මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් කැබිතිගොල්ලෑව ජනතාවට පානීය ජල බඳුන්

    අගෝස්තු 21, 2014

    මාස හයක් පමණ අඛණ්ඩව පවතින දැඩි නියඟය හේතුවෙන් පීඩාවට පත් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ජනතාවට රජය මගින් නොමිලේ පානීය ජල බඳුන් බෙදාදෙයි.

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දිවිනැගුම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ කැබි‍තිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1180 කට මුල්වටයේ දී ජල බඳුන් බෙදාදීම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

     ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ඒ සඳහා රුපියල් හත්ලක්ෂ හතලිස් අටදහස් හත්සිය දහයක (748710.00) මුදලක් වැයකර තිබේ. ඒ අනුව නියං තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කණගහවැව, යකාවැව, හල්මිල්ලවැටිය සහ නිකවැව යන ගම්මානවල ජනතාවට පානීය ජල බඳුන් බෙදාදෙන ලදී.

     පවතින නියඟයෙන් පීඩාවට පත් රටේ සෑම ප්‍රදේශයකම ජනතාවට හැකි උපරිම අයුරින් සහන සැලසීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත්, පරිසරයේ සිදුවන වෙනස්කම් පවා වාසියට ගෙන විපක්ෂය ආණ්ඩු පිහිටුවීමට සිහින දකින බවත් යකාවැව ගම්මානයේ දී ජල බඳුන් බෙදාදීම සඳහා පැවති ජනහමුවේ දි අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

    නියඟය ආණ්ඩුවේ වරදින් සිදුවූවක් බව කියන්න තරම් විපක්ෂය බොළඳ තත්ත්වයට වැටී ඇති බවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් රටපුරා සිදුවන ශීඝ්‍ර සංවර්ධනය නිසා තමන්ට කිසිදා බලයට ඒමට නොහැකි බව දන්නා විපක්ෂය වියරු වැටී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.   
     
     ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් විපතට පත් යකාවැව වැනි ගම්මානවල ජනතාව අද කුමන අඩුපාඩු තිබුණත් ජීවිත අවධානමෙන්  තොරව නිදහසේ ජීවත් වන බව ද, එවැනි ගම්මානවල ජනතාවට විපක්ෂයේ  මුසා බස් මිස අන් කිසිවක් ලබා දී නැති බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා වැඩිදුරටත් පැවසීය.

     කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3228කට මෙම ජල බඳුන් ලබාදීමට ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇති බවත්, නියඟය නිසා විපතට පත් ජනතාව වෙනුවෙන් රජය මගින් ඉදිරියේ දී ලබාදෙන සියලු සහනාධාර කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් මෙහි දී අදහස් දැක්වූ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් යු.පී. චන්දන අනුරුද්ධ පියදාස මහතා පැවසීය.


    උතුරුමැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා කල්‍යාණි කරල්ලියද්ද, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.සේනානායක සහ කැබිති‍ගොල්ලෑව සමෘද්ධි මූලස්ථාන කළමනාකාර එම්.අයි.ඒ.රහුමාන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya