාවට වඩා හොඳ සේවාවක් ලබා දීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් සැපයෙන සියලුම සේවාවන් එක් පියසක් යටදී සැපයීමේ අරමුණ ඇතිව මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ II වන අදියරේ ඉදි කිරීම් කටයුතු රුපියල් මිලියන 328 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් සිදු කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

     

    වික්ටෝරියා විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර අලුත්වැඩියා කිරීම - ස්ථායුකය (Stator) ප්‍රතිස්ථාපනය කිරීම

    වික්ටෝරියා විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 03ක් ක්‍රියාත්මක වන අතර, එම යන්ත්‍ර වසර 30 කට අධික කාලයක් භාවිතයේ යොදවා ඇත. එම යන්ත්‍රවලින් තවදුරටත් කාර්යක්ෂම ‍ සේවාවක් ලබාගැනීම සඳහා ඒවා නොපමාව අලුත්වැඩියා කළ යුතු බව ඒ සම්බන්ධ තාක්ෂණික විශේෂඥයින් විසින් නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, වික්ටෝරියා බලාගාරයේ අංක 03 ජනන යන්ත්‍රයේ ස්ථායුකය (Stator) ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද ලංසුකරු වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

     

    මහකොළඹ පානීය ජල හා - 2 අදියර - නිර්මාණ අධීක්ෂණ හා ආයතනික සංවර්ධන උපදේශක සේවාව

    මහ කොළඹ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ මහජන සෞඛ්‍ය ඉහළ නැංවීමේ හා අපජලය බැහැර කිරීමේ ක්‍රියාවලිය ක්‍රමවත් කරලීමේ අරමුණින් මහ කොළඹ පානීය ජල හා අපජල කළමනාකරණය හා සංවර්ධන ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක වේ. එම වැඩසටහනේ දෙවන අදියර යටතේ වන මූලික කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකා රජය වෙත ණය පහසුකම් සලසා දී ඇති අතර, මෙම වැඩසටහන සඳහා නිර්මාණය, සුපරීක්ෂණය හා ආයතනික සංවර්ධන උපදේශක සේවාව සැපයී‍ෙම් කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නි‍ර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

     

    පාරිසරික පද්ධති සංරක්ෂණය සහ කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය

    හඳුනාගත් ප්‍රදේශයන්හි සංවේදි පාරිසරික පද්ධති කළමනාකරණය, වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන සහ ජනතාව සතු හැකියාව වර්ධනය කිරීම, අලි - මිනිස් සහජීවනය ඇති කිරීම සඳහා ක්‍රමවේද සකස් කිරීම, තිරසර ස්වාභාවික සම්පත් භාවිතය සහ ආරක්ෂණය මඟින් මහජනතාව වෙත ප්‍රතිලාභ හිමි කර දීම අරමුණු කරගනිමින් පාරිසරික පද්ධති සංරක්ෂණය සහ කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය (ESCAMP) 2016 - 2021 කාලය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමත කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සමායතනය විසින් කැමැත්ත පළ කරනු ලැබ ඇති අතර, ඇමෙරිකන් ඩොලර් මිලියන 45 කට සමාන ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත. ඒ අනුව, මෙම ව්‍යාපාතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සමායතනය සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමටත්, ඊට අදාළ මූල්‍ය ගිවිසුමකට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya