මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසරය පිළිබඳ අන්තර් ජාතික සමුළු දෙකක් නොවැම්බර් 19-21 කොළඹ දී

    නොවැම්බර් 11, 2014

    වායු දූෂණ කළමනාකරණය පිළිබඳ අන්තර් ජාතික සමුළුව 2014 සහ පාරිසරික තිරසාර ප්‍රවාහනය පිළිබඳ ආසියානු කලාපීය සංසදය ඒකාබද්ධ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය නොවැම්බර් 19 සිට 21 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත බව අද (11) පරිසර සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී පරිසර සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

    මෙහි සමාරම්භය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 19 පෙ.ව. 09.00 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

     

    ආසියානු කලාපය තුළ පිරිසිදු වාතය හා තිරසාර ප්‍රවාහන ක්‍රම තුළින් සෞඛ්‍යමත් සමාජයක් බිහිකරලීම උදෙසා වූ මීළඟ පරපුරෙහි විසඳුම් යන තේමාව යටතේ  මෙම සම්මන්ත්‍රණ පැවැත්වෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.

     

    2014 වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ අන්තර් ජාතික සමුළුව වායු තත්ත්ව කළමනාකරණය සම්බන්ධයෙන් ආසියාවේ පැවැත්වෙන විශාලතම සමුළුව වන අතර එහිදී ප්‍රවාහනය, බලශක්තිය, කර්මාන්ත, පිරිසිදු ඉන්ධන හා රථවාහන, වායු තත්ත්වය හා දේශගුණික විපර්යාසයන් යන ක්ෂේත්‍රයන් පිළිබඳව ඒ ඒ රටවල ප්‍රතිපත්තීන් හා මිනුම් දඩු කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් නවතම පර්යේෂණ සහ ඒවායේ ප්‍රතිඵල මත පදනම්ව සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

     

    මෙම හිතකර වායු තත්ත්ව ජාත්‍යන්තර සමුළුව මුල්වරට 2001 වර්ෂයේදී හොංකොං හිදී පැවැත්වුණු අතර මේ වනවිට එය කලාපයේ ප්‍රධාන අංගයක් බවට පත් වී ඇත. මෙම සමුළුව වර්ෂ දෙකකට වරක් පැවැත්වෙන අතර ඒ සඳහා නිරතුරුව ම ආසියාවෙන් හා ලෝකයේ අනෙකුත් රටවල්වලින් 500කට වැඩි නියෝජිතයින් පිරිසක් සහභාගී වී ඇත.

     

    අවසන් වරට මෙම සමුළුව 2012 වර්ෂයේ දී හොංකොං හිදී පැවැත්වුණු අතර එහිදී දකුණු කොරියාව, සිංගප්පූරුව වැනි රටවල් අබිබවමින් මෙවර මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා අවස්ථාව ලබාගැනීමට සමත්වීම අප ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

     

    හිතකර වායු තත්ත්ව ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් ශ්‍රී ලංකාවේ වායු සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ පවත්නා අභියෝග සඳහා තිරසාර විසදුම් ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර සහභාගීවන්නන් සහ ජාත්‍යන්තර සම්පත් දායිකයන් හරහා දේශගුණ විපර්යාස හා වායු දූෂණය සම්බන්ධයෙන් ගෝලීය අවබෝධයක් ද  ලබාගැනීමට අවස්ථාව උදා වේ.

     

    එසේම පාරිසරික තිරසාර ප්‍රවාහනය පිළිබඳ ආසියානු කලාපීය සංසදය මගින් සාමාජික රටවල් 24ක පරිසර සහ ප්‍රවාහන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අන්තර් ජාතික මට්ටමෙන් ආසියානු කලාපයේ ප්‍රවාහනය සහ අදාළ තිරසාර සංවර්ධන ගැටලු පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරනු ලබන අතර ඒවා සාර්ථකව විසඳා ගැනීමට අවශ්‍ය යෝජනා සහ සම්මුතිවලට එළැඹීමට ද කටයුතු කරනු ලැබේ.

     

    මෙම සංසදය වාර්ෂිකව පැවැත්වෙන අතර එය 2013 වසරේ ඉන්දුනීසියාවේ බාලි හි දී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයන් මඟින් සිදුවන වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති  ක්‍රියා මාර්ග ලොවට කියා පෑමට අවස්ථාවක් හිමි වේ.

     

    මෙම සමුළුවේ දී මූලිකවම පහත කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.

     

    වාහන වායු විමෝචන ප්‍රමිති හඳුන්වා දීම

    වාහන වායු විමෝචන පරීක්ෂණ වැඩසටහන හඳුන්වා දීම

    2014.08.01 දින සිට දකුණු ආසියාවේ ප්‍රථමවරට 10 ppm සල්පර් ඩීසල් හඳුන්වා දීම (ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර්)

    2008.01.01 දින සිට ද්විත්ව පහර ත්‍රී රෝද රථ ආනයනය සහ ලියාපදිංචිය තහනම් කිරීම

    2002 ජූනි 01 සිට ඊයම් රහිත පෙට්රල් හඳුන්වා දීම

    හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සඳහා බදු සහන ලබා දීමට මූල්‍ය ප්‍රතිපත්ති සැකසීම

     

    මෙම ඒකාබද්ධ සමුළුව දේශීය සහ විදේශීය ජනමාධ්‍ය විසින් ඉතා විශිෂ්ට ලෙස ආවරණය කරන අතර BBC, CNN, ටයිම්ස් සඟරාව සහ ජාත්‍යන්තර හෙරල්ඩ් ට්‍රිබියුන් ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

     

    එසේම මෙම ජාත්‍යන්තර සමුළුව ලංකාවේ පැවැත්වීම හරහා විවිධ තරාතිරම්වල විදේශීය නියෝජිතයින්, සම්පත්දායකයින්, නිරීක්ෂකයින් හා සහභාගීකරුවන් ලෙස 600ක් පමණ සහභාගීවීම තුළින් ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට ද අවස්ථාව උදා වනු ඇත.

     

    ප්‍රධාන සමුළුවට අමතරව නොවැම්බර් 17 සහ 18 විවිධ පරිසර සංවිධාන සහ පෞද්ගලික ආයතන සහ අනෙකුත් ආයතන විසින් විවිධ වැඩමුළු කොළඹ නගරයේ විවිධ ස්ථානවල පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya