මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ගොවි ව්‍යවස්ථාපිත මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කරනවා - ජනපති

    අප්‍රේල් 07, 2016

    වාර්ෂික අය වැය සැකසීමේදී හා කෘෂිකර්මාන්තයට අදාළ තීන්දු තීරණ ගැනීමේදී ගොවි ජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් ඔවුන්ගේ සකී‍්‍රය සහභාගිත්වය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනාවක් අනුව නව ජාතික ගොවි ව්‍යවස්ථාපිත මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    සෑම දිස්ති‍්‍රක්කයකම ගොවි සංවිධාන නියෝජනය වන අයුරින් එම ව්‍යවස්ථාපිත මණ්ඩලය පත් කරන බව පැවසූ ජනාධිපතිතුමා මහා භාණ්ඩාගාරය, කෘෂිකර්ම, වාරිමාර්ග මෙන්ම මහවැලි සංවර්ධන අමාත්‍යාංශවල නිලධාරින්ගේද සහභාගිත්වයෙන් සෑම හය මසකටම වරක් රැස්වන එම මණ්ඩලයේදී වී මිලදී ගැනීම, පොහොර සහනාධාරය මෙන්ම කෘෂි ආම්පන්න ලබා ගැනීම, වෙළෙඳපොළ ආදි සියලූ කටයුතු සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දු තීරණ වෙනත් කිසිවෙකුට වෙනස් කළ නොහැකි අතරම එය අනිවාර්යයෙන්ම ක‍්‍රියාත්මක කළයුතු කාර්යයන් ලෙස නීතිගත කරන බවද ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (06) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජාතික වාරිගොවි සමුළුව අමතමිනි.

    ‘ගොවි මුළුවයි – ජන සුවයයි‘ තේමාව යටතේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය විසින් මෙම ගොවි සමුළුව සංවිධානය කර තිබුණි.

    අද දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවට කැඳවා තිබෙන ගොවි රැස්වීමට රජය විශාල වියදමක් දරා ඇති බවට අද ඇතැම් අන්තර්ජාල ඔස්සේ විවිධ ප‍්‍රවෘත්ති වාර්තා කරමින් රජයට දැඩි විවේචන එල්ල කර තිබූ බවත්, මෙය කානිවල් එකක් හෝ සංගීත සංදර්ශනයක් නොව දුක් විඳින ගොවි ජනතාවගේ සැබෑ වූ ප‍්‍රශ්ණ සාකච්ඡාකර ඒවාට විසඳුම් ලබාදෙන ගොවි සමුළුවක් බවත්  ඔවුන් සිහිතබාගත යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    මීට පෙර මෙවන් ගොවි සමුළුවක් පැවැත්වීමට කිසිදු රජයක් පියවර ගෙන නොමැති බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා වැඩකරන ආණ්ඩුවක් ලෙස තම රජය විවේචනවලට බිය නොමැති බවත් විවේචන සිදු කරන්නේ වැඩ කළ නොහැකි පිරිස් බවත් කියා සිටියේය.

    මෙම වසරේ සිට සෑම වසරකම ස්ථීරවම කි‍්‍රයාත්මකවන අයුරින් ජාතික ගොවි දිනයක් ප‍්‍රකාශයට පත් කරන බවද පැවසූ ජනාධිපතිතුමා ගොවි ජනතාවගේ අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද හා ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම වෙනුවෙන් වැඩසටහන් රැසක් සමඟ එය කි‍්‍රයාවට නංවන බවද ප‍්‍රකාශ කළේය.

    කෘෂිකර්මාන්තය පදනම් කරගත් ජාතික ආර්ථිකයක් ඇති රටක් ලෙස මේ රටේ අද දවස මෙන්ම හෙට දවසද රදා පවතින්නේ කෘෂිකර්මාන්තයේ ශක්තිය මත බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා නව රජයක් ලෙස මේ රටේ කෘෂිකර්මාන්තය තුළ නව ගමනක් යාමට අද මුලික ප‍්‍රවේශය දමා ඇති බවද කියා සිටියේය.

    එදා රජය තුළ සිටම ගොවි ජනතාවගේ අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද වෙනුවෙන් පෙනී සිටී තමා තම වරප‍්‍රසාද සහ අයිතිවාසිකම් පිළිබඳ ගොවි ජනතාව සටන් කිරීම කිසිදා ප‍්‍රතික්ෂේප නොකරන අතර එම හඩට ඇහුම්කන්දෙනවා විනා එය මර්ධනය කිරීමට කිසිවිටෙකත් කටයුතු නොකරන බවද ප‍්‍රකාශ කළේය.

    ගොවි ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවි ජනතාව නගා සිටුවීම වෙනුවෙන් ඉතිහාසයේ අන් කිසිදු රජයකට වඩා වැඩි කැපවීමකින් කටයුතු කරන බව මෙහිදි අවධාරණය කළ ජනාධිපතිතුමා ගොවිජනතාවට ලාබදායී ලෙස තම නිෂ්පාදන කටයුතුවල නිරතවීමට අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බවද පැවසීය.

    හේන් ගොවිතැන සහ උක් ගොවිතැන පිළිබඳ ගැටලු ඇතුළත් සංදේශයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර ගොවි සංවිධාන නියෝජිතයින් විසින් තම ගැටලු පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

    වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි සොයිසා, අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, සුසිල් පේ‍්‍රමජයන්ත, රංජිත් මද්දුම බණ්ඩාර, රාජ්‍ය අමාත්‍යවරුන්වන පාලිත රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක, නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.එම් රත්නායක මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිළධාරිහුද ගොවි සංවිධාන නියෝජිතයින් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya