මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නාමල් උයන 25 වැනි සංවත්සරය

    නොවැම්බර් 11, 2014
    ජාතික නාමල් උයන 25 වැනි සංවත්සර උත්සවය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    මෙහිදී පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවිම පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් සිදු කරන ලදී.
     
    ඉන් අනතුරුව ජාතික නාමල් උයන පිළිබඳ ව පාරිසරික, භූගෝලීය හා ඓතිහාසික තොරතුරු ඇතුලත් සංයුක්ත තැටිය ආරක්ෂක ලේකම්තුමා වෙත පිළිගැන්වීම ද වනවාසී රාහුල හිමියන් විසින් සිදු කරන ලද අතර පසුව එය පැමිණ සිටි පිරිසට එය නැරඹීමට අවස්ථාව සලසන ලදී.
     
    අලව්වේ පදිංචි වෙළෙඳ ව්‍යාපාරික එස්.ආර්.කේ. වීරසිංහ මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ජාතික නාමල් උයනට අලව්වේ නගරයෙන් පරිත්‍යාග කරන පර්චස් 15ක ඉඩමේ නීත්‍යනුකූල ඔප්පුව පූජ්‍ය වනවාසී රාහුල ස්වාමීන් වහන්සේ වෙත ප්‍රදානය කිරීම වීරසිංහ මහතා විසින් මෙහිදී සිදු කරන ලදී.
     
    අනතුරුව අතිගරු ජනාධිපතිතුමාගේ සුභපැතුම් පණිවුඩය කියවීම හා පූජ්‍ය වනවාසී රාහුල හිමියන් අඛණ්ඩව දිවි පරදුවට තබා කරන ලද ජාතික පාරිසරික මෙහෙවර ඇගයීමට ලක්කරමින් අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රදානය කරන ලද විශේෂ තිළිණය පිළිගැන්වීම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලදී.
     
    මෙහිදී සිය අදහස් පළ කළ ආරක්ෂක ලේකම්තුමා ජාතික උරුමයක් වන නාමල් උයනට වසර 25ක් සපිරෙන මෙම අවස්ථාවේ එය ආරක්ෂක අමාත්‍යාංශය තුළ දී සැමරීමට ලැබීම සතුටට කරුණක් බවත් විශාල ජෛව විවිධත්වයක් ඇති වසර මිලියන දස ලක්ෂ ගණනක අතීතයක් ඇති ඓතිහාසික වැදගත්කමකින් යුක්ත දකුණු ආසියාවේ විශාලත ම රෝස තිරුවානා කඳුවැටිය මෙය බවත් එය ජනශූන්‍ය වී වසර ගණනාවකට පසුව නැවත ජාතියට උරුම කර දීම සඳහා පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් කරන ලද මෙහෙය ඉතා විශිෂ්ට එකක් බවත් පවසා සිටියේය.
     
    මෙම කඳුවැටිය ආරක්ෂාකර නැවත ජාතියට උරුම කිරීම පිළිබඳ ව සමස්ත ජාතියේ ම ගෞරවය උන් වහන්සේට හිමිවන බවත් පැවසූ ආරක්ෂක ලේකම්වරයා මෙම ජාතික මෙහෙවර වෙනුවෙන් උන්වහන්සේ 2004 වර්ෂයේ දී පරිසරය පිළිබඳ ව ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම සම්මානයෙන් පිදුම් ලැබූ බවත් සිහිපත් කර සිටියේය. එසේම දේශීය හා විදේශීයයන්ගේ ආකර්ෂණය දිනාගත් භුගෝලීය හා පාරිසරික වැදගත්කමකින් යුත් මෙම ප්‍රදේශය 2005 වසරේ දී රජය විසින් සංරක්ෂිත වනයක් බවට පත්කරන ලද බවත් මෙය ආරක්ෂා කර ගැනීම සඳහා උන්වහන්සේ විසින් දරන ලද කැපකිරීම නිරන්තරයෙන්ම සෑම කෙනෙකු විසින් ම ඇගයීමට ලක් කළ යුතු බවද මෙහිදී පවසා සිටියේය.
     
    කොළඹ නගරය සංවර්ධනය කිරීමේ කාර්යයේ දී ද මෙම ආදර්ශය ලබාගත් බව පැවසූ රාජපක්ෂ මහතා ඒ අනුව කෝට්ටේ ප්‍රදේශයේ බැද්දගාන ජෛව විවිධත්ව පාරිසරික උද්‍යාන දෙකක් ආරම්භ කරන ලද බවද මෙහිදී සිහිපත් කර සිටියේය. කලින් පැවති අවිධිමත් සංවර්ධනය හා වගුරු ආශ්‍රිත බිම් ගොඩකිරීම් වෙනුවට මෙම පරිසරය හා එහි සිටින දුර්ලභ ජීවීන් හා පැළෑටි වර්ග ආරක්ෂා කරමින් මහජනතාවගේ ආකර්ෂණය දිනාගන්නා ආකාරයෙන් ගස් කොලන් සහිතව මෙකී ප්‍රදේශයේ විධිමත් සංවර්ධන ව්‍යාපෘතින් ආරම්භ කරන ලද පැවසූ ආරක්ෂක ලේකම්වරයා පාර්ලිමේන්තුව ආසන්නව ඇති අක්කර 5ක භූමි භාගයක් තෝරාගෙන රටේ සෑම ප්‍රදේශයක ම ඇති ශාක වර්ග අඩංගු කුඩා වනාන්තරයක් මෙම ප්‍රදේශයේ ද නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ඇති කිරීම සඳහා කටයුතු කරමින් පවතින බවද මෙහිදී පවසා සිටියේය.
     
    අවසාන වශයෙන් මෙවැනි ජාතික මෙහෙවරක් සිදු කරන ලද පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ට නිදුක් නිරෝගී සුවය ලබමින් සිය සේවාව තවත් දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන යාමට හැකි වේවායි ප්‍රාර්ථනා කරන බවද රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya